උපක්කිලෙස සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් උපක්කිලෙස සූත්‍රය මෙසේ අසන ලදී. එහි එතදවොචාති භේද අදහසකින් නොවේ. කැමැත්තකින් නොවේ. එකල ඔහුට මෙබඳු සිතක් වීය. මේ භික්ෂූහු මාගේ වචනය ගෙන යටත් නොවෙයි. බුදුවරු නම් හිත කැමැත්තෝය. ඒකාන්තයෙන් බුදුරදුන් මේ කාරණය කියන්නෝය යැයි එය අසා මොහු යටත් වන්නාහුය. එහෙයින් ඔවුනට සැප විහරණය වන්නේය. එහෙයින් මෙහි ඉධ භන්තෙ යනාදි වචන කීය. මා භණ්ඩනන්ති ආදියෙහි අකත්ථාති යන පදයේ ඉතිරිය ගෙන කලහ නොකරව් යන තේරුම දතයුතුයි. අඤ්ඤතරොති ඒ භික්ෂුව වනාහි බුදුරදුන්ට වැඩි කැමැතිය. මේ ඔහුගේ අදහසයි. මේ භික්ෂූහු ක්‍රෝධයෙන් මඩනා ලද්දාහු බුදුරදුන්ගේ වචනය නොගනිත්. බුදුරදුන් මොවුන්ට අවවාද කරන්නේ වෙහෙස නොවේ යැයි එහෙයින් කීය.
පිණ්ඩාය පාවිසීති හුදෙක් පිවිසියේ නොවෙයි. යම් මිනිසුන් විසින් නොදක්නා ලද ද ඔවුහු මා දකීවා යි අධිෂ්ඨාන කළහ. කුමක් නිසා අධිෂ්ඨාන කළේ ද? ඒ භික්ෂූන්ගේ දමනය පිණිසයි. බුදුරදුන් එකල්හි පිණ්ඩපාතයෙන් වැළකුණේ පුථුසද්දො සමජනොති ආදී ගාථාවන් කියා කොසබෑ නුවරින් බාලකලෝණාකාර ගමට වැඩියහ. එයින් ප්රාචීනවංසදායට වැඩියහ. එයින් පාරිලෙය්‍යක වන ලැහැබට ගොස් පාරිලෙය්‍ය ඇතා විසින් උපස්ථාන කරන්නේ මාස තුනක් විසූහ. නුවර වැස්සෝ ද බුදුරදුන් වෙහෙරට වැඩියේය. බණ අසන්නට යමු යැයි සුවඳ මල් ගත් අත් ඇතිව වෙහෙරට ගොස් ස්වාමීනි, බුදුරදුන් කොහිදැයි ඇසූහ. නුඹලා බුදුරදුන් කොහි දී දැක්කාහු ද? බුදුරදුන් මේ භික්ෂූන් සමඟි කරන්නෙමියි වැඩියහ. සමඟි කරන්නට නොහැකි වූයේ ආපසු වැඩියහ. අපි සීයක් ද දහසක් ද දී බුදුරදුන් වැඩමවන්නට නොහැක්කෙමු. උන්වහන්සේ අප ආරාධනා නොකොට ම වැඩියහ. අපි මේ භික්ෂූන් නිසා බුදුරදුන්ගේ හමුවෙන් බණ කථාවක් අසන්නට නොලැබුයෙමු. මොවුහු බුදුරදුන් උදෙසා පැවිදි වූහ. මොවුන් සමගි කරන්නේ සමගි නොවූහ. අන් කවරෙකුගේ වචනයක් කරත් ද? මේ භික්ෂූන්ට දානය දීම සුදුසු නැතැයි සියළු නගරයෙහි ම දඬුවම් තැබූහ. ඔවුහු දෙවන දවසෙහි සියලු නගරයෙහි පිඬු පිණිස හැසිර හැන්දක් පමණවත් ආහාරයක් නොලැබ වෙහෙරට වැඩියහ. උපාසකවරු නැවත ඔවුන්ට මෙසේ කීහ. යම්තාක් බුදුරදුන් ක්ෂමා නොකර ගනිත් ද ඒතාක් නුඹලාට මේ දඬුවමයි. ඔවුහු බුදුරදුන් ක්ෂමා කරගන්නෙමියි බුදුරදුන් සැවැත් නුවරට වැඩි කල්හි එහි ගියාහ. බුදුරදුන් ඔවුන්ට අටළොස් භේදකර වස්තූන් දෙසුවේ යැයි මේ මෙහි පාලිමුත්තක කථාවයි.
දැන් පුථුසද්දොති ආදී ගාථාවන්හි මහා ශබ්දය මොහුගේය. මෙය පුථුශබ්දය නමි. සමජනොති සමාන වූ එක සමාන ජනයා මේ සියලු ජනයා කලහ කරන ජනයාය. හාත්පසින් ශබ්දය පැතිරීමෙන් පුථු ශබ්දය සමාන යැයි කියන ලද්දේ වෙයි. න බාලො කොචි මඤ්ඤථාති එහි කිසිවෙක් මම බාලයෙක් යැයි නොසිතත්. සියල්ලෝ පණ්ඩිතමානී වෙත්. නාඤ්ඤංභිය්යො අමඤ්ඤරුන්ති කිසිවෙක් මම බාලයෙක් යැයි නොසිතයි. බොහෝ සෙයින් සංඝයා බිඳෙන කල්හි අන්‍ය වූ ද එක් අයෙක් මාගේ කාරණයෙන් සංඝයා බිඳේය යන මේ කාරණය නොසිතුවේය යන තේරුමයි.
පරිමුට්ඨාති සිහිමුළා ඇත්තාහ. වාචාගොචරභාණිනොති රා කාරයට ර කාරාදේශය කරන ලදි. වචනය ම ගෝචරය. සතිපට්ඨානය ගෝචර නොවෙයි. භාණිනොති යනු කෙසේ හෝ කියන්නේය. යම්තාක් කැමැති වෙත් ද මුඛය ප්‍රසාරණය කරන්නට යම්තාක් කැමැති වෙත් ද ඒතාක් දිගු කොට කියන්නාහුය. එක් අයෙක්වත් සංඝ ගෞරවයෙන් මුඛය හැකිලීමක් නොකෙරේ යන තේරුමයි. යෙන නීතාති යම් කලහයකින් මේ ලැජ්ජා නැති බවට පමුණුවන ලද්දේය. න තං විදුති එය නොදනිත්. මෙසේ මේ තෙමේ ආදීනව සහිතයි.