බහුධාතුක සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති බහුධාතුක සූත්‍රය මවිසින් මෙසේ අසන ලදි. එහි භයානීති බිය වූ සිත්හි හටගන්නා තැති ගැන්මයි. උපද්දවොති අස්වැසිල්ලක් නැති උපසග්ගොති ලතවන ආකාරය. ඒ ඒ තැන්වල ඇලෙන ගතිය. ඒවායේ වෙනස් ස්වභාවය ද දත යුතුයි. පර්වත ආදී විෂමභාවයෙන් යුත් තැන්වල දී සොරු දනව් වැසියන් කරා යෙති. අපි අසවල් දවසෙහි නුඹලාගේ ගම පහරන්නෙමු යි කියත්. ඒ පුවත ඇසූ කාලයේ පටන් බියට තැති ගැනීමට පැමිණෙත්. මේ චිත්තුත්‍රාසය නම් වේ. මෙහිදී සොරු අප හා කිපී අනතුරු කරතැයි බියෙන් හස්තසාර වස්තූන් හා දෙපා සිව්පා සතුන් ද සමග වනයට පිවිස ඒ ඒ තැන්හි හිඳිත්. මැසි මදුරුවන් කනු ලබන්නේ ද වන ලැහැබට පිවිසෙත්. කණකටු හුල් ඇනෙත්. මොවුන්ගේ මේ හැසිරීම අස්වැසිල්ලක් නැති බව දක්වයි. ඉක්බිති සොරුන් විසින් කියන ලද දවසෙහි නොපැමිණි විට එය බොරු පුවතක් වන්නේ යැයි ගමට යමුයි සපිරිවරින් සියළු දේ ගෙන ගමට පිවිසෙත්. අනතුරුව ඔවුන් පැමිණි බව දැන ගම පිරිවා දොර ගිනි තබා මිනිසුන් මරා සොරු සියළු සම්පත් පැහැරගෙන යති. ඔවුන් අතරෙන් මරණයෙන් බේරුණු අය ගිනි නිවා කොටු සෙවන බිත්ති සෙවන ආදි ඒ ඒ තැන්වල ලැග හිඳිත්. නැසුණු අය ගැන දුක්වෙති. මේ පිවිසෙන ආකාරය හා තැවෙන ආකාරයයි.
නළාගාරාති හුණදඬු ආදියෙන් සෙවන ඇති කරගත් ගෙවල්. අනෙත් උපකරණ දැවමය වෙයි. තණකොළවලින් සෑදු ගෙවල් ද මේ ක්‍රමයමයි. බාලතො උප්පජ්ජන්තීති බාලයන් නිසාම උපදිත්. බාලයා යනු මෝඩයායි. රාජ්‍යයක් හෝ උප රාජ්‍යයක් හෝ වෙනත් බලවත් තනතුරක් හෝ බලාපොරොත්තු වන්නෙක් සොර අඹුවකගේ පුතුන් කීපදෙනෙක් තමාට සමාන අයගෙන් තෝරාගෙන එව්, මම නුඹලා පොහොසතුන් කරන්නෙමියි පර්වත ගුහා ආදිය ඇසුරු කොටගෙන ඇතුළු ගම් පහරමින් දාමරිකයන් බව හඟවා පිළිවෙළින් නියම්ගම් ද ජනපදයන් ද පැහැරිය යුතුය. මිනිස්සු ගෙවල් අතහැර බිය නැති තැන් සොයා යති. ඔවුහු නිසා විසූ භික්‍ෂු භික්‍ෂුණීහු ද තමතමන් වසන තැන් අතහැර දමා යති. ගිය ගිය තැන ආහාර ද සෙනසුන් ද දුර්ලභ වෙයි. මෙසේ සිව්පිරිසට බියේ පැමිණියේ වෙයි. පැවිද්දන් අතරෙහි මෝඩ මහණුන් දෙදෙනෙක් ඔවුනොවුන් විවාදයක් ඇතිකොට චෝදනාවක් ඇති කරයි. මෙසේ කොසබෑනුවර වැසි මහණුන් අතර මෙන් මහත් කලහයක් උපදියි. චතුන්නං පරිසානං භයං ආගතමෙව හොතීති මෙසේ යම්කිසි බියක් උපදියි ද ඒ සියල්ල මෝඩයා නිසාම ඉපදුණේ යැයි දතයුතුයි.
එතදවොචාති බුදුරදුන් ධර්මදේශනාව අවසන් නොකොට නිමවූහ. මම බුදුරදුන් විමසා සර්වඥතා ඥානයෙන් දේශනාවගේ කෙළවර කරන්නේ නම් ඉතා යෙහෙකියි සිතා මේ කිත්තාවතා නු ඛො භන්තෙ යනාදී වචන කීය.
අටළොස් ධාතූන්හි එකොළොස් හමාරක් ධාතු රූප පිළිගන්නාහුය. ධාතූන් අට හමාරක් අරූප පිළිගන්නාහුය. මින් රූපාරූප පරිග්‍රහය කියන ලදි. සියල්ල ස්ඛන්‍ධ වශයෙන් පංචස්ඛන්‍ධයෝ වෙත්. පංචස්ඛන්‍ධය දුක්ඛ සත්‍යයයි. ඒවායේ ඇලෙන ගතිය සමුදය සත්‍යයයි. දෙදෙනාගේ නොපැවැත්ම නිරෝධ සත්‍යයයි. නිරෝධය දැන ගැනීම් ප්‍රතිපදාව මාර්ග සත්‍යයයි. මෙසේ චතුරාර්ය සත්‍ය කර්මස්ථානය එක් භික්‍ෂුවකගේ නික්ම යෑම කුළු ගන්වමින් දේශනා කළේ වෙයි. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තර වශයෙන් මේ ධාතු පිළිබඳව විසුද්ධිමාර්ගයේ දී කියන ලදි. ජානාති පස්සතීති විදර්ශනාව සමඟ ම මාර්ගය කියන ලදි.
පෘථිවිධාතු ආදිය සවිඥානක ශරීරය ශුන්‍ය වශයෙන් නිශ්‍රය වශයෙන් දක්වනු සඳහා කියන ලදි. පළමු අටළොස් ධාතූන්ගෙන් පිරිය යුතු කොටස් පුරන්නහු විසින් විඥානධාතූන් වශයෙන් ගෙන පිරිය යුතුයි. සෙසු විඥානධාතූහු චක්‍ෂුර්විඥානාදී වශයෙන් සය වැදෑරුම් වේ. එහි චක්‍ෂුර්විඥාන ධාතුවෙන් පිළිගත් එහි වස්තුව චක්‍ෂුර්ධාතු ආරම්මණයයි. රූපධාතු දෙකක් පිළිගන්නා ලද්දේ වෙයි. සියළු තැන්හිම මේ ක්‍රමයයි. මනෝවිඥාන ධාතුවෙන් ගන්නා ලද එහි පෙර පසු වශයෙන් මනෝධාතු ආරම්මණ වශයෙන් ධම්මධාතූන් දෙදෙනෙක් ගන්නා ලදි. මෙසේ මේ අටළොස් ධාතූන්හි එකොළහ හමාරක් ධාතූහු රූප ගනියි. මුලින් කී පරිදි මෙය ද එක් භික්‍ෂුවකගේ නික්ම යෑම නිසා කියන ලදි.