පිරිනිවීම් තුන නම් ක්ලේශ පිරිනිවීම, ස්කන්ධ පිරිනිවීම හා ධාතු පිරිනිවීමයි. එහි ක්ලේශ පිරිනිවීම් බෝධි පර්යංකයෙහි දී විය. ස්කන්ධ පිරිනිවීම කුසිනාරාවේ දී ධාතු පිරිනිවීම අනාගතයේ දී වන්නේ ය. සසුන පසුබසින කාලයෙහි මේ තම්බපණ්ණි දීපයෙහි ධාතු රැස්ව මහාසෑයට යෙත්. මහාසෑයෙන් නාගදීප රාජායතන සෑයට ද එතනින් මහාබෝධි පර්යංකයට ද යෙත්. නාගභවනෙන් ද දිව්‍ය ලෝකයෙන් ද ධාතූහු මහාබෝධි පර්යංකයට ම යෙත්. අබ ඇටයක් තරම්වත් ධාතුවක් අතරතුර නොනැසෙත්. මහාබෝධි පර්යංකයෙහි එකතු වූ ධාතූහු රන් කඳක් මෙන් එකතු වී සවනක් රැස් විහිදුවත්. එය දස දහසක් ලෝක ධාතුවෙහි පැතිරෙත්.
එයින් දස දහසක් සක්වළ දෙවියෝ රැස්ව අද ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාන්නේය. අද සසුන නැසෙන්නේය. දැන් අපේ මේ අවසාන දැකීමයි. බුදුරදුන් පිරිනිවන් පෑ දිනයෙහි මහත් වැළපීම් සිදුවී ද ක්‍ෂීණාශ්‍රවයන් හා අනාගාමීන් හැර සෙස්සවුන්ට ප්‍රකෘතියෙන් සිටීමටවත් නොහැකි වෙත්. ධාතූන් කෙරෙන් තේජෝ ධාතුව පැණ නැගී බඹලොව දක්වා උඩට නගියි. අබ ඇටයක් තරම්වත් ධාතුවක් පවතී නම් එකට එක්වීම පවතියි. මෙසේ මහත් ආනුභාව දක්වා ධාතු අතුරුදහන් වූ කල්හි සසුන අතුරුදහන් වූයේ නම් වෙයි. යම්තාක් මෙසේ අතුරුදහන් නොවේ ද ඒතාක් කල් අචරිම නම් වෙයි. මෙසේ පෙර පසුනොවී උපදින්නේය යන කරුණ විද්‍යමාන නොවේ.
කුමක් හෙයින් ද යත්? පෙර පසු නොවී නූපදින්නේ ද යනු ආශ්චර්යයක් නොමැති හෙයිනි. බුදුවරු වනාහි ආශ්චර්යවත් මනුෂ්‍යයෝය. යම් හෙයකින් කීය. මහණෙනි, එක් පුද්ගලයෙක් ලෝකයෙහි ආශ්චර්ය මනුෂ්‍යයෙක්ව උපදියි. ඒ එක් පුද්ගලයා කවුරුද යත්? තථාගත අර්හත් සම්‍යක් බුදුරජාණන් වහන්සේමය යනුයි.
ඉදින් දෙදෙනෙක් හෝ හතර දෙනෙක් හෝ අට දෙනෙක් හෝ සොළොස් දෙනෙක් හෝ එක්විට උපදින්නාහු ද ආශ්චර්යයක් නොමැත. එකම විහාරයක චෛත්‍ය දෙකක් වූ විට ද ලාභයක් හෝ සත්කාරයක් හෝ මහත් නොවෙයි. භික්‍ෂූහු ද බොහෝ බැවින් ආශ්චර්යයක් නොවෙයි. මෙසේ බුදුවරු ආශ්චර්යවත් වන්නේය. එහෙයින් නූපදිත්.
දේශනාවෙහි ද විශේෂයක් නොවන හෙයිනි. යම්තැනක සතිපට්ඨානය ආදී ප්‍රභේද ඇති ධර්ම එක් අයෙක් දේශනා කරයි. අන්අයෙක් උපදවා ද එයම දේශනා කරන ලද්දේ වේද එය ආශ්චර්යවත් නොවෙයි. එකම ධර්මයක් දේශනා කරන කල්හි දේශනාව ද ආශ්චර්යවත් වන්නේය.
විවාදයක් නැතිවීමෙන් ද බොහෝ බුදුවරුන් උපන් කල්හි බොහෝ ගුරුවරුන්ගේ අතවැස්සෝ අපේ බුදුරදුන් ප්‍රාසාදිකය. අපේ බුදුරදුන් මධුරස්වරලාභීය. පින් ඇත්තේ යැයි විවාද කරන්නාහ. එහෙයින් ද මෙසේ නූපදිත්. ඉදින් මේ කරුණ මිළිඳු රජු විමසූයෙන් නාගසේන තෙරුන් විස්තර කරන ලද්දේමය කියන ලදි.
ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඒ භාසිතය ද බුදුරදුන් විසින් මහණෙනි, යම් මේ එක ලෝක ධාතුවක අර්හත් සම්‍යක් සම්බුදුවරුන් දෙදෙනෙක් පෙර පසුනොවී උපදින්නාහ යන මේ කරුණ විද්‍යමාන නොවේ. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, දේශනා කරන කල්හි ද සියලුම බුදුවරු සත්තිස්බෝධිපාක්‍ෂික ධර්ම දේශනා කරත්. කියන කල්හි චතුරාර්ය සත්‍යය කියත්. හික්මවන කල්හි ත්‍රිශික්‍ෂාවන්හි හික්මවත්. අනුශාසනා කරන කල්හි අප්‍රමාද ප්‍රතිපත්තියෙන් අනුශාසනා කරත්. ඉදින් නාගසේන ස්වාමීන් වහන්ස, සියලුම බුදුවරුන්ගේ එකම උදෙසීම, එකම කථාව, එකම ශික්‍ෂාව එකම අනුශාසනාව නම් කවර කරුණක් නිසා බුදුවරු දෙදෙනෙක් එකවර නූපදිත් ද? ඉදින් එක බුදුකෙනෙකුන් වහන්සේ නමකගේ ඉපදීමෙන් මේ ලෝකය ආලෝකවත් වේද? එසේනම් බුදුවරුන් දෙදෙනෙකුගේ ඉපදීමෙන් බෙහෙවින් ම ආලෝකමත් වන්නෙහිය. අවවාද කරන කල්හි බුදුවරු දෙදෙනා ම සුවසේ අවවාද කරන්නාහ. අනුශාසනා කරන කල්හි ද එසේමය. එයට කරුණු මට පහදා දෙන්න. යම්සේ මම සැක නැත්තෙක් වන්නෙම් ද? එසේ දේශනා කරන්න.
මහරජතුමනි, මේ දස දහසක් ලෝක ධාතුව එකම බුදුකෙනෙකුන් දරන්නේ එකම තථාගත ගුණයක් දරන්නේ වෙයි. ඉදින් දෙවැනි බුදුවරයෙක් උපදින්නේ නම් මේ දස දහසක් ලෝක ධාතුව නොදරන්නේය. සෙලවෙන්නේය. කම්පාවන්නේය. නැමෙන්නේය. යටත් වන්නේය. හකුලන්නේය. විසුරුවන්නේය. විනාශ වන්නේය. දුරු කරන්නේය. විනාශවීම් ස්වභාවයට පත්වන්නේය.
යම්සේ මහරජතුමනි, නැව එක් මිනිසෙකු එතෙර කිරීමට සමත් නම් එක මිනිසෙකු නැගුණු කල්හි එය මනාව පැදවිය හැකි වන්නේ ද? ඉන්පසු එබඳු වූ ආයුෂයෙන් වර්ණයෙන් යසසින් ප්‍රමාණයෙන් කෘශ බැවින් හා මහත් බැවින් සියලු අඟපසඟින් යුත් දෙවැනි වූ පුරුෂයෙක් අවුත් ඔහු ද ඒ නැවට නගින්නේය. මහරජතුමනි, ඒ නැව දෙදෙනාම දරන්නේ ද? නැත ස්වාමීනි. සෙලවෙන්නේය. කම්පාවන්නේය. නැමෙන්නේය. යටත් වන්නේය, හකුලන්නේය, විසුරුවන්නේය, විනාශ වන්නේය, දුරු වන්නේය, යායුතු තැනට නොයන්නේය. දියේ ගිලෙන්නේය යනුයි. මහරජතුමනි, මෙපරිද්දෙන් ම මේ දස දහසක් ලෝක ධාතුව එක බුදුවරයෙක් ම දරයි. එක් බුදුවරයෙකුගේ ගුණ පමණක්ම දරයි. ඉදින් දෙවැනි බුදුවරයෙක් උපදින්නේ නම් දස දහසක් ලෝක ධාතුව නොදරන්නේය. සෙලවෙන්නේය. කම්පාවන්නේය. නැමෙන්නේය. යටත් වන්නේය. හකුලන්නේය. විසුරුවන්නේය. විනාශ වන්නේය. දුරු වන්නේය. යායුතු තැනට නොයන්නේය.