බෝධිරාජකුමාර සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු බොධිරාජ කුමාර සුත්‍රයයි. එහි කොකනදො කොකනදයයි කියනු ලැබේ. ඒ මංගල ප්‍රාසාදය එල්ලෙන නෙළුමක හැඩයෙන් පෙනුමෙන් කරන ලද්දකි. ඒ නිසා කෝකනදයයි නමක් ලැබීය.
යාව පච්ඡිමා සොපාන කළෙපරා - එහි පශ්චිමසෝපාන කළෙපර යනු පියගැට පෙළෙහි පළමුවැනි ඵලකයයි කියන ලදී. අද්දසාඛො බලන අර්ථයෙන්ම දොර කොටුවෙහි සිට දුටුවේය. භගවා තුණ්හී අහොසි කවර අර්ථයකින් රජකුමරා විසින් මේ මහා සත්කාරය කරන ලද්දේදැයි ආවර්ජනය කරනු යේ පුත්‍රයකු පත් කරන ලද බව දන්නේය. ඒ රාජපුත්‍රයා පුත්‍රයන් නැති බහුශ්‍රැතයෙක් විය. බුදුවරුන් හමුවෙහි උත්සාහ කර මනසින් කැමතිවන දේ ලබත්. හෙතෙමේ ඉදින් මම පුත්‍රයකු ලබන්නෙමි නම් සම්මාසම්බුදුන් වහන්සේ මේ රෙදිකඩ පාගන්නෝය නොලබන්නෙමි නම් නොපාගන්නෝ යැයි ප්‍රාර්ථනාවක් කොට ඇතිරවීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොහුට පුතෙක් උපදින්නේ දැයි ආවර්ජනා කොට නූපදින්නේයයි දුටුසේක.
පෙර ඔහු එක්තරා දූපතක වසමින් වටු කුරුලු පැටවුන් කෑවේය. ඉදින් ඔහුගේ ගැහැණිය පින් ඇත්තී වන්නී නම්, දෙදෙනා විසින් සමාන කැමැත්තෙන් යුතුව පාපකර්මය කළ බැවින් පුත්‍රයෙක් නුපදින්නේයයි දත්සේක, රෙදිකඩ පාගන කල්හි බුදුන් හමුවෙහි උත්සාහයක් කොට පැතුදෙය ලබත් යයි ආරංචියක් ලෝකයෙහි ඇත. මා විසින්ද මහා උත්සාහයක් කරන ලදී. පුත්‍රයකු නොලබම්නම් මේ කීම තුච්ඡයයි මිථ්‍යාදෘෂ්ටිය ගනිමි. මිසදිටුවෝද ශ්‍රමණයන්ට නොකළ හැකි දෙයක් නැත. රෙදිකඩවල් පාගමින් ඇවිදිතිය කෑගසනු ඇත. දැන්ද පාගන්නවුන් අතර බොහෝ භික්‍ෂූහු පරසිත් දන්නෝය. ඔවුහු සිදුවිය හැකි දෙය පමණක් දැන පාගත්. සිදුවිය නොහැක්ක දැන නොපාගත්. අනාගතයෙහි උපනිශ්‍රය මඳවන්නේය. අනාගතය නොදන්නෝය. ඔවුන් පාගන විට ඉදින් ප්‍රාර්ථනාව ඉටු වන්නේනම් එය කුසලයකි. ඉටුනොවන්නේ නම් ඉස්සරනම් භික්‍ෂුසංඝයා හමුවෙහි උත්සාහ කොට කැමති කැමති වූ දෙය ලබති. දැන් නොලබති. ප්‍රතිපත්ති පුරන භික්‍ෂුන් ඔවුන් වූහයි හැඟේ. මොවුහු පිළිවෙත් පුරන්ට නොහැක්කෝ යැයි මිනිස්සු විපිළිසර වන්නාහුය. මේ කරුණු නිසා භාග්‍යවතුන් වහන්සේ පා තබන්ට නොකැමති සේක් නිහඬ වූහ. ශික්ෂා පදයක්ද පැනවු සේක. මහණෙනි රෙදිකඩ නොපෑගිය යුතුය. මගුල් පිණිස පැනවු රෙදිකඩ නොපාගන්නවුන් කෙරෙහි පැගීම පිණිස අනුප්‍රඥප්තියක් තැබූසේක. මහණෙනි ගිහියෝ මගුල් ඇත්තෝය. මගුල්පිණිස වු රෙදිකඩ පෑගීම අනුදනිමි.
පච්ජිමං ජන්තං තථාගතො අපලොකෙති කියන ලද කාරණයන්හි තුන්වැනි කරුණ සඳහා තෙරුන් වහන්සේ මෙය කීහ. නඛොසුඛෙන සුඛං යනුවෙන් කුමක්නිසා කීයේද? සම්මාසම්බුදුන් වහන්සේ කාමසුඛල්ලිකානු යෝගී සංඥාවෙන් නොපෑගුසේක. ඒනිසා මමද ශාස්තෲන් වහන්සේ සමග සමානචිඡන්ද වන්නෙමියි හඟිමින්
සොඛොඅහං යනුවෙන් කීහ. යාව රත්තියා පච්ඡිමයාමෙ මහාසච්චක සූත්‍රයෙහි කියු ක්‍රමයෙන් දතයුතුය. ඉන් මතුවට පස්වග මහණුන්ගේ ආශ්‍රවක්ෂය දක්වා පාසරාසි සුත්‍රයෙහි කියු ක්‍රමයෙන් දත යුතුය.
අඞ්කුසගය්හ සිප්පෙ අංකුස ගන්නා ශිල්පයෙහි. කුසලො අහං මම දක්ෂවෙමි. කවරකුගේ සමීපයෙහි ශිල්ප උගත්තේද පියා සමීපයෙහිම උගත්තේය. කොසබෑ නුවර පරන්තප නම් රජෙක් රජ කළේය. රජමෙහෙසිය ගැබ්බරව උඩුමහලෙහි රජු සමග ළහිරු රැස් තපිමින් රතු කම්බිලියක් පොරවා හුන්නීය. එක් ඇත්කඳ ලිහිණියෙක් මස් පිඩුවක්යයි හඟිමින් ගෙන අහසට පැන්නේය. අද මා අත්හැර දමතියි බියෙන් නිහඬව සිටියාය. ඌ ඇය පර්වත පාමුල රුක් දෙබලක තැබීය. ඈ අතින් සංඥා කරමින් මහා හඬක් නැගුවාය. පක්ෂියා පළාගියේය. ඇයට එහිදීම ප්‍රසූතිය සිදුවිය. තුන්යම රැය වැසි වසිද්දී කම්බිලිය පොරවාගෙන හුන්නාය. ඉන් නුදුරෙහි තවුසෙක් වෙසේ හෙතෙමේ ඇයගේ හඬින් අරුණු නැගුණු කල්හි රුක්මුලට පැමිණියේ ජාතිය විමසා හිනිමඟක් බැඳ බස්සවා තමා වසන තැනට ගෙනගොස් කැඳ පෙව්වේය. දරුවාට වර්ෂා ඍතුවත් පර්වත ඍතුවත් ගෙන උපන් බැවින් උදේනයයි නමක් තැබීය. තවුසා ගඩාගෙඩි ගෙනවුත් දෙදෙනාම පෝෂණය කරයි.