අනුපද වර්ගය
අනුපද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති යනු අනුපද සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි යන්නයි. එහි එතදවොචාති යනෙන් මොහු පණ්ඩිතයෙකි යි ආදී ක්‍රමයෙන් දහම් සෙනෙවි සැරියුත් තෙරුන්ගේ ගුණ කතාව කීය. සෙසු තෙරුන් අතුරෙන් මහමුගලන් තෙරුන්ගේ සෘද්ධි ගුණය ප්‍රකටය. මහකසුප් තෙරුන්ගේ ධුතාංග ගුණය ද අනුරුද්ධ තෙරුන්ගේ දිවැස් ගුණය ද උපාලි තෙරුන්ගේ විනයධර ගුණය ද රේවත තෙරුන්ගේ ධ්‍යාන සුවයෙන් පසුවන ගුණය ද අනඳ තෙරුන්ගේ බහුශ්‍රැත ගුණය ද ප්‍රකට විය. මෙසේ ඒ ඒ තෙරවරුන්ගේ ඒ ඒ ගුණයන් ප්‍රකටය. සැරියුත් තෙරුන්ගේ ගුණ අප්‍රකටය. කුමක්හෙයින් ද යත්? ප්‍රඥාවන්තයින්ගේ ගුණ නොකී කල්හි දැනීමට නොහැකිය. බුදුරදුන් සැරියුත් තෙරුන්ගේ ගුණ කියන්නෙමියි සභාග පිරිස් කැඳවූහ. මෙදින සැරියුත් තෙරුන්ගේ සභාග පිරිස රැස්වූවාහ. ඔවුන් රැස්වුණු බව දැක බුදුරදුන් ගුණ කියමින් මේ දේශනාව ඇරඹූහ.
එහි පණ්ඩිතොති ධාතු කුසලතාව, ආයතන කුසලතාව, ප්‍රතීත්‍යසමුප්පාද කුසලතාව, ඨානාඨාන කුසලතාව යන මේ කරුණු සතරෙන් පණ්ඩිත වූයේ යනුයි. මහාපඤ්ඤොති යනාදීන්හි මහා නුවණින් යුතු වූයේ යන තේරුමයි.
එහි මේ මහා ප්‍රඥා ආදීන්ගේ නානත්වයයි. එහි මහාප්‍රඥා යනු කවරේද? මහත් වූ සීලස්ඛන්‍ධය පිළිගන්නේ මහා ප්‍රඥාවයි. මහත් වූ සමාධිස්ඛන්‍ධය, ඥානස්ඛන්‍ධය, විමුත්තිස්ඛන්‍ධය, විමුත්තිඥානදර්ශනස්ඛන්‍ධය පිළිගැනීම ද මහා ප්‍රඥාව වේ. මහාඨානාඨාන, මහා විහාරසමාපත්ති, මහා ආර්යසත්‍ය, මහා සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන ඉද්ධිපාද, මහා ඉන්ද්‍රිය බල, බොජ්ඣංග, මහා ආර්ය මාර්ග, මහා ශ්‍රාමණ්‍යඵල, මහා අභිඥා, මහා පරමාර්ථය වන නිර්වාණය පිළිගැනීම ද මහා ප්‍රඥාව වේ.
පුථුපඤ්ඤා යනු කවරේ ද? වෙන් වෙන්ව නොයෙක් නොයෙක් ස්කන්‍ධයන්හි පවත්නා නුවණ පුථුපඤ්ඤා නම් වේ. නොයෙක් ධාතූන්හි, නොයෙක් ආයතනයන්හි, නොයෙක් අර්ථයන්හි, නොයෙක් ප්‍රතීත්‍යසමුප්පාදයන්හි, නොයෙක් ලබන ලද සුඤ්ඤත ධර්මයන්හි, නොයෙක් සීලස්ඛන්‍ධයන්හි, නොයෙක් සමාධි පඤ්ඤා විමුත්ති විමුත්තිඥානදර්ශනස්ඛන්‍ධයන්හි, නොයෙක් ඨානාඨානයන්හි, නොයෙක් විහාරසමාපත්තීන්හි, නොයෙක් ආර්ය සත්‍යයන්හි, නොයෙක් සතිපට්ඨානයන්හි, නොයෙක් සම්‍යක් ප්‍රධානයන්හි, ඉර්ධිපාදයන්හි ඉන්ද්‍රියන්හි, බලයන්හි, බොජ්ඣංගයන්හි, නොයෙක් ආර්ය මාර්ගයන්හි, ශ්‍රාමණ්‍යඵලයන්හි අභිඥාවන්හි, නොයෙක් දෙනාට සාධාරණ ධර්මයන් ඉක්ම වූ පරමාර්ථ නිවනෙහි නුවණ පවතින්නේ පුථුපඤ්ඤා නමි.
හාසු පඤ්ඤාව කවරේද යත්? මෙහි යම්කිසිවෙක් ප්‍රීතිය බහුලව විඳීම් බහුලව සතුට බහුලව ප්‍රමෝදය බහුලව සිල් පිරීම කරයි ද? ඉන්ද්‍රිය සංවරය පුරයි ද? භෝජනයෙහි පමණ දැනීම, නිදි වර්ජනය, සීල සමාධි පඤ්ඤා විමුත්ති විමුත්තිඤාණදර්ශන ස්ඛන්‍ධයන් පුරයි ද? ප්‍රීතිය බහුලව ප්‍රමෝදය බහුලව ඨානාඨානය අවබෝධ කරයි ද එය හාසු ප්‍රඥාවයි. ප්‍රීතිය බහුලව විහාර සමාපත්තිය පුරයි ද එය හාසු ප්‍රඥාවයි. ප්‍රීතිය බහුලව ආර්ය සත්‍ය අවබෝධ කරයි ද සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන, ඉර්ධිපාද, ඉන්ද්‍රිය බල, බොජ්ඣංග, ආර්ය මාර්ගය වඩන්නේ වේද හෙතෙම හාසු පඤ්ඤා පුද්ගලයා නම් වේ. ප්‍රීතිය බහුලව ශ්‍රාමණ්‍යඵලයන් සාක්‍ෂාත් කරයි ද අභිඥාවන් අවබෝධ කරයි ද පරමාර්ථ සංඛ්‍යාත නිවන සාක්‍ෂාත් කරන්නේ නම් එය හාසු පඤ්ඤා නමි.
ජවනපඤ්ඤා යනු කවරේද යත්? අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ යම්කිසි දුර වූ හෝ සමීපයෙහි වූ හෝ රූපයක් වේද ඒ සියළු රූප වහා අනිත්‍ය ස්වභාවයට දිවෙයි යැයි දැනගන්නා නුවණ ජවනපඤ්ඤා නම් වේ. වහා දුක්ඛිත ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත් දිවෙනුයි ජවනපඤ්ඤා නමි. යම්කිසි වේදනාවක් ඇති වේද -පෙ- අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ යම්කිසි විඤ්ඤාණයක් වේද ඒ සියළු විඤ්ඤාණය අනිත්‍ය දුක්ඛ අනාත්මභාවයන්ට වහා දුවන හෙයින් ජවනපඤ්ඤා නම් වේ. ඇස -පෙ- අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ජරා මරණයන් අනිත්‍ය දුක්ඛ අනාත්මභාවයන්ට වහා දුවන හෙයින් ජවනපඤ්ඤා නම් වේ. අතීතානාගත වර්තමාන වූ රූපය ක්‍ෂයවීම් ස්වභාව නිසා අනිත්‍ය යැයි ද බියජනක ස්වභාවය නිසා දුක්ඛ යැයි ද අසාර ස්වභාවය නිසා අනාත්ම යැයි ද තුළනය කොට තීරණය කර සිත දියුණු කර දැන වඩා රූප නිරෝධ සංඛ්‍යාත නිවනෙහි වහා දිවෙනුයේ ජවනපඤ්ඤා නම් වේ. අතීතානාගත වර්තමාන වූ රූපය -පෙ- විඤ්ඤාණය ඇස -පෙ- ජරාමරණ අනිත්‍ය සංඛ්‍යාත ප්‍රතීත්‍යසමුප්පන්න ක්‍ෂයවන ස්වභාවය වැයවන ස්වභාවය විරාග ස්වභාවය නිරෝධ ස්වභාවය තුළනය කොට තීරණය කර වඩා ජරාමරණ නැති නිවනෙහි වහා දිවෙනුයේ ජවනපඤ්ඤා නමි.