හත්ථිරතනවණ්ණනා
මෙසේ පහළ වූ සක්විති රජුගේ ඇමතියෝ ප්රකෘති මගුල් ඇතුගේ ස්ථානය පිරිසිදු භූමිභාගයක් කරවා සඳුන් ආදී දිව්ය සුවඳින් ආලේප කොට යට විසිතුරු පැහැය ඇති දිව්ය මලින් යුක්තව මත්තෙහි රන් තාරකාවන්ගේ අතරතුර ඔසවන ලද යහපත් මලින් සැරසුණු වියන්වලින් දිව්ය විමානයක් මෙන් සකස්කොට දේවයනි, මෙබඳු හස්ති රත්නයකගේ පැමිණීම සිතව් යැයි කියත්. රජු පෙර කියන ලද ක්රමයෙන් මහ දන් දී සීලය සමාදන් ව ඒ පුණ්ය සැපත ආවර්ජනා කරමින් හිඳියි. එකල ඔහුගේ පුණ්ය තේජසින් චෝදනා කරන ලද්දේ ජද්දන්ත කුලයෙන් හෝ උපෝසථ කුලයෙන් හෝ ඒ සත්කාර විශේෂය අනුභව කරනු කැමැති තරුණ සූර්ය මණ්ඩලය මෙන් රතු පාද බෙල්ල මුඛය යන මෙයින් සැදුම් ලද පිරිසිදු වූ විශේෂයෙන් සුදු ශරීර ඇති සතකින් පිහිටි මනාකොට පිහිටි අංගප්රත්යංගයන්ට වාසස්ථාන වූ පිපුණු රත් පියුම් ඇති සෘද්ධිමත් තවුසෙක් මෙන් අහසින් යාමට සමත් වූ හිරියල් කුඩු කෙළවර ගෑවාක් මෙන් රිදී පර්වතයක් වූ ශ්රේෂ්ඨ ඇතා ඒ ප්රදේශයේ පිහිටයි. ඒ ඇතා ඡද්දන්ත කුලයෙන් එන්නේ සියල්ලන්ට ම කනිටු වී එයි. උපෝසථ කුලයෙන් සියල්ලන්ට ම වැඩිමහල් වී එයි. පෙළෙහි උපෝසථ හස්ති රාජයා ම එයි. ඒ මේ තෙමේ පුරන ලද චක්රවර්ති ව්රත ඇත්තේ චක්කවත්ති සූත්රයෙහි කියන ලද ක්රමයෙන් සිතන්නවුන්ට එයි. අන්යයන්ට නැත. තෙම ප්රකෘති මඟුල් ඇතාගේ ස්ථානයට පැමිණ මඟුල් ඇතා පහකොට එහි සිටියි. එහෙයින් කියන ලදි. පුන චපරං භික්ඛවෙ -පෙ- නාගරාජාති
මෙසේ පහළ වූ ඒ හස්ති රත්නය දැක ඇත්ගොව්වා ආදීහු තුටු පහටුව වහා ගොස් රජුට කියත්. රජතුමා වහා වහා අවුත් ඌ දැක සතුටු සිත් ඇත්තේ පින්වත්නි, ඇත් යානය හොඳය. ඉදින් සංසිඳීමට පමුණුවන්නේ යැයි සිතන්නේ අත දිගු කරයි. එකල්හි ඌ ගෙදර දෙනගේ වස්සෙකු මෙන් කන් එල්ලා මනාව ඇලුණු බව දක්වන්නේ රජු වෙත පැමිණෙයි. රජු ඌගේ පිට නගිනු කැමැත්තේ වෙයි. එකල ඔහුගේ පිරිවර ජනයා ඒ අදහස දැන ඒ හස්ති රත්නය රන් ධජවලින් රන් අලංකාරයන්ගෙන් රන් දැල්වලින් වසා පමුණුවයි. රජු එහි නොහිඳ ම සත්රුවනින් කරන ලද හිණිමගෙන් නැග අහසින් යාමට නැමුණු සිත් ඇත්තේ වෙයි. ඔහු සිතූ අදහස සමඟම ඒ හස්ති රාජයා රාජ හංසයෙක් මෙන් ඉඳුනිල් මැණික් ජාලයෙන් නිල්වන් වූ අහසට පැන නගියි. නැවත චක්ර චාරිකාවෙහි කියන ලද ක්රමයෙන් සියලු පිරිස් සමඟ රජතෙමේ උදේ ආහාරය ඇතුළත සියලු පොළොව අනුව ගමන් කොට රාජධානියට නැවත එයි. මෙසේ මහත් සෘද්ධි ඇති සක්විති රජුන්ගේ හස්ති රත්නය වෙයි. එහෙයින් කියන ලදි. දිස්වාන -පෙ- පසීදතීති
අස්සරතනවණ්ණනා
මෙසේ පහළ වූ හස්ති රත්නය ඇති සක්විති රජුගේ පිරිස ප්රකෘති මඟුල් අශ්වයාගේ ස්ථානය පිරිසිදුව සමතලා කොට අලංකාර කොට පළමු කී ක්රමයෙන් ම රජුහට ඌගේ ඒමට සිතීම පිණිස උත්සහය උපදවත්. රජු පළමු කී ක්රමයෙන් ම කරන ලද දාන සත්කාර ඇත්තේ සමාදන් වූ සිල් ඇත්තේ ප්රසාද ස්ථානයෙහි සිටියේ පුණ්ය සම්පත්තිය සිහිකරයි. එකල ඔහුගේ පුණ්ය ආනුභාවයෙන් චෝදනා කරන ලදුව සෛන්ධව කුලයෙන් විදුලියෙන් නසන ලද සරත් කාලයෙහි සුදු වළාකුලින් සශ්රික වූ රත් පාද ඇති රත් තුඩ ඇති චන්ද්රප්රභා පුංජයක් හා සමාන අතිශයින් සිනිඳු පවිත්ර ශරීරයක් ඇති කවුඩාගේ බෙල්ල වැනි ඉඳුනිල් මැණිකක් බඳු කළු පැහැති හිසින් යුක්ත හෙයින් කවුඩු හිසක් ඇති මනාකොට සිතා තබන ලද මුං සමාන සියුම්ව වට වූ කෙළින් ගමන් ඇති කෙස්වලින් යුතු බැවින් මුංජ කෙස් ඇති අහසින් යන වළාහක නම් අශ්ව රාජයා අවුත් එතන සිටියි. සෙසු සියල්ල හස්ති රත්නයෙහි කියන ලද ක්රමයෙන් දතයුතුය. මෙබඳු අශ්වරත්නය උදෙසා බුදුරදුන් පුන චපරං යනාදිය කීය.
මණිරතනවණ්ණනා
මෙසේ පහළ වූ අශ්වරත්නය වනාහි සක්විති රජුගේ අතින් හතර රියනක් දිග ගැල් නාභිය හා සමාන ප්රමාණ ඇති දෙකෙළවර කර්ණිකා කෙළවරින් නික්මුණු ඉතා පිරිසිදු මුතු කලාප ඇති රන් පියුම් දෙකකින් සරසන ලද අසූහාර දහසක් මැණික් පිරිවර කොට ඇති තාරකා සමූහයා විසින් පිරිවරණ ලද පූර්ණ චන්ද්රයාගේ ශෝභාව පැතිරෙන්නාක් මෙන් වේපුල්ල පර්වතයෙන් මැණික් රත්නය එයි. මෙසේ පැමිණි එය මුතු දැලක තබා උණගස් පරම්පරාවෙන් සැට රියන් ප්රමාණ අහසට නැගෙමින් සිටිය දී රාත්රී කාලයෙහි හාත්පස යොදුනක් පමණ තැන් එලිය පැතිරෙයි. යමකින් සියලු එලිය අරුණ නැගෙන වේලාවෙහි මෙන් හටගත්තේ ලෝකය වෙයි. එහෙයින් ගොවියෝ ගොවිතැන් වැඩ ද වෙළෙන්දෝ සල්පිල් ඇරීම ද ඒ ඒ ශිල්පීහු ඒ ඒ කර්මාන්තයන්හි යෙදෙත්. දහවල් යැයි සිතති. එහෙයින් කියන ලදි. පුන චපරං භික්ඛවෙ -පෙ- මණිරතනං පාතුභවතීති
ඉත්ථිරතනවණ්ණනා
පහළ වූ මණිරත්නය ඇති සක්විති රජුගේ විෂය සැපයට විශේෂ කාරණා වූ ස්ත්රී රත්නය පහළ වෙයි. ඔහුට මද්දීරාජ කුලයෙන් හෝ අගමෙහෙසියක් ගෙනඑත්. උතුරුකුරු දිවයිනෙන් හෝ පින් අනුහසින් තෙමේම පැමිණෙයි. ඉතිරිය ඇයගේ සම්පත්තියයි. පුන චපරං භික්ඛවෙ රඤ්ඤො චක්කවත්තිස්ස ඉත්ථිරතනං පාතුභවති අභිරූපා දස්සනීයාති යනාදි ක්රමයෙන් පෙළෙහි ආවාය.
එහි පිහිටීම සම්පූර්ණ හෙයින් අධික රූපය මැයට ය යනු අභිරූපා නමි. දකින්නී ද ඇස් පිනවයි. එහෙයින් අනෙත් වැඩ හැර දැකිය යුත්තිය යනු දස්සනීයා නමි. දකිනු ලබන කල්හි සතුටු වශයෙන් සිත පැහැදෙන්නිය යනු පාසාදිකා නමි. පරමායාති මෙසේ ප්රසාදය එළවනු සුළු උත්තමාවයි. වණපොක්ඛරතායාති පැහැයෙන් යහපත් ය. සමන්තාගතාති යුක්ත වූ. යම්හෙයකින් ඉතා උස නැති ද ඉතා මිටි නැති ද දැකුම්කළුය. යම්සේ ඉතා මහත නැති ද ඉතා කෙට්ටු නැති ද දැකුම්කළුය. යම්සේ ඉතා කළු නොවෙයි ද ඉතා සුදු නොවෙයි ද උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූවා වේ. යම්සේ මිනිස් පැහැය ඉක්මවා දිව්ය පැහැයට නොපැමිණියා ද මිනිසුන්ගේ පැහැයේ ආලෝකය පිටට නොනික්මෙයි. දෙවියන්ගේ පැහැය ඉතා දුරට නික්මෙයි. දොළොස් රියන් පමණ ප්රදේශයක ඇගේ ශරීර පැහැය බබළයි.