සංඛාරුප්පත්ති සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති සංඛාරුප්පත්ති සූත්රය මා විසින් මෙසේ අසන ලදි. එහි සංඛාරුප්පතින්ති සංස්කාරයන්ගේ ම ඉපදීමයි. සත්වයෙකුගේ හෝ පුරුෂයෙකුගේ හෝ පුණ්යභිසංස්කාරයන් විසින් භවයට එවන ලද ඉපදීම නොවේ.
සද්ධාය සමන්නාගතොති ශ්රද්ධාදි පංච ධර්මයෝ ලෞකිකව පවතිත්. දහතීති තබයි. අධිට්ඨාතීති පිහිටුවයි. සංඛාරා ච විහාරොචාති ප්රාර්ථනාව සමග ශ්රද්ධාදි පංච ධර්මයෝය. තත්රෑපපත්තියාති ඒ ස්ථානයෙහි ඉපදීම සඳහා අයං මග්ගො අයං පටිපදාති ප්රාර්ථනාව සමඟ පංච ධර්මයෝය. යමෙකුට පංච ධර්මයෝ ඇත්ද ප්රාර්ථනා නැත්ද ඔහුගේ ප්රතිසන්ධිය අනුබද්ධ වෙයි. යමෙකුට ප්රාර්ථනා ඇද්ද පංච ධර්මයෝ නැත්ද ඔහුගේ ස්වභාවය ද අනියතය. යම්කිසිවෙකුගේ ප්රතිසන්ධිය නිබද්ධ නම් යම්සේ අහසට දමන ලද දණ්ඩ අගින් හෝ මැදින් හෝ මුලින් හෝ වැටෙන්නේ ය යන්න නියත වේද මෙසේ සත්වයන්ගේ ප්රතිසන්ධි ග්රහණයෙහි නියමයක් නැත. එහෙයින් කුසල ක්රියාකොට එක් තැනක් ප්රාර්ථනා කළ යුතුවෙයි.
ආමණ්ඩන්ති නෙල්ලි ය. එය පිරිසිදු ඇස් ඇති පුරුෂයාට සියලු ආකාරයෙන් ප්රකට වෙයි. එසේ ඒ බ්රහ්මයාට එහි උපන් සත්වයන් සහිත දහසක් සක්වළ පෙනෙයි. සියලු තැන්හි මේ ක්රමයයි.
සුභොති යහපත් ජාතිමාති ආකාර සම්පන්න සුපරිකම්මකතොති දෙවීම් ආදියෙන් මනාකොට පිරියම් කරන ලද පණ්ඩුකම්බලෙ නික්ඛිත්තොති රන් කම්බිලියෙහි තබන ලද
සතසහස්සාති ලක්ෂයක් ලෝකධාතූන් හි ආලෝකය පතුරුවන බ්රහ්මයා නෙක්ඛන්ති රුවනින් කරන ලද පළඳනා, නික්ඛ නම් පංච සුවර්ණයි. අඩු සුවර්ණයෙන් කරන ලද පළඳනාව ගැටීම් මැඩීම් ඉවසන්නේ නොවේ. වැඩි සුවර්ණයෙන් කරන ලද පළඳනාව ගැටීම් මැඩීම් ඉවසයි. සුවර්ණවත් නොවෙයි. කර්කශ ස්වභාවයෙන් පෙනෙයි. පංච සුවර්ණයෙන් කරන ලද්ද ගැටීම් මැඩීම් ඉවසයි. එසේම වර්ණවත් ද වෙයි. ජම්බොනදන්ති ජම්බු නදියෙහි උපන්. මහා දඹ ගසේ එක් එක් අත්තක් පණස් පණස් යොදුනක් වැඩුණාහු ඒ අතු අතරින් මහත් මහත් ගංගාවෝ ගලා බසිත්. ඒ ගංගාවල දෙපස ඉවුරුවල ඉදුණු දඹ වැටුණු තැන්හි ස්වර්ණ පැළ හටගනිත්. ඒවා ගඟ දියෙන් ගසාගෙන යන්නේ පිළිවෙළින් මහ මුහුදට පිවිසෙත්. ඒ සඳහා ජබොනදන්ති යැයි කියන ලදි.
දක්ඛකම්මකාරපුත්ත උක්කාමුඛසුකුසලසම්පහට්ඨන්ති ඉතා දක්ෂ කර්මාරපුත්රයා විසින් කෝවේ දමා උණු කරන ලද. උක්කාමුඛෙති උඳුනයි. සම්පහට්ඨන්ති සෝදා ගසා මඩිනා ලද. වත්ථුපම සූත්රයෙහි ද ධාතුවිභංග සූත්රයෙහි ද පිණ්ඩ සෝධනය යැයි කියන ලදී. මේ සූත්රයේ දී කරන ලද බඩු පිරිසිඳු කිරීමයි.
යමක් වනාහි සියලු වාරවල පැතිර විශේෂයෙන් වෙන් ව කියන ලදි. එහි පැතිරිම පස් ආකාරයි. චෙතොඵරණය, කසිනඵරණය, දිබ්බචක්ඛුඵරණය, ආලෝකඵරණය, සරීරඵරණය යනුවෙනි. එහි චෙතොඵරණය නම් දහසක් සක්වළ සත්වයන්ගේ සිත් දැනගැනීමයි. කසිනඵරණය නම් දහසක් සක්වළ කසිණාලෝකය පැතිරවීමයි. දිබ්බචක්ඛුඵරණය නම් ආලෝකය වඩා දහසක් සක්වළ දිවැසින් බැලීමයි. ආලෝකඵරණයත් මෙයමයි. සරීරඵරණය නම් දහසක් සක්වළ ශරීරාවලෝකය පැතිරවීමයි. සියලු තැන්හි මේ පංච ඵරණයන් නොනසා කිවයුතුය.
ත්රිපිටක චූලාභය තෙරුන් වහන්සේ මෙසේ කීහ. මිණි උපමාවෙහි කසිණය මෙන් පංචස්වර්ණ උපමාවෙහි ශරීර පැතිරීම පෙනේයැයි යන ඔහුගේ වාදය මෙන් අර්ථකථා නම් නැතැයි ප්රතික්ෂේප කොට සදාකාලික සරීරඵරණයක් නොකියයි. පැතිරවීම් හතර අඩු නොකොට කිවයුතුයැයි කියන ලදි. අධිමුච්චතීති යන පදය ඵරණ යන්නට ම පර්යාය පදයකි. නැතහොත් එරතීති පැතිරෙයි. අධිමුච්චති යනු දැන ගනියි යන්නයි.
ආභාති ආදියෙහි ආභාදී නමින් වෙන වෙනම දෙවියෝ නොවෙති. පරිත්තාභාදී තුන්දෙවියෝ ආභා නම් වේ. පරිත්තසුභාදීන් හා සුභකිණ්ණකාදීන් සුභා නම් වේ. වේහප්ඵලාදීන්ගේ වාරය ප්රකටයි.
මොවුහු පළමුව පංචධර්මයන් වඩා කාමාවචර ලෝකවල උපදිත්. බ්රහ්මලෝකවල ඉපදීමත් රහත් බවට පැමිණීමත් කෙසේ නම් කරත් ද? මේ පංචධර්මයන්ගෙන් සීලය යැයි යමක් වේ නම් මේ සීලයෙහි පිහිටා කසිණ පිරියම් කොට ඒ ඒ සම්පත්ති වඩා රූපීබ්රහ්ම ලෝකයෙහි උපදිත්. අරූපධ්යන උපදවා අරූපීබ්රහ්ම ලෝකයෙහි උපදිත්. සමාපත්තියෙහි සිටගෙන විදර්ශනාව වඩා අනාගාමී ඵලය සාක්ෂාත් කොට සුද්ධාවාසවල උපදිත්. මතු මාර්ගය වඩා රහත්බවට පැමිණෙයි.
සංඛාරුප්පත්ති සූත්ර වර්ණනාව නිමි.
දෙවැනි අනුපද වර්ගය සමාප්තයි.
සුඤ්ඤත වර්ගය
චූළසුඤ්ඤත සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති චුල්ලසුඤ්ඤතා සූත්රය මා විසින් මෙසේ අසන ලදි. එහි එකමිදන්ති තෙරුන් වහන්සේ බුදුරදුන්ට වතාවත් කොට තමාගේ දිවාස්ථානයට ගොස් කාලය පිරිසිඳීම් කොට නිර්වාණය අරමුණු කොට ඇති ශූන්යතා ඵල සමවතට පැමිණ වැඩසිටියේ පිරිසිඳී පරිද්දෙන් නැගිට්ටේය. ඉක්බිතිව උන්වහන්සේට සංස්කාරයන්ගේ ශුන්යතාව වැටහුණාහ. උන්වහන්සේ ශුන්යතා කථා අසනු කැමති විය. ඉක්බිතිව උන්වහන්සේට මෙබඳු සිතක් විය. ධූරයෙන් ධූරයට ගැසීමෙන් ගොස් ස්වාමීනි, මට ශුන්යතා කථාව කියනු මැනවයි බුදුරදුන්ට කියන්නට නොහැකිය. ඒකාන්තයෙන් බුදුරදුන් යම් නගරයක් ඇසුරු කොට වසමින් එක් කථාවක් කියන්නේද මාවිසින් එය සිහිකරමි. මෙසේ බුදුරදුන් ශුන්යතා කථාව කියන්නේය. බුදුරදුන්ට සිහිකරවන්නේ එකමිදන්ති යනාදිය කීය.