තමන්ගේ ස්වභාවයෙන් සිහි නොවන විට දේවදූත පස්දෙනාගෙන් විචාරයි. එහි කිසිවෙක් පළමු දේවදූතයාගෙන් සිහි කරයි. කිසිවෙක් දෙවන දේවදූතයා ආදීන්ගෙන් සිහි කරයි. යමෙක් පස් දෙනාගෙනුත් සිහි නො කරයි නම් යමරජු විසින් තෙමේම සිහි කරයි. එක් ඇමතියෙක් සමන්මල් සැළියකින් මහසෑය පුදා යමරජුට පින් දුන්නේය. අකුසල කර්මයකින් නරකයෙහි උපන් ඔහු යමරජු සමීපයට පැමිණවූහ. ඔහු දේවදූතයන් පස් දෙනාගෙනුත් කුසල කර්මයක් සිහි නොකරන කල්හි යමරජු තෙමේම බලන්නේ නුඹ සමන්මල් සැළියකින් මහසෑය පූජා කොට මට පින් දුන්නෙහි නොවේදැයි සිහි කරවූයේය. ඔහු ඒ කාලයෙහි සිහිකොට දෙව්ලොවට ගියේය. යමරජු තෙමේම බලා නොදකින්නේ නම් මේ සත්ව තෙමේ මහා දුක් විඳින්නේ යැයි නිශ්ශබ්ද වෙයි.
මහානිරයෙහි අවීචි මහා නරකයෙහි එහි ප්රමාණය කෙතෙක් ද? ඇතුළත දිගින් පළලින් යොදුන් සියයකි. ලෝහ පොළවය. ලෝහ පියැසිය. එක් එක් බිත්තිය නව නව යොදුන්ය. නැගෙනහිර බිත්තියෙන් නැගි ගිනි දැල්ල බස්නාහිර බිත්තිය ගෙන එය විදගෙන ඈතින් යොදුන් සියයක් යයි. සෙසු දිශාවන්හි ද මේ ක්රමයයි. මෙසේ ගිනි ජාලාවන්ගේ අවසාන වශයෙන් දිගට පැතිරීමෙන් දහ අට යොදුන් අධික කොට ඇති යොදුන් තුන්සියකි. යොදුනක වටින් යොදුන් නව සියයක් ද පණස් හතර යොදුනක් ද වෙත්. හාත්පස උස්සද සමඟ යොදුන් දහ දාහක් වෙයි.
උබ්භතං තාදිසමෙව හොතීති මෙහි පාගන ලද පාදය ඇට දක්වා දන ලද්දේ උගුලන්නට නොහැක. මෙහි මේ තේරුමයි. යට පටන් දැවෙයි. උඩ පටන් දැවෙයි. මෙසේ පාලන කාලයෙහි දැවෙනු ලබන්නේ පෙනෙයි. උගුලන ලද කාලයෙහි ද එසේමය. එහෙයින් මෙසේ කියන ලදි. බහුසම්පත්තොති බොහෝ අවුරුදු ලක්ෂ ගණන් ඉක්ම ගියේය.
කුමක් හෙයින් මේ නරකය අවීචිය යැයි නමට ගියේ ද ? වීචි නම් අතර යැයි කියයි. ගිනි දැල්වල හෝ සත්වයන්ගේ හෝ දුකෙහි හෝ අතරක් නැත. එහෙයින් එය අවීචිය යන නමට ගියේය. එහි නැගෙනහිර බිත්තියෙහි ගිනිදැල් නැග මසන්නාක් මෙන් යොදුන් සියයක් ගොස් බස්නාහිර බිත්තිය විද එතරින් යොදුන් සියයක් යයි. සෙසු දිශාවන්හි ද මේ ක්රමයයි.
මේ ගිනිජාලා හයක් මැද උපන් දේවදත්ත තෙමේ ඔහුගේ යොදුන් සියයක් පමණ ආත්ම භාවයයි. පාදක වළලුකර තෙක් ලෝහ පොළොවෙහි පිවිසියේය. අත්දෙක මැණික් කටුව තෙක් ලෝහ බිත්තියෙහි පිවිසියේය. හිස ඇස් බැම දෙක තෙක් ලෝහ පියැස්සෙහි පිවිසියේය. අධෝමාර්ගයෙන් එක් ලෝහ හුලක් පිවිස ශරීරය විනිවිද ගොස් පියැස්සෙහි වැදුණේය. නැගෙනහිර බිත්තියෙන් නික්මුණු හුල හෘදය විනිවිද ගොස් බස්නාහිර බිත්තියේ වැදුණේය. උතුරු බිත්තියෙන් වැදුණු හුල ඉල ඇට විනිවිද ගොස් දකුණු බිත්තියේ වැදුණේය. නිශ්චල වූ බුදුරදුන් කෙරෙහි කිපුණු බැවින් නිශ්චලව පැසෙවයි කර්මයට සමාන බැවින් මෙබඳු වූයේය. මෙසේ ජාලාවන්ගේ නිතර පැවැති හෙයින් අවීචි නම් වේ.
එහි ඇතුළත යොදුන් සියයක් ගිය තැන සැළියෙහි කොටා පුරවන ලද ඊයම් පිටි මෙන් සත්වයන්ගේ අතරක් නැත. මේ ස්ථානයේ සත්වයෙක් ඇත. මේ ස්ථානයේ සත්වයෙක් නැතැයි නොකිව යුතුයි යන සිටින හිඳින සැතපෙන පැසෙන මොවුන්ගේ කෙළවරක් නැත යන කල්හි ද සිටින කල්හි ද හිඳින කල්හි ද සැතපෙන කල්හි ද පැසෙන කල්හි ද ඔවුනොවුන් බාධා නොකරති. මෙසේ සත්වයන්ගේ නිරන්තර බැවින් අවීචි නම් වේ.