බක්කුල සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් බක්කුල සූත්‍රය මෙසේ අසන ලදි. එහි බක්කුලොති යම්සේ ද්වාවීසති ද්වත්තිංසති ආදිය කිවයුතු තැන බාවීසති බත්තිංසති යනුවෙන් කියත් ද එසේම ද්වක්කුල ද්වකුල යැයි කිවයුතු තැන බක්කුල යැයි කියන ලදි. ඒ තෙරුන්ට කුල දෙකක් වූහ. උන්වහන්සේ දෙව්ලොවින් චුතව කොසබෑ නුවර සිටුකුලයක උපන්නේය. ඒ ඔහු පස්වෙනි දවස ස්නානය කොට දිය ක්‍රීඩාව කළහ. කිරිමව දරුවා ජලයෙහි කිමිදවමින් සෙල්ලම් කරවන්න එක් මත්ස්‍යයෙක් දරුවා දැක මේ මට ගොදුරක් යැයි සිතා කට ඇර පැමිණියේය. කිරිමව දරුවා දමා පැන ගියාය. මත්ස්‍යයා ඔහු ගිල්ලේය. පිනැති සත්වයා දුකට නොපැමිණියේය. නිදන කාමරයකට පිවිස උන්නාක් මෙනි. මත්ස්‍යයා දරුවාගේ තේජසින් රත් වූ තලයක් ගිල දමන්නාක් මෙන් වී වේගයෙන් යොදුන් තිහක මාර්ගයක ගොස් බරණැස් නුවර වැසි මසුන් අල්ලන්නෙකුගේ දැලට පිවිසියේය. මහා මත්ස්‍යයෝ නම් දැලෙහි බැදුණේ මරනු ලබන්නාහු මැරෙත්. මොහු වනාහි දරුවාගේ තේජසින් දැලෙන් ගත් පමණින් මළේය. මසුන් අල්ලන්නා ද මහත් මහත් මසුන් ලැබ කපා පලා විකුණත්. ඔහු දරුවාගේ අනුහසින් නො කපා නොපලා කදින් ගෙන ගොස් දහසකින් දෙමු යැයි කියමින් නුවර හැසිරුණේය. කිසිවෙක් නොගනියි.
ඒ නුවර දරුවන් නැති අසූකෝටියක් වස්තුව ඇති සිටුකුලයක් ඇත. ඒ ගේ දොර මුලට පැමිණ කුමක් ගෙන දෙව්දැයි කී කළ කහවනුවකටැයි කීහ. ඔවුන් විසින් කහවණුවක් දී ගන්නා ලදී. සිටු බිරිඳ වෙනත් දවස්වල මසුන් නොපලයි. එදා මාළුවා පුවරුවේ තබා තෙමේම පැලුවාය. මසුන් නම් බඩින් පලත්. ඇය වනාහි පිට පැත්තෙන් පලන්නී මත්ස්‍යයාගේ බඩෙහි රන්වන් දරුවා දැක මත්ස්‍යයාගෙන් මට පුතෙක් ලැබුණේ යැයි නාද කොට දරුවා ගෙන ස්වාමියාගේ ළඟට ගියාය. සිටුතුමා ඒ වේලාවෙහිම බෙර හසුරුවා දරුවා ගෙන රජු ලඟට ගොස් දේවයන් වහන්ස, මා විසින් මත්ස්‍යයෙකුගේ කුසින් දරුවෙක් ලද්දේය. කුමක් කරන්නේදැයි කීය. මොහු පින් ඇත්තෙකි. මාළුවකුගේ කුසෙහි ද නිරෝගීව වාසය කළේය. මොහු පෝෂණය කරවයි රජු කීය.
බරණැස් නුවර එක සිටුකුලයක් මත්ස්‍යයෙකුගේ කුසෙන් දරුවෙක් ලැබී යැයි අනෙත් කුලය ඇසුයේය. ඔවුහු එහි ගියාහ. එකල ඔහුගේ මව දරුවා සරසා ක්‍රීඩා කරන්නාහු දැක මේ දරුවා ප්‍රියමනාප යැයි ගෙන ප්‍රවෘත්තිය කීවාය. අනෙක් තැනැත්තිය මාගේ පුතා යැයි කීවාය. තී විසින් කවර තැනකින් ලබන ලද්දේ ද? මත්ස්‍යයෙකුගේ කුසින්ය. නුඹගේ පුත්‍රයා නොවෙයි. මගේ පුත්‍රයාය. තී විසින් කවර තැනකින් ලබන ලද්දේ ද? මා විසින් දස මසක් කුසෙහි දරණ ලද්දේය. එකල මොහු ගංගාවෙහි සෙල්ලම් කරවන කල මත්ස්‍යයෙක් ගිල්ලේය. නුඹේ පුත්‍රයා වෙනත් මත්ස්‍යයෙක් විසින් ගිලින ලද්දේය. මොහු වනාහි මා විසින් මත්ස්‍යයාගේ බඩින් ලබන ලදි. දෙපක්ෂයම රජු ළඟට ගියාහ. මෝ තොමෝ දස මාසයක් කුසෙහි දැරූ හෙයින් මව නොකරන්නට නොහැකිය. මත්ස්‍යයා ගන්නේ අතුනුබහන් බැහැරකොට ගැනීමක් නම් නැතැයි මත්ස්‍යයාගේ කුසෙන් ලත් හෙයින් මෝ තොමෝ ද මව නොකරන්නට නොහැකිය. දරුවා කුල දෙකටම දායාද වෙයි. දෙගොල්ලෝම ඔහු පෝෂණය කරවයි රජු කීය. දෙකුලයම පෝෂණය කළහ.
නුවණැති බවට පත් ඔහුට නගර දෙකේම ප්රාසාදයන් කරවා නාට්‍යාංගනාවන් සේවයේ යෙදවූහ. එක එක නුවර හාර මාසය බැගින් වාසය කරයි. එක නුවරක හාර මාසය බැගින් වාසය කරන ලද ඔහුට එකට බඳනා ලද නැවෙහි මණ්ඩපයක් කොට එහි ඔහු සමග නාට්‍යාංගනාවන් නංවත්. ඔහු සම්පත් අනුභව කරමින් අනෙක් නගරයට යයි. ඒ නගරවාසීහු නාට්‍යාංගනාවන් හා අඩමගට ගියාහ. ඔවුහු පෙරගමන් කොට ඔහු පිරිවරා තමන්ගේ ප්‍රාසාදයට පමුණුවති. අනෙත් නාට්‍යාංගනාවන් නැවතී තමන්ගේ නුවරටම යත්. එහි සාර මසක් නැවතී ඒ ක්‍රමයෙන් ම නැවත අනෙත් නුවරට යයි. මෙසේ සම්පත් අනුභව කරන ඔහුට අසූ වර්ෂයක් සම්පූර්ණ විය.