එකල බෝසත් තෙමේ දෙවියන්ට පිළිතුරක් නොදී කාලය දීපය දේශය කුලය මව ආයුෂ පිරිසිඳීම් වශයෙන් පස්මහබැලුම් බැලීය. එහි කාලය ද නොකාලය දැයි පළමුව කාලය බැලීය. එහි අවුරුදු ලක්ෂයකින් මතු වැඩෙන ආයුෂ කාලය කාලය නම් නොවෙයි. කුමක්හෙයින් ද? ඒ කාලයෙහි සත්වයන්ගේ ජාති ජරා මරණයෝ නොපෙනෙත්. බුදුවරුන්ගේ ධර්ම දේශනා නම් ත්රිලක්ෂණයන්ගෙන් මිදීමක් නම් නැත. ඔවුන්ට අනිත්ය දුක්ඛ අනාත්ම යැයි කිව්වත් මේ කුමක් කියන්නේදැයි ඇසීමට ඇදහීමට නොසිතත්. එහෙයින් අවබෝධ නොවෙත්. එය නැති කල්හි ශාසනය අනිර්යානික වෙයි. එහෙයින් එය අකාලයයි. අවුරුදු සීයෙන් අඩු කාලය ද කාලය නොවෙයි. කුමක් හෙයින් ද? එකල සත්ත්වයෝ උස් කෙලෙස් ඇත්තාහු වෙත්. උස් කෙලෙස් ඇති අයට දෙන ලද අවවාද නිසි තැන නොසිටියි. දියෙහි ඇඳි ඉරක් මෙන් වහා පහවෙයි. ඒ නිසා එය ද කාලය නොවෙයි. ලක්ෂයෙහි පටන් යට සියයේ පටන් උඩ ආයු කාලය අකාලය නම් වෙයි. එකල්හි අවුරුදු සියයේ කාලය වෙයි. එකල බෝසත් තෙමේ ඉපදිය යුතු කාලය යැයි දැක්කේය.
ඉක්බිතිව දීපය බලන්නේ පිරිවර සහිතව සතර දීපයන් බලා දීප තුනක බුදුවරු නූපදිති. දඹදිව ම උපදිතියි දීපය දැක්කේය.
එයින් දඹදිව නම් යොදුන් දස දහසක් පමණ මහත්ය. කවර ප්රදේශයක බුදුවරු උපදිත් දැයි දේශය බලන්නේ මධ්යම ප්රදේශය දැක්කේය. මධ්යම ප්රදේශය නම් බටහිර දිශාවෙන් කජංගල නම් නියම් ගමය ආදී ක්රමයෙන් විනයෙහි කියන ලද්දේය. එය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් දෙකහමාරකි. වටින් යොදුන් නවසියයකි. මේ ප්රදේශයෙහි බුදුවරු, පසේබුදුවරු, අග්රශ්රාවකයන්, අසූ මහාශ්රාවකයන්. සක්විති රජවරුන්. අනෙත් මහේශාක්ය ක්ෂත්රිය බ්රාහ්මණ ගෘහපති මහාසාලයෝ උපදිති. මෙහි මේ කිඹුල්වත් නම් නුවර මා ඉපදිය යුතුයැයි නිෂ්ටාවට ගියේය.
ඉක්බිතිව කුලය බලන්නේ බුදුවරු නම් ලෝක සම්මත කුලයෙහි උපදිත්. දැන් ක්ෂත්රිය කුලය ලෝක සම්මතයි. එහි උපදින්නෙමි. සුද්ධෝදන නම් රජු මාගේ පියා වන්නේ යැයි කුලය දැක්කේය.
ඉක්බිතිව මව බලන්නේ බුද්ධමාතාව නම් ලොල් වූ සුරා ධුර්තයෙක් නොවෙයි. කල්ප ලක්ෂයක් පුරන ලද පාරමිතා ඇති ජාතියේ පටන් පන්සිල් නොකඩන ලද්දී වෙයි. මේ මහාමායා දේවිය නම් මෙබඳුය. මැය මාගේ මව වන්නීය. ඇයට ආයුෂ කොපමණක් ද? මාස දහයක් හා සත් දවසක් දැක්කේය.
මෙසේ පස් මහබැලුම් බලා නිදුකාණෙනි, මට බුදුවීමට කාලය යැයි දෙවියන්ට සංග්රහ කරන්නේ ප්රතිඥා දී නුඹලා යව යි ඒ දෙවිවරුන් යවා තුසිත දෙවියන් පිරිවරා තුසිත පුරයෙහි නන්දන වනයට පිවිසියේය. සියලු දිව්ය ලෝකවල නන්දන වන ඇත. එහි දී දෙවියන් ඔහුට මෙයින් චුතව සුගතියට යව මෙයින් චුතව සුගතියට යව යි කරන ලද කුසලයන්ගේ අවකාශ සිහිකරමින් හැසිරෙත්. හෙතෙම මෙසේ දෙවියන් විසින් කුසලය සිහිකරමින් ම පිරිවරා එහිම හැසිරෙන්නේ චුත විය.
මෙසේ චුත වන්නේ චුත වෙමියි දනියි. චුති සිත නොදනියි. පිළිසිඳ ගෙන ප්රතිසන්ධි සිත ද නොදනියි. මේ ස්ථානයෙහි මාගේ ප්රතිසන්ධිය ගන්නා ලද යැයි මෙසේ දනියි. සමහර තෙර කෙනෙක් ආවර්ජන පර්යාය නම් ලබන්නට වටියි. දෙවැනි සිත් වාරයෙහි ම දන්නේ යැයි කියත්. ත්රිපිටක මහාසිව තෙරුන් වහන්සේ කීය. බෝසතුන්ගේ ප්රතිසන්ධිය අන් සතුන්ගේ ප්රතිසන්ධිය හා සමාන නැත. ඔවුගේ සති සම්පජඤ්ඤය කෙළවරට පැමිණියේය. යම්හෙයකින් ඒ සිතින් ම ඒ සිත දැනගන්නට නොහැකි ද එහෙයින් චුත සිත නොදනියි. චුත වන මොහොතෙහි ම චුත වෙමියි දනියි. පිළිසිඳ ගෙන ප්රතිසන්ධි සිත නොදනියි. අසවල් තැන මා පිළිසිඳ ගත්තේ යැයි දනියි. ඒ කාලයෙහි දසදහසක් සක්වළ කම්පාවෙයි. මෙසේ මව් කුසට බැසගත්තේ දහනවයක් වූ ප්රතිසන්ධි සිත්වල මෛත්රී පෙරටු සොම්නස් සහගත ඥානසම්ප්රයුක්ත අසංකාර කුසල් සිත සමාන මහා විපාක සිතින් පිළිසිඳ ගත්තේය. මහාසිව තෙරහු උපේක්ෂා සහගත සිතින් යැයි කීහ.
පිළිසිඳ ගැනීම ඇසළ පුන් පොහෝ දින උතුරුසැල් නැකැතින් ගත්තේය. ඒ කාලයෙහි මහාමායා දේවිය පෝයට කලින් සතියක් පටන් සුරාපානයෙන් වෙන්ව මල්ගඳ විලවුන්ගෙන් යුක්තව නැකැත් කෙළිය අනුභව කරන්නී හත්වෙනි දින උදෑසන ම නැගිට සුවඳ පැනින් ස්නානය කොට සියලු ආභරණයන්ගෙන් සැරසී උතුම් ආහාර වළඳා පෙහෙවස් ඉටා සිරියහන් ගැබට පිවිස සිරියහනෙහි වැද ඉන්නී නින්දට පැමිණ මේ සිහිනය දැක්කේය. සිව්වරම් මහ රජවරු ඇය යහන පිටින් ඔසවා අනෝතප්ත විලට පමුණුවා එකත්පසක සිටියාහ. ඉක්බිතිව ඔවුන්ගේ දෙවඟනන් පැමිණ මිනිස් කිළිටි හැරීම පිණිස නහවා දිව්ය වස්ත්ර අන්දවා සුවඳ ගල්වා දිව්ය මල් පළඳවා එයට නුදුරෙහි රිදී පර්වතයක එහි ඇතුළත රන් විමානයක් ඇත. එහි නැගෙනහිරට හිස දමා සයනය කරවූහ. ඉක්බිතිව බෝධිසත්වයන් වහන්සේ සුදු ඇත්පැටියෙක්ව එයට නුදුරෙහි එක් රන් පර්වතයක හැසිර එයින් බැස රිදී පර්වතයට නැග උතුරු දිශාවෙන් පැමිණ රන් විමනට පිවිස මව පැදකුණු කොට දකුණු පස පලා කුසට ඇතුලු වූවා හා සමාන විය.