දෙවදූත සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් දේවදූත සූත්රය මෙසේ අසන ලදි. එහි ද්වෙ අගාරාති යනාදිය අස්සපුර සූත්රයෙහි විස්තර කරන ලදි.
නිරයං උපපන්නාති බුදුරදුන් කිසිතැනෙක දේශනාව නරකයෙන් පටන් ගෙන දෙලොවින් අවසන් කරත්. කිසියම් තැනක දෙව්ලොවින් පටන්ගෙන නරකයෙන් අවසන් කරයි. ඉදින් ස්වර්ග සම්පත්තිය විස්තර කොට කියන්නට කැමැති වෙති. නරකයෙහි දුක එක් දේශයකින් කියත්. තිරිසන් යෝනි දුක ප්රේත විෂය දුක මිනිස්ලොව සැපත එක් දේශයකින් කියත්. ස්වර්ග සැපත ම විස්තර කරත්. ඉදින් නරකයෙහි දුක විස්තර කොට කියන්නට කැමති වෙත් ද දිව්ය ලෝක මනුෂ්ය ලෝකයන්හි සැපත ද තිරිසන් යෝනි ප්රේත විෂයන්හි දුක ද එක් දේශයකින් කියත්. නරකයෙහි දුක ම විස්තර කරත්. උන්වහන්සේ මේ සූත්රයෙහි නරකයෙහි දුක විස්තර කරනු කැමැත්තේ එහෙයින් දෙව්ලොවින් පටන්ගෙන දේශනාව නරකයෙන් අවසන් කරත්. දිව්යලෝක මනුෂ්යලෝකයන්හි සැපත ද තිරිසන් යෝනි ප්රේතවිෂයන්හි දුක ද එක් දේශයකින් කියා නරකයෙහි දුක ම විස්තර කරන්නට තමෙනං භික්ඛවෙ නිරයපාලාති යනාදිය කීහ.
එහි සමහර තෙරවරු නිරය පාලයෝ නම් නැත. යන්ත්රරූපමව කර්ම කාරණය ම කරන්නේ යැයි කියත්. එය “නරකයෙහි නිරයපාලයෝ සිටිත් ද? එසේය: යන්ත්රරූපම කරන කටයුතු කරන්නෝ ඇත. යනාදී ක්රමයෙන් අභිධර්මයෙහි නිරය පාලයන් නැත යන්න වළකන ලද්දේම ය. යම්සේ මනුෂ්ය ලෝකයෙහි කරවන්නෝ ඇත් ද එසේම නරකයෙහි නිරයපාලයෝ ඇත. යමස්ස රඤ්ඤොති යමරජ දිව්යනාට්යංගනා ආදී සැප අනුභව කරයි. එක් කලෙක කර්ම විපාක සැප අනුභව කරයි. මොහු ධාර්මික රජකෙනෙක් නො වෙයි. දොරටු හතරේ ජනයෝ හතර දෙනෙක් වෙත්. නාද්දසන්ති තමා සමීපයෙන් යවන ලද කිසි දේවදූතයෙකුගේ අභාවය සඳහා මෙසේ කියයි. එකල යමරජ විසින් කියන ලද අර්ථය නොසැළකේ යැයි දැන හඟවනු කැමැත්තේ අම්හොති යනාදිය කීය.
ජාතිධම්මොති ඉපදීම් ස්වභාවයයි. ඉපදීමෙන් නොමිදුනෙමි. ඉපදීම නම් මාගේ ඇතුළත පවතියි. අනෙක් ජරාධම්මොති යනාදිය ද මේ ක්රමයයි.
පඨමං දෙවදූතං සමනුඤ්ජිත්වාති මෙහි ළදරු කුමරුවා අර්ථ වශයෙන් මෙසේ කියයි. පින්වත්නි, බලව්, මට ද තොපට මෙන් අත් පා ඇත. ස්වකීය මළමූත්රයෙහි ගැළුනෙමි. තමන්ගේ ශක්තියෙන් නැගිට නාන්නට නො හැක්කෙමි. මම කිළිටි වෙමි. මා නාවන්න යැයි කියන්නට ද නො හැක්කෙමි. ඉපදීමෙන් නො මිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද ඉපදීමෙන් නො මිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද ඉපදීම එන්නේ ය. එහෙයින් ඉපදීම එන්නට පෙර කුසල් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි. වචනයෙහි අර්ථය මඛාදේව සූත්රයෙහි කියන ලද්දේය.
දුතියං දෙවදූතන්ති මෙහි ද මහළු දිරුණු සත්ත්වයා යන අර්ථයෙන් මෙසේ කියන්නේ වෙයි. පින්වත්නි, බලව්, මම ද නුඹලා මෙන් තරුණ වූයෙමි. කලවා අත් බාහු ජවයෙන් පිරුණේය. ඒ මාගේ ශක්තිය අතුරුදහන් විය. අත් පා තිබුණත් වැඩ නොකරත්. ජරාවෙන් නොමිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද ජරාවෙන් නොමිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද ජරාව එන්නේ ය. එහෙයින් ජරාව එන්නට පෙර කුසල් කරව් එහෙයින් මේ දේවදූතයා වෙයි.
තතියං දෙවදූතන්ති මෙහි ද ලෙඩ ඇති සත්ත්වයා යන අර්ථයෙන් මෙසේ කියන්නේ වෙයි. පින්වත්නි, බලව මම ද නුඹලා මෙන් නිරෝගී වූයෙමි. ඒ මම දැන් ලෙඩෙන් මඩනා ලදුව සිය මළමුත්රයෙහි ඇලුණේ නැගිටින්න ද නොහැක්කෙමි. අත් පා තිබුණත් වැඩ නොකරත්. ලෙඩින් නොමිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද ලෙඩින් නොමිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද ලෙඩ එන්නේය. එහෙයින් ලෙඩ එන්නට පෙර කුසල් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි.