ස්ත්‍රී ලිංගය මෙන්ම පුරුෂ ලිංගය ද බ්‍රහ්ම ලෝකයෙහි නැත. එහෙයින් පුරුෂ තෙමේ බ්රහ්මබවට පැමිණෙන්නේය යැයි මේ කරුණ සිදු වන්නේ යැයි නොකිව යුතු වන්නේය. නොකිය යුතු ද නොවන්නේය. කුමක් නිසා ද යත්? මෙහි පුරුෂව සිටියෙක් ම එහි උපදින බැවිනි. බ්රහ්මත්වය යන්නෙන් මෙහි දී මහාබ්‍රහ්මයා ම අදහස් කරන ලදි. ස්ත්‍රියක් මෙහි ධ්‍යාන වඩා කළුරිය කොට බ්‍රහ්ම පිරිසට එකතු වෙයි. මහා බ්‍රහ්මයාට එකතු නොවේ. පුරුෂයෝ වනාහි එහි නූපදින්නේ යැයි නොකිව යුතුය. මෙහි උභය ලිංගයාගේ අභාවය ඇති කල්හි ද බ්‍රහ්මයෝ පුරුෂ සටහන් ඇත්තෝ වෙත්. ස්ත්‍රී සටහන් ඇත්තෝ නොවෙත්. එහෙයින් මෙය මනාකොට කියන ලදි.
කායදුච්චරිතස්සාති ආදියෙහි යම්සේ කොහොඹ ඇට වැටකොලු ඇට ආදිය රසවත් ගෙඩි නොඋපදවත්. අමිහිරි ගෙඩිම නිපදවන්නේ යැයි කී ලෙස ම කාය දුශ්චරිත ආදීහුට මිහිරි විපාක නූපදවති. යම්සේ උක් හැල් බීජාදීහු මිහිරි යහපත් රස ම උපදවත් ද අමිහිරි කටුක රස නූපදවත් ද එසේ ම කාය සුචරිතවාදීහු යහපත් විපාකයක් ම ගෙන දෙන්නේය. අමිහිරි විපාක නොදෙන්නේය. එහෙයින් කියන ලදි.
යම්සේ බීජ වපුරයි ද එපරිද්දෙන් ම ඵලය ගනියි. යහපත කරන්නාට යහපත ද අයහපත කරන්නාට අයහපත ද ලැබේ.
එහෙයින් කාය දුශ්චරිතයාට නොතැනය. අවකාශ නැත යනාදිය කියන ලදි.
කායදුච්චරිතසමංගීති ආදියෙහි යුක්තබව පස් ආකාර වේ. රැස්කිරීමෙන් යුක්ත බව සිතුවිලිවලින් යුක්ත බව, කර්මයෙන් යුක්ත බව, විපාකයෙන් යුක්ත බව හා වැටහෙන ආකාරයෙන් යුක්ත බව යනුවෙනි. එහි කුසල් අකුසල් රැස්කරන ලද විපාක දීමට සුදුසු කර්ම සඳහා කර්මයෙන් යුක්තබව යැයි කියයි. විපාකයෙන් යුක්ත බව නම් විපාක දෙන මොහොතෙහි දත යුතුය. යම්තාක් සත්වයෝ රහත් බවට නොපැමිණෙත් ද ඒතාක් ඔවුන් ඒ ඒ තැන්වලින් චුතව නිරයේ උපදින්නේ නම් ගිනිදැල් ලොහොකුඹු ආදිය ගැන වැටහේ. කුස තුළක උපදින්නේ නම් මව්කුස. සිහි වේ. දෙව්ලොව උපදින්නහුට කප්රුක් විමාන ආදිය වැටහේ. මෙසේ උපදින තැන්වල නිමිති වැටහේ. මෙසේ ඔවුන් උපතට යන තැන් පිළිබඳව නිමිති පහළවීමෙන් නොමිදුණු වැටහෙන බැවින් වැටහෙන ආකාරයෙන් යුක්තබව යැයි කියයි. එය සැලෙයි. ඉතිරි ඒවා නොසැලෙයි. නිරයෙහි නිමිති එළඹුණු කල්හි දෙව්ලොව නිමිති එළඹෙයි. දෙව්ලොව නිමිති එළඹුණු කල්හි නිරයෙහි නිමිති එළඹෙයි. මනුෂ්‍ය ලෝකයෙහි නිමිති එළඹුණ කල්හි තිරිසන්ගත යෝනියෙහි නිමිති එළඹෙයි. තිරිසන්ගත යෝනියෙහි නිමිති එළඹුණ කල්හි මනුෂ්‍ය ලෝකයෙහි නිමිති එළඹෙයි.
ඒ සඳහා මේ කථා වස්තුවකි - සෝණ පර්වත පාදයෙහි පාචේලි නම් විහාරයෙහි සෝණ නම් ධර්මකථික භික්ෂුවක් වෙයි. උන්වහන්සේගේ පියා බල්ලන් ගෙන දඩයම් කරන්නෙක් විය. තෙරුන්වහන්සේ ඔහු වැළකු නමුත් සංවරයෙහි පිහිටුවන්නට නොහැකි වූයේ අසරණයා නොනැසේවයි. මහලු කාලයෙහි නොකැමැත්තෙන් පැවිදි කළේය. දැඩි සේ ගිලන්ව හොත් ඔහුට නිරයෙහි නිමිති එළඹ සිටියි. සෝණ පර්වත පාදයෙන් මහත් බල්ලන් දෙදෙනෙක් පැමිණ කනු කැමැතිව වටකළහ. ඔහු මහත් බිය වූයේ දරුව සෝණය, බල්ලන් වළකව. දරුව සෝණය. බල්ලන් වළකව යැයි කීය. මහා තෙරුන්වහන්සේ කුමක්දැයි ඇසුවේ දරුවන්ට නොපෙනේදැයි අසා ඒ ප්‍රවෘත්තිය කීය. සෝණ තෙරුන්වහන්සේ මා වැන්නෙකුගේ පියා කෙසේ නම් නිරයේ උපදින්නට හරින්නේ ද? මොහුට පිහිට වන්නෙමියි සාමණේරයන් ලවා නොයෙක් නොයෙක් මල් ගෙන්වාගෙන සෑ මළුව හා බෝ මළුව අතුරවා ගොඩ අතුරන පූජාවත් ආසන පූජාවත් කරවා පියා ඇඳක තබා සෑ මළුවට ගෙනවිත් ඇඳෙහි හිඳවා මහා තෙරුන් වහන්සේ මේ පූජාව ඔබ සඳහා කරන ලදහ. මෙය භාග්‍යවතුන් වහන්සේට දුප්පත් පඬුරක් යැයි කියා බුදුන් වැඳ සිත පහදා ගනුවයි කීය. මහා තෙරුන්වහන්සේ පූජාව දැක එසේ කරන්නේ සිත පහදා ගත්තේය. එකෙණෙහි ඔහුට දෙව්ලොව නිමිති එළඹෙන්නට විය. නන්දන උයන, චිත්තලතා උයන, මිස්සක උයන, ඵාරුසක උයන නා දෙව්විමන් ද නළඟනන් ද පිරිවරා සිටියාක් මෙන් විය. ඔහු සෝණය ඉවත් වෙව. සෝණය ඉවත් වේව යි කීය. කිමෙක් ද? තෙරුන් වහන්ස, මේ තොපගේ මව්වරු එත් යැයි කීය. තෙරුන්වහන්සේ පියාට ස්වර්ගය එළඹ සිටියේ යැයි සිතූහ. මෙසේ එළඹ සිටි නිමිති සෙළවෙන අයුරු දත යුතුය. මේ යුක්ත වෙත්. මෙහි කර්ම රැස්කිරීම් වශයෙන් කාය දුශ්චරිතයෙන් යුත් පුද්ගලයායි යනාදිය කියන ලදි.