සේවිතබ්බාසේවිතබ්බ සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති සෙවිතබ්බනසෙවිතබ්බ සුත්රය මා විසින් මෙසේ අසන ලදි. එහි අඤ්ඤමඤ්ඤං කායසමාචාරන්ති සේනයට සුදුසු කාය සමාචාරය අනිකකි. සේවනයට නුසුදුසු කාය සමාචාරය අනිකකි යි පවසමි. සේවනය කළ යුත්ත ම යම්කිසි ක්රමයකින් සේවනය නොකටයුතු යැයි ද සේවනය නොකටයුත්ත සේවනය කළ යුතු යැයි ද නොකියමි යි යන තේරුමයි. වාග් සමාචාරාදිය ගැන ද මේ ක්රමයමයි. මෙසේ භාග්යවතුන් වහන්සේ පද හතකින් මාතෘකා තබා විස්තර වශයෙන් නොබෙදා ම දේශනාව නිමවීය. කුමක් නිසා ද යත්? සැරියුත් තෙරණුවන්ට අවකාශ දීම සඳහාය.
මනෝ සමාචාරයේ දී මිථ්යාදෘෂ්ටි සම්යක් දෘෂ්ටීහු දෘෂ්ටීන්ගේ ලැබීම් වශයෙන් වෙන්වීමෙන් යුතුව සිටියේ යැයි නොගන්නා ලදි.
චිත්තෝප්පාදයෙහි කර්මපථ බවට නොපත් බැවින් අභිධ්යාදිය දත යුතුයි.
සංඥා ප්රතිලාභ වාරයේ දී අභිධ්යා සහගත බැවින් සඤ්ඤායාති ආදිය කාමසංඥා ආදිය දැක්වීම සඳහා කියන ලදි.
සව්යාපජ්ඣන්ති දුක් සහිත අපරිනිට්ඨිතභාවායාති භවයන් පිළිබඳව කෙළවරක් නොමැති බවයි. මෙහි ව්යාපාද සහිත බව නම් සතර වැදෑරුම් වෙයි. පෘථග්ජනයා එම ආත්මභාවයේ ම භවය අවසන් කිරීමට නොහැකි වෙයි ද ඔහුගේ ප්රතිසන්ධියේ පටන් අකුසල ධර්මයෝ ම වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. දුක් සහිත ආත්ම භාවයක් උපදවා ගන්නේම ය. සෝවාන් සකෘදාගාමි අනාගාමීහු ද එසේමය. පෘථග්ජන ආදීන් එහිම වෙත්වා. අනාගාමියා දුක් සහිත ආත්ම භාවයක් උපදවා ගන්නේ කෙසේද? ඔහු පිළිබඳ අකුසල ධර්ම වැඩෙන්නේ කෙසේද? කුසල ධර්ම පිරිහෙන්නේ කෙසේද යත්? අනාගාමියා සුද්ධාවාසයෙහි උපන්නේ උයන්විමන් කප්රුක් ආදිය බලා අනේ සැපයි! අනේ සැපයි! යනුවෙන් උදම් අනයි. අනාගාමියා භව ආශාව භව තෘෂ්ණාව ප්රහීණ නොකළේ වෙයි. තෘෂ්ණාව ප්රහීණ නොකළ බැවින් ඔහුට අකුසල ධර්ම වැඩෙත්. කුසල් පිරිහෙත්. දුක් සහිත ආත්ම භාවයක් ලැබුවේ වෙයි. එහෙයින් කෙළවර නොකළ භවයක් ඇත්තෙකැයි දත යුතුයි.
අව්යාපජ්ඣන්ති දුක් නැති මෙය ද මුලින් කී සතරදෙනා වශයෙන් දත යුතුයි. යම්කිසි පෘථග්ජනයෙක් එම ආත්ම භවයේදීම භවය අවසන් කරන්නට හැකිවෙයි. නැවත ප්රතිසන්ධියක් ද නොගනියි. ඔහුගේ පිළිසිඳ ගැනීමේ පටන් අකුසලය පමණක් පිරිහෙයි. කුසලය පමණක් වැඩෙයි. දුක් නැති ආත්ම භාවයක ම උපදියි. භවය අවසන්කළේ වෙයි. සෝවාන් සකෘදාගාමි අනාගාමීහු ද එසේය. සෝවාන් ආදීන් එහිම වෙත්වා. පෘථග්ජනයා කෙසේනම් දුක් නැති ආත්ම භාවයක උපදියි ද? ඔහුගේ අකුසල ආදිය පිරිහෙන්නේ කෙසේද? පශ්චිමභවික පෘථග්ජනයා ඒ ආත්ම භාවයෙන් තම භවය අවසන් කිරීමට සමත් වෙයි. ඔහුට නවසිය අනූනවයක් සත්ත්වයන් ඝාතනය කළ අංගුලිමාලයාට මෙන් දුක්නැති ආත්ම භාවයක් ලැබෙයි. භවය අවසන් වේ. අකුසලය පිරිහෙයි. විදර්ශනාව ම ගැබ්කර ගනියි.
චක්ඛුවිඤ්ඤෙය්යන්ති යම්හෙයකින් යමෙකුගේ රූපයෙහි රාගාදීහු උපදිත් ද ආශා කරයි ද ආශ්වාද කරයි ද එසේ ආශා කරන්නා වූ ආශ්වාද කරන්නා වූ ඔහු මහත් කරදරයට පැමිණේ. ඇතැමෙකුට එසේ නොඋපදිත්. කළකිරෙයි. නොඇලෙයි. කළකිරෙන්නා වූ නොඇලෙන්නා වූ ඔහු නිවනට පැමිණෙයි. එහෙයින් එය ද ඔවුනොවුන්ගේ වශයෙන් නොකියන ලදි. හැම තැන්හිම මේ ක්රමයයි.
එවං විත්ථාරෙන ආජානෙය්යුන්ති මෙහි දී කවරෙක් බුදුරදුන්ගෙන් මේ දේශනාව දැනගත්තේ ද? කවරෙක් දැන නොගත්තේ ද? යමෙක් මේ සූත්ර පෙළත් අට්ඨකථාවත් ඉගෙන එය පිළිපදින්නෝ නොවෙත් ද? කියන ලද පරිදි අනුලොම් පිළිවෙත නොපිළිපදිත් ද? ඔවුහු නොදන්නෝ නම් වෙත්. යමෙක් පිළිපදිත් ද කියන ලද පරිදි අනුලොම් පිළිවෙත පිළිපදිත් ද ඔවුහු දන්නෝ නම් වෙත්. එවං සන්තෙපි සප්පටිසන්ධිකානං තාව දීඝරත්තං හිතාය හොතු අප්පටිසන්ධිකානං කථං හොතීති.
ප්රතිසන්ධි රහිතයෝ ඉන්දන රහිත ගින්න මෙන්න නිවෙත්. කල්ප ලක්ෂයකගේ ඇවෑමෙන්වත් ඔවුන්ට නැවත දුකක් නම් නැත. මෙසේ ඒකාන්තයෙන් ම ඔවුන්ට දීර්ඝ කාලයක් හිත සැප පිණිස වෙයි. ඉතිරිය සියළු තැන්හිම දැක්වූවා මෙන් ය.
සෙවිතබ්බනසෙවිතබ්බ සූත්ර වර්ණනාව නිමි.
බහුධාතුක සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති බහුධාතුක සූත්රය මවිසින් මෙසේ අසන ලදි. එහි භයානීති බිය වූ සිත්හි හටගන්නා තැති ගැන්මයි. උපද්දවොති අස්වැසිල්ලක් නැති උපසග්ගොති ලතවන ආකාරය. ඒ ඒ තැන්වල ඇලෙන ගතිය. ඒවායේ වෙනස් ස්වභාවය ද දත යුතුයි. පර්වත ආදී විෂමභාවයෙන් යුත් තැන්වල දී සොරු දනව් වැසියන් කරා යෙති. අපි අසවල් දවසෙහි නුඹලාගේ ගම පහරන්නෙමු යි කියත්. ඒ පුවත ඇසූ කාලයේ පටන් බියට තැති ගැනීමට පැමිණෙත්. මේ චිත්තුත්රාසය නම් වේ. මෙහිදී සොරු අප හා කිපී අනතුරු කරතැයි බියෙන් හස්තසාර වස්තූන් හා දෙපා සිව්පා සතුන් ද සමග වනයට පිවිස ඒ ඒ තැන්හි හිඳිත්. මැසි මදුරුවන් කනු ලබන්නේ ද වන ලැහැබට පිවිසෙත්. කණකටු හුල් ඇනෙත්. මොවුන්ගේ මේ හැසිරීම අස්වැසිල්ලක් නැති බව දක්වයි. ඉක්බිති සොරුන් විසින් කියන ලද දවසෙහි නොපැමිණි විට එය බොරු පුවතක් වන්නේ යැයි ගමට යමුයි සපිරිවරින් සියළු දේ ගෙන ගමට පිවිසෙත්. අනතුරුව ඔවුන් පැමිණි බව දැන ගම පිරිවා දොර ගිනි තබා මිනිසුන් මරා සොරු සියළු සම්පත් පැහැරගෙන යති. ඔවුන් අතරෙන් මරණයෙන් බේරුණු අය ගිනි නිවා කොටු සෙවන බිත්ති සෙවන ආදි ඒ ඒ තැන්වල ලැග හිඳිත්. නැසුණු අය ගැන දුක්වෙති. මේ පිවිසෙන ආකාරය හා තැවෙන ආකාරයයි.