ආනාපානසති සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති ආනාපානසති සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි අඤ්ඤෙහි වාති පෙළෙහි ආ දස තෙරුන් හැර වෙනත් ප්‍රසිද්ධ වූ බොහෝ ශ්‍රාවකයන් සමග එකල්හි වනාහි පිරිසිඳිය නොහැකි ගණනින් මහත් වූ භික්‍ෂුසංඝයා විය.
ඔවදන්ති අනුසාසන්තීති ආමිෂ සංග්‍රහය ධර්ම සංග්‍රහය යන දෙවැදෑරුම් සංග්‍රහයන්ගෙන් සංග්‍රහ කොට කර්මස්ථාන අවවාද අනුශාසනාවන්ගෙන් අවවාද කරත්. අනුශාසනා කරත්. තෙ චාති චකාරය ආගම සන්ධි මාත්‍රයක් පමණි. උළාරං පුබ්බෙනාපරං විසෙසං ජානන්තීති සීලය සම්පූර්ණ කිරීම් ආදියෙන් විශේෂයෙන් උළාර වූ අනෙක් කසින පරිකර්මාදී විශේෂය දනිත් යන තේරුමයි.
ආරද්ධොති සතුටු වූයේ අප්පත්තස්ස පත්තියාති නොපැමිණි රහත්බවට පැමිණීම පිණිස සෙසු පද දෙකේ ද මේ තේරුමයි. කොමුදීචාතුමාසිනීති ඉල් මස මැදි පොහෝ දා ඒ කාලයෙහි කුමුදු ඇති නිසා කොමුදී යැයි කියයි. වස් හාරමස අවසානයෙහි පිහිටි හෙයින් චතුමාසීති යැයි කියනු ලැබේ. ආගමෙස්සාමි බලාපොරොත්තු වන්නෙමි. අද නොපවරා යම්තාක් ඕ පැමිණෙන්නේ ද ඒතාක් කිසිතැනක නොගොස් මෙහිම වසමියි යන තේරුමයි. මෙසේ භික්‍ෂූන්ට පවාරණ සංග්‍රහය අනුදැන වදාරනේ මෙසේ කීය.
පවාරණ සංග්‍රහය ඤත්ති දුතිය කර්මයෙන් දෙනු ලබන්නකි. කවරෙකුට එය දෙන්නේ ද? කවරෙකුට නොදෙන්නේ ද? නොකරන්නාටත් මෝඩ පෘථග්ජනයාටත් නොදෙයි. එසේම ආරද්ධ විදර්ශකයාටත් ආදිය ශ්‍රාවකයාටත් නොදෙයි. යමෙකුට වනාහි සමථයත් විදර්ශනාවත් තරුණ නම් ඔහුට දෙනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේ ද එදා භික්‍ෂූන්ගේ චිත්තාවාරය විමසන්නේ සමථ විදර්ශනාවන්ගේ තරුණ බව දැන මා අද පවරනු ලබන කල්හි නොයෙක් නොයෙක් දිසාවල වස්විසූ භික්‍ෂූහු මෙහි රැස්වන්නාහුය. එයින් මේ භික්‍ෂූහු වයසින් වැඩි භික්‍ෂූන් සෙනසුන් ගත් කල්හි විශේෂයක් උපදවන්නට නොහැකි වෙත්. ඉදින් චාරිකාවෙහි හැසිරෙන්නේ නම් මොවුන්ට වාසස්ථාන දුර්ලභ වන්නේය. මා පවාරණය නොකරන කල්හි භික්‍ෂූහු මේ සැවැත්නුවරට නොරැස්වන්නාහුය. මා චාරිකාවේ නොයන්නේ නම් මෙසේ මේ භික්‍ෂූන්ට වාසස්ථාන පළිබෝධ නොවන්නේය. ඔවුහු තම තමන්ගේ වාසස්ථානවල සුවසේ වසන්නාහු සමථ විදර්ශනා ශක්තිමත් කොට විශේෂයක් උපදවන්නට හැකිවන්නෝ යැයි උන්වහන්සේ එදින නොපවරා ඉල් මස පුණුපොහෝදා පවාරණය කරන්නෙමියි භික්‍ෂූන්ට පවාරණ සංග්‍රහය අනුදැන වදාළහ. පවාරණ සංග්‍රහය ලද කල්හි නිස සමාදන්ව ගත්තහුගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ආපසු එත්. ඔහුත් ඉදින් සුදුසු වූ නිස දෙන්නෙක් එන්නේ නම් ඔහුගේ සමීපයෙහි නිස ගන්නෙමියි ග්‍රීෂ්ම සෘතුවේ අවසන් මාසය දක්වා වාසය කරන්නට ලබයි. ඉදින් සැටවස් ඇති භික්‍ෂූන් එත් ද උන්වහන්සේලාට සෙනසුනක් ලබන්නට නොහැකි වෙත්. මේ පවාරණ සංග්‍රහය එක් අයෙකුට දුන් කල්හි සියල්ලන්ට ම දුන්නේ වෙයි.
සාවත්‍ථිං ඔසරන්තීති භාග්‍යවතුන් වහන්සේ විසින් පවාරණ සංග්‍රහය දෙන ලදැයි සූත්‍රය ඇසූ තැනම යථාස්වභාවයෙන් එක් මාසයක් වාසය කොට ඉල් පුණු පොහෝ දා පොහොය කොට පැමිණෙන්නවුන් සඳහා මෙය කියන ලදි. පුබ්බෙනාපරන්ති මෙහි තරුණ විදර්ශනාව කොට සමථ විදර්ශනාව ශක්තිමත් කළාහුය. මේ පූර්ව විශේෂයයි. ඉක්බිත්තෙන් එකඟ වූ සිතින් සංස්කාරයන් සිහිකොට සමහරෙක් සෝවාන් ඵලය -පෙ- සමහරක් රහත්බව සාක්‍ෂාත් කළාහුය. මෙය තවත් උදාර වූ විශේෂයකි.
අලන්ති යුතුවෙයි. යොජනගණනානීති එක් යොදුනත් යොදුනමය. දස යොදුනත් යොදුනමය. එයින් මත්තේ යොදුන් ගණනැයි කියත්. මෙහි යොදුන් සියයක් යොදුන් දහසක් අදහස් කරන ලදි. පුටොසෙනාපීති පුටෝසං යැයි මාගෝපකරණවලට කියයි. ඒ මාර්ගෝපකරණ ගෙන එළඹෙන්නට සුදුසුය යන තේරුමයි. පුටංසේන යන පදයක් ද ඇත. මාර්ගෝපකරණ අංශයක ඇත්තේ ද ඔහු පුටංස නමි. ඔහු විසින් අංශයකින් මාර්ගෝපකරණ උසුලන හෙයින් පුටංසෙ යනුවෙන් කියන ලදි.
දැන් මෙබඳු ගුණයන්ගෙන් සමන්විත වූ භික්‍ෂූහු මෙහි ඇත්තාහු යැයි දැක්වීමට සන්ති භික්ඛවෙති යනාදිය කීහ. එහි චතුන්නං සතිපට්ඨානාන්ති ආදිය ඒ භික්‍ෂූන් විසින් වඩන ලද කර්මස්ථාන දැක්වීම සඳහා කියන ලදි. එහි සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ ලෞකික ලෝකෝත්තර යැයි කියන ලදි. එහි යම් භික්‍ෂුවක් එකෙණෙහි ම මාර්ගය වඩත් ද ඔවුන්ට ලෝකෝත්තර වෙත්. පටන්ගන්නා ලද විදර්ශනා ඇත්තවුන්ට ලෞකිකය. අනිච්චසඤ්ඤාභාවනානුයොගන්ති එහි සංඥා ශීර්ෂයෙන් විදර්ශනාව කියන ලදි. යම්හෙයකින් මෙහි බොහෝ භික්‍ෂූහු ආනාපානය කර්මස්ථාන වශයෙන් වඩන ලදි. එහෙයින් සෙසු කර්මස්ථාන කෙටියෙන් කියා ආනාපාන කර්මස්ථානය විස්තර වශයෙන් කියන්නේ ආනාපාන සති භික්ඛවෙ යනාදිය කීහ. මේ ආනාපාන කර්මස්ථානය සියලු ආකාරයෙන් විසුද්ධිමාර්ගයෙහි විස්තර කරන ලදි. එහෙයින් එහි කියන ලද ක්‍රමයෙන් මෙහි පෙළේ තේරුම ද භාවනා ක්‍රමය ද දතයුතුය.
කායසඤ්ඤතරන්ති පෘථිවි කායාදි හතර කයෙහි එකක් යැයි කියමි. වායොකායං වදාමීති වායෝකාය කියමියි යන තේරුමයි. නැතහොත් රූපායතනය -පෙ- කබලිංකාර ආහාරය යන පස්විසි රූප කොට්ඨාශය රූපකාය නමි. ඒ අතරෙහි ආනාපානය ඵොට්ඨබ්බායතනයෙහි සංගෘහිත බැවින් එක්තරා කයක් වෙයි. එහෙයින් ද මෙය කීහ. තස්මාතිහාති යම්හෙයකින් කයවල් හතර අතුරෙහි වායෝ කය ද එකකි. වායෝ කය පස්විසි වැදෑරුම් කොට්ඨාශයෙහි හෝ එක්තරා රූප කයක හෝ ආනාපානය අනුව දකියි. එහෙයින් කයෙහි කය අනුව බලන්නේ යැයි යන තේරුමයි. මෙසේ සියලු තැන්හිම තේරුම දතයුතුයි. වෙදනඤ්ඤතරන්ති විවිධ වේදනාවන් අතුරෙන් එක්තරා සුඛ වේදනාවක් සඳහා මෙය කියන ලදි, සාධුකං මනසිකාරන්ති ප්‍රීතිපටිසංවිදිතාදි වශයෙන් උපන් යහපත් මනසිකාරයයි. කිම මනසිකාරය සුඛ වේදනා වේද? නොවේ ද? මේ වනාහි දේශනා ශීර්ෂයයි. යම්සේ අනිත්‍ය සංඥා භාවනානු යෝගයෙහි යෙදුනේ යන මෙතැන සංඥා නාමයෙන් ප්‍රඥාව කියන ලදි. මෙසේ මෙහි මනසිකාර නාමයෙන් වේදනාව කියන ලද යැයි දතයුතුයි. පළමු චතුෂ්කයෙහි පළමු පදයෙහි ප්‍රීති ශීර්ෂයෙන් වේදනාව කියන ලදි. දෙවන පදයෙහි සුඛ යැයි ස්වරූපයෙන් ම කියන ලදි. චිත්ත සංස්කාර යන පද දෙකෙහි සංඥා හා වේදනා යන චෛතසිකයෝය. මේ ධර්මයෝ සිතෙහි එකට බැඳුණු බැවින් චිත්ත සංස්කාර යන වචනයෙන් විතර්ක විචාරයන් හැර සියලු චිත්ත සම්ප්‍රයුක්ත ධර්මයෝ චිත්ත සංස්කාරයෙහි සංගෘහිත යැයි කී හෙයින් චිත්ත සංස්කාර නාමයෙන් වේදනාව කියන ලදි. ඒ සියල්ල මනසිකාර නාමයෙන් සංග්‍රහ කොට මෙය යහපත් මනසිකාරය යැයි කීය.