එහි සමහර තෙරවරු නිරය පාලයෝ නම් නැත. යන්ත්රරූපමව කර්ම කාරණය ම කරන්නේ යැයි කියත්. එය “නරකයෙහි නිරයපාලයෝ සිටිත් ද? එසේය: යන්ත්රරූපම කරන කටයුතු කරන්නෝ ඇත. යනාදී ක්රමයෙන් අභිධර්මයෙහි නිරය පාලයන් නැත යන්න වළකන ලද්දේම ය. යම්සේ මනුෂ්ය ලෝකයෙහි කරවන්නෝ ඇත් ද එසේම නරකයෙහි නිරයපාලයෝ ඇත. යමස්ස රඤ්ඤොති යමරජ දිව්යනාට්යංගනා ආදී සැප අනුභව කරයි. එක් කලෙක කර්ම විපාක සැප අනුභව කරයි. මොහු ධාර්මික රජකෙනෙක් නො වෙයි. දොරටු හතරේ ජනයෝ හතර දෙනෙක් වෙත්. නාද්දසන්ති තමා සමීපයෙන් යවන ලද කිසි දේවදූතයෙකුගේ අභාවය සඳහා මෙසේ කියයි. එකල යමරජ විසින් කියන ලද අර්ථය නොසැළකේ යැයි දැන හඟවනු කැමැත්තේ අම්හොති යනාදිය කීය.
ජාතිධම්මොති ඉපදීම් ස්වභාවයයි. ඉපදීමෙන් නොමිදුනෙමි. ඉපදීම නම් මාගේ ඇතුළත පවතියි. අනෙක් ජරාධම්මොති යනාදිය ද මේ ක්රමයයි.
පඨමං දෙවදූතං සමනුඤ්ජිත්වාති මෙහි ළදරු කුමරුවා අර්ථ වශයෙන් මෙසේ කියයි. පින්වත්නි, බලව්, මට ද තොපට මෙන් අත් පා ඇත. ස්වකීය මළමූත්රයෙහි ගැළුනෙමි. තමන්ගේ ශක්තියෙන් නැගිට නාන්නට නො හැක්කෙමි. මම කිළිටි වෙමි. මා නාවන්න යැයි කියන්නට ද නො හැක්කෙමි. ඉපදීමෙන් නො මිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද ඉපදීමෙන් නො මිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද ඉපදීම එන්නේ ය. එහෙයින් ඉපදීම එන්නට පෙර කුසල් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි. වචනයෙහි අර්ථය මඛාදේව සූත්රයෙහි කියන ලද්දේය.
දුතියං දෙවදූතන්ති මෙහි ද මහළු දිරුණු සත්ත්වයා යන අර්ථයෙන් මෙසේ කියන්නේ වෙයි. පින්වත්නි, බලව්, මම ද නුඹලා මෙන් තරුණ වූයෙමි. කලවා අත් බාහු ජවයෙන් පිරුණේය. ඒ මාගේ ශක්තිය අතුරුදහන් විය. අත් පා තිබුණත් වැඩ නොකරත්. ජරාවෙන් නොමිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද ජරාවෙන් නොමිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද ජරාව එන්නේ ය. එහෙයින් ජරාව එන්නට පෙර කුසල් කරව් එහෙයින් මේ දේවදූතයා වෙයි.
තතියං දෙවදූතන්ති මෙහි ද ලෙඩ ඇති සත්ත්වයා යන අර්ථයෙන් මෙසේ කියන්නේ වෙයි. පින්වත්නි, බලව මම ද නුඹලා මෙන් නිරෝගී වූයෙමි. ඒ මම දැන් ලෙඩෙන් මඩනා ලදුව සිය මළමුත්රයෙහි ඇලුණේ නැගිටින්න ද නොහැක්කෙමි. අත් පා තිබුණත් වැඩ නොකරත්. ලෙඩින් නොමිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද ලෙඩින් නොමිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද ලෙඩ එන්නේය. එහෙයින් ලෙඩ එන්නට පෙර කුසල් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි.
චතුත්ථං දේවදූතං මෙහි කර්ම කිරීම හෝ කරවීම දේවදුතයයි. එහි කර්ම කරන පක්ෂයෙහි තිස්දෙකක් ඒ තාක් කර්ම කාරණා, අර්ථයෙන් මෙසේ කියත්. අපි උපන්නාහු ගසක හෝ ගලක හෝ නූපන්නෙමු. නුඹලා වැනි අයගේ ශරීරයේ උපන්නෙමු. මෙසේ අපේ ඉපදීමට පෙර පින් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි. කර්ම කරන්නා ද අර්ථයෙන් මෙසේ කියත්. අපි තිස්දෙකක් කර්ම කාරණා කරන්නෝ ගස් ආදියෙහි නොකරමු. නුඹලා වැනි සතුන් අතරෙහි ම කරමු. එහෙයින් අපේ කර්ම කිරීමට පළමුව නුඹලා කුසල් කරව්. එහෙයින් ඔහු ද දේවදුතයා නමි.
පඤ්චමං දෙවදූතන්ති එහි මළ සත්ත්වයා අර්ථයෙන් මෙසේ කියයි. පින්වත්නි, මා බලව්. අමු සොහොනෙහි දැමීමට ඉදිමුම් ආදියට පැමිණියාහුය. මරණයෙන් නොමිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද මරණයෙන් නොමිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද මරණය එන්නේ ය. එහෙයින් මරණය එන්නට පෙර කුසල් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි.
මේ දේවදූතානුයෝගය කවරෙක් ලබා ද කවරෙක් නොලබා ද යමෙක් බොහෝ පාපයන් කරන ලද ද හෙතෙම ගොස් නරකයෙහි උපදියි. යමෙක් පාපයන් ටිකක් කරන ලද්දේ ද හෙතෙම ලබයි. යම් සේ බඩු සහිත සොරා ගෙන කළ යුත්ත ම කරත්. හෙතෙම විනිශ්චය ලබයි. මෙසේ මේ උපමාවයි. ඉතිරි කර්මය තමන්ගේ ස්වභාවයෙන් ම සිහි කරත්. සිහි කරවන්නාහු ද සිහි කරත්.
එහි දී දීඝ ජයන්ත දෙමළ තෙමේ තමාගේ ස්වභාවයෙන් ම සිහි කළේය. ඒ දෙමළ තෙමේ සුමනගිරි වෙහෙර අහස් චෛත්යය රතු වස්ත්රයෙන් පිදීය. එකල නරකයෙහි උස්සදයට සමීපයෙහි උපන්නේ ගිනි දැල්වල ශබ්දය අසා තමා පුදන ලද වස්ත්රය සිහි කළේය. ඔහු ගොස් ස්වර්ගයෙහි උපන්නේය. තවත් අයෙක් ද තරුණ භික්ෂුවකට බලි වස්ත්රයක් දෙන්නේ පාමුල තැබීය. තබන කාලයෙහි ම නිමිත්ත ගත්තේය. ඒ තෙමේ ද උස්සද සමීපයෙහි උපන්නේ ගිනිදැල් ශබ්දයෙන් ඒ සළුව සිහිකොට ස්වර්ගයෙහි උපන්නේය.
තමන්ගේ ස්වභාවයෙන් සිහි නොවන විට දේවදූත පස්දෙනාගෙන් විචාරයි. එහි කිසිවෙක් පළමු දේවදූතයාගෙන් සිහි කරයි. කිසිවෙක් දෙවන දේවදූතයා ආදීන්ගෙන් සිහි කරයි. යමෙක් පස් දෙනාගෙනුත් සිහි නො කරයි නම් යමරජු විසින් තෙමේම සිහි කරයි. එක් ඇමතියෙක් සමන්මල් සැළියකින් මහසෑය පුදා යමරජුට පින් දුන්නේය. අකුසල කර්මයකින් නරකයෙහි උපන් ඔහු යමරජු සමීපයට පැමිණවූහ. ඔහු දේවදූතයන් පස් දෙනාගෙනුත් කුසල කර්මයක් සිහි නොකරන කල්හි යමරජු තෙමේම බලන්නේ නුඹ සමන්මල් සැළියකින් මහසෑය පූජා කොට මට පින් දුන්නෙහි නොවේදැයි සිහි කරවූයේය. ඔහු ඒ කාලයෙහි සිහිකොට දෙව්ලොවට ගියේය. යමරජු තෙමේම බලා නොදකින්නේ නම් මේ සත්ව තෙමේ මහා දුක් විඳින්නේ යැයි නිශ්ශබ්ද වෙයි.