සප්පුරිස සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති සප්පුරිසධම්ම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි සප්පුරිසධම්මන්ති සත්පුරුෂයන්ගේ ධර්මයන්ය. අසප්පුරිසධම්මන්ති පවිටු පුරුෂයන්ගේ ධර්මයන්ය. මෙසේ මාතෘකා තබා නැවතත් මාර්ගයෙහි දක්‍ෂ පුරුෂයෙක් වම මුදා දකුණ ගනියි ද පළමුව මිදිය යුත්ත කියයි. මෙසේ අත්හළයුතු ධර්ම පළමුව දක්වමින් කතමො ච භික්ඛවෙ අසප්පුරිසධම්මාති යනාදිය කීය. එහි උච්චාකුලාති ක්‍ෂත්‍රිය කුලය බ්‍රාහ්මණ කුලය යන මේ කුල දෙක උසස් කුල යැයි කියයි. සො තත්‍ථ පුජ්ජොති ඔහු ඒ භික්‍ෂූන් අතරෙහි පූජාවට සුදුස්සෙක් වේ. අන්තරං කරිත්‍වාවාවාති ඇතුළතට කොට
මහාකුලාති ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය යන මේ කුල තුන මහාකුල යැයි කියයි. මහාභොගකුලාති මහත් භෝගයන්ගෙන් සමන්විත කුලයන් උළාරභොගකුලාති මහත් සේ ප්‍රණීත වූ භෝගයන්ගෙන් සමන්විත කුලයන්. මේ පද දෙකෙන් සතර කුලයම ගනු ලැබෙත්. යම්කිසි කුලයක උපන්නෙක් පින් බලයෙන් මහා භෝගයන්ගෙන් ද එළාර භෝගයන්ගෙන් ද යුක්ත වෙයි.
යස්සසීති පිරිවර සහිත වූයේ අප්පඤ්ඤාතාති රාත්‍රියෙහි යවන ලද හීයක් මෙන් සංඝයා මැද ආදි තැන්හි නොදක්නා ලැබෙත්. අප්පෙසක්ඛාති ස්වල්ප වූ පිරිවර ඇත්තේ
ආරඤ්ඤකොති සමාදන් වූ ආරඤ්ඤික ධුතාංගය ඇති. සෙසු ධුතාංගයන් ගැන ද මේ ක්‍රමයමයි. මේ සූත්‍ර පෙළෙහි ධුතාංග නවයක් ආවේය. ඒවා විස්තර වශයෙන් දහතුනක් වෙයි. ඒවා අතුරෙන් යමක් ගැන කිවයුතු ද ඒ සියල්ල සියළු ආකාරයෙන් විසුද්ධිමාර්ගයෙහි ධුතාංග නිර්දේශයේ දී කියන ලදි.
අතම්මයතාති තම්මයතා යනු තෘෂ්ණාවයි. තෘෂ්ණාවක් නොමැති බව තේරුමයි. අතම්මයතං යෙව අන්තරං කරිත්‍වාති තෘණා රහිතබව ම කාරණා කොට එය ඇතුළත් කොට සිත උපදවා යන තේරුමයි.
නිරෝධවාරයේ දී අනාගාමීහු හා රහත්හු ඒ සමාපත්තියට සමවදිත්. පෘථග්ජනයාට එය නැත. එහෙයින් අසප්පුරිසවරය පිරිහුණේය. න කිඤ්චි මඤ්ඤාතීති කිසියම් පුද්ගලයෙක් ත්‍රිවිධ මඤ්ඤනාවෙන් නොහඟියි. කුහිඤ්චි න මඤ්ඤතීති කිසියම් අවකාශයක යැයි නොහඟියි. න කෙනචි මඤ්ඤතීති කිසියම් වස්තුවක් නිසා හෝ පුද්ගලයෙක් නිසා හෝ නොහඟියි. ඉතිරිය සියළු තැන්හිම දැක්වූවා මෙන්ය.
සප්පුරිසධම්මසූත්‍ර වර්ණනාව නිමි.
සේවිතබ්බාසේවිතබ්බ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති සෙවිතබ්බනසෙවිතබ්බ සුත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි අඤ්ඤමඤ්ඤං කායසමාචාරන්ති සේනයට සුදුසු කාය සමාචාරය අනිකකි. සේවනයට නුසුදුසු කාය සමාචාරය අනිකකි යි පවසමි. සේවනය කළ යුත්ත ම යම්කිසි ක්‍රමයකින් සේවනය නොකටයුතු යැයි ද සේවනය නොකටයුත්ත සේවනය කළ යුතු යැයි ද නොකියමි යි යන තේරුමයි. වාග් සමාචාරාදිය ගැන ද මේ ක්‍රමයමයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පද හතකින් මාතෘකා තබා විස්තර වශයෙන් නොබෙදා ම දේශනාව නිමවීය. කුමක් නිසා ද යත්? සැරියුත් තෙරණුවන්ට අවකාශ දීම සඳහාය.
මනෝ සමාචාරයේ දී මිථ්‍යාදෘෂ්ටි සම්‍යක් දෘෂ්ටීහු දෘෂ්ටීන්ගේ ලැබීම් වශයෙන් වෙන්වීමෙන් යුතුව සිටියේ යැයි නොගන්නා ලදි.
චිත්තෝප්පාදයෙහි කර්මපථ බවට නොපත් බැවින් අභිධ්‍යාදිය දත යුතුයි.
සංඥා ප්‍රතිලාභ වාරයේ දී අභිධ්‍යා සහගත බැවින් සඤ්ඤායාති ආදිය කාමසංඥා ආදිය දැක්වීම සඳහා කියන ලදි.
සව්‍යාපජ්ඣන්ති දුක් සහිත අපරිනිට්ඨිතභාවායාති භවයන් පිළිබඳව කෙළවරක් නොමැති බවයි. මෙහි ව්‍යාපාද සහිත බව නම් සතර වැදෑරුම් වෙයි. පෘථග්ජනයා එම ආත්මභාවයේ ම භවය අවසන් කිරීමට නොහැකි වෙයි ද ඔහුගේ ප්‍රතිසන්ධියේ පටන් අකුසල ධර්මයෝ ම වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. දුක් සහිත ආත්ම භාවයක් උපදවා ගන්නේම ය. සෝවාන් සකෘදාගාමි අනාගාමීහු ද එසේමය. පෘථග්ජන ආදීන් එහිම වෙත්වා. අනාගාමියා දුක් සහිත ආත්ම භාවයක් උපදවා ගන්නේ කෙසේද? ඔහු පිළිබඳ අකුසල ධර්ම වැඩෙන්නේ කෙසේද? කුසල ධර්ම පිරිහෙන්නේ කෙසේද යත්? අනාගාමියා සුද්ධාවාසයෙහි උපන්නේ උයන්විමන් කප්රුක් ආදිය බලා අනේ සැපයි! අනේ සැපයි! යනුවෙන් උදම් අනයි. අනාගාමියා භව ආශාව භව තෘෂ්ණාව ප්‍රහීණ නොකළේ වෙයි. තෘෂ්ණාව ප්‍රහීණ නොකළ බැවින් ඔහුට අකුසල ධර්ම වැඩෙත්. කුසල් පිරිහෙත්. දුක් සහිත ආත්ම භාවයක් ලැබුවේ වෙයි. එහෙයින් කෙළවර නොකළ භවයක් ඇත්තෙකැයි දත යුතුයි.