මජ්ඣිම පණ්ණාසකය අටුවාව
ගහපති වර්ගය
කන්දරක සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු කන්‍දරක සුත්‍රයයි. එහි චම්පායං යනු එනම් ඇති නුවරෙහි. එනුවර උයන් පොකුණු ආදියෙහි ඒ ඒ තැන්හි චම්පක වෘක්‍ෂයෝම ගැවසී තිබුණාහ. ඒනිසා චම්පා යනුවෙන් වහරට පැමිණියේය. ගග්ගරාය පොක්ඛරණියා තීරෙ යනු ඒ ගග්ග නගරයට නුදුරෙහි ගග්ගාරානම් මෙහෙසියක විසින් කණවන ලද බැවින් ගග්ගරා යනුවෙන් ලද වහර ඇති පොකුණක් ඇත. ඒ පොකුණු තෙර හාත්පස නිල් ආදී පස්වණින් යුත් මලින් සැදුණු මහා චම්පක වනයක් ඇත. භාග්‍යවතුන් වහන්සේ ඒ මල්සුවඳින් සුවඳවත් වූ චම්පක වනයෙහි වැඩ වසන සේක. ඒ සඳහා ගග්ගරා පොකුණු තෙරයයි කියන ලදී. මහතා භික්‍ඛුසංඝන සද්ධිං යනු ගණනනොදක්වන ලද මහ බික්සඟන සමග පෙස්සො යනු ඔහුගේ නමයි. හත්‍ථාරොහ පුත්තො යනු ඇතරුපුත් කන්‍දරකොච පරිබ්බාජකො යනු කන්‍දරකො යනු එනම් ඇති වැසුණු පරිබ්‍රාජක අභිවාදෙත්‍වා යනු සවණක්ගන බුදුරැස් අතරට පිවිස පහන් ලාරසෙහි ගිලෙන්නාක් මෙන් රන්වන් උතුම් රෙදිකඩක් විහිදුවා හිස සිට පොරවන්නාක් මෙන්, පැහැ සුවඳයුත් චම්පක මල් මුදුනෙහි සිට මැනැවින් වසන්නාක් මෙන්, මහමෙර පාමුලට එළඹෙන පුන්සඳ මෙන් භාග්‍යවතුන් වහන්සේගේ සක් ලකුණින් සැදුණු ලාවන් පුල් පියුම්හි සිරියගත් පා වැඳ යන අර්ථයි. එකමන්තං නිසීදි යනු හිදීම් දොස් සයින් විරහිත එක් හිස් තැනක හුන්නේය.
තුන්හීභූතං තුණ්හීභූතං යනු යම් යම් තැනෙක සිට බලයිද ඒ ඒ තැනින් තුෂ්ණීභාවයම විය යන අර්ථයි. එහි වනාහි එක් භික්‍ෂුවගේ වත් අත් සෙලවීමක් හෝ පා සෙලවීමක් හෝ නැත. සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිම ගෞරවයෙන් ද, තමාගේ ද භික්මුණු බැවින් ද ඔවුනොවුන් කථානොකරන්නාහු යටත්පිරිසෙයින් උගුරපාදන හඩක් වත් නොකරන්නාහු මැනවින් සිටවු ඉන්ද්‍රඛීලයන් මෙන් හුදෙකලා තැනක ඇති මහසමුදුර ජලය මෙන් සිරුරින්ද නිශ්චලවුවාහු මනසින් නොවිසුරුණු රත් වලාකුළුමෙන් මහමෙර වන් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හුන්හ. මෙසේ හුන් පිරිස දැක පිරිවැජියාට මහත් සතුටු සොම්නසක් උපන්නේය. උපන් සොම්නස ඇතුළු හද තුළම හිඳුවීමට නොහැක්කේ ප්‍රිය සංවාදයක් ඇති කළේය. ඒ නිසා අච්ඡරියං හොති ආදිය කීය.
එහි අන්ධයා පර්වතයට නගින්නාක් මෙන් නිතරම නොවේනුයි අච්ඡරිය නම්, මේ නම් ශබ්ද නයයි. මේ වනාහි අටුවා නයයි. අසුරු ගැසීමට යෝග්‍යනුයි අච්ඡරිය නම් අසුරු පැහැරීමට යුතුය යන අර්ථයි නොවුවිරූ දෙයක් වූයේනුයි අබ්භුතං මේ දෙකම විස්මයට සම වචනයි. ඒ වනාහි ගරහනු පිණිස වූ අසුර ගැසීමය, පසසනු පිණිසවු ඇසුරගැසීමය යනුවෙන් දෙවැදෑරුම වෙයි. එහි මොග්ගල්ලාන, ආශ්චර්යය, මොග්ගල්ලාන අද්භූතය. යම්හෙයකින් ඒ හිස් මිනිසා අතින් ගෙන ගෙනඑනු ලබන්නේය. යනු මෙහි ගරහනු පිණිසවු අසුරගැසීමය. නන්දමාතාවනි ආශ්චර්යය, නන්දමාතාවනි, අද්භූතය. යම් තැනෙක සිත් ඉපදවීමක්ද පිරිසිදු කෙරෙන්නේය. මෙය පසසනු පිණිසවූ අසුර ගැසීමකි. මෙහිද මෙයම අදහස් කරන ලදී. මෙය වනාහි පසසන්නේ මෙසේකීය. යාවඤ්චිදං යනු මෙහි ඉදං යනු නීපාතමාත්‍රයකි. යාව යනු පමණ පිරිසිදීමකි.
යම්තාක් මනාසේ ප්‍රතිපාදිතද, යම් පමණකින් ප්‍රතිපාදිත ද, එහි ගුණය නසන්නට නොහැකිය. ඉක්බිති මෙය ආශ්චර්යයක්මය මෙය අද්භූතයක්මයයි කියන ලද්දේ වෙයි. එතපරමංයෙව යනු මෙසේ මැනවින් ප්‍රතිපාදිත වුයේ මේ භික්‍ෂුසංඝයාය, ඒ හික්‍ෂු සංඝයාටම ප්‍රධාන කොට ඇත්තේනුයි. එතපරම නම් වේ. යම්සේ මෙය ප්‍රතිපදිතද, එසේ ප්‍රතිපාදිත කොට පිළියෙලකළහ. මෙයින් වැඩියක් නොවේ යන අර්ථයි. දෙවැනි නයෙහි මෙසේ පිළියෙල කරන්නාහුය. එයින් වැඩියක් නොවේයයි යොදාගතයුතුය. එහි පටිපාදිතො යනු ආභිසමාචාරික වත ආදිකොට මනාසේ ප්‍රතිවිරුද්ධ නොවන ප්‍රතිපත්තියෙහි යොදනලදී. එසේනම් මේ පිරිවැජියා අතීත අනාගත බුදුවරුන් දක්වන්නේ ඇයි? මොහුට තුන්කල් දන්නා නුවණ ඇත්තේද? නැත. නයග්‍රාහයෙහිම සිට යම් ආකාරයකින් මේ භික්‍ෂු සංඝයා දමනය වී විනීතවී උපශාන්තවී වැඩ හුන්නේද, අතීත බුදුවරු ද මෙයට ප්‍රධාන කොට පිළිපැද්දාහුය. අනාගත බුදුවරු ද පිළිපදින්නාහුය, මීට ඉහළින් පිළිපැදීමක් නැතැයි හඟිමින් අනුමානයෙන් මෙසේ කීය.
එවමෙතං කන්‍දරක යනු හුදු ගැළපුමයි. භාග්‍යවතුන් වහන්සේ ඒ අසා කන්‍දරක ඔබ භික්‍ෂු සංඝයා උපශාන්තයයි කියහි මේ භික්‍ෂුසංඝයා උපශාන්ත වීමට කරුණ ඔබට නොපැහැදිලිය. ඔබ සමතිස් පෙරුම් පුරා කුසල්මුල් මුහුකුරුවා බෝමැඩ සර්වඥතාඥානය ප්‍රතිවේධ නොකෙළෙහිය, මා විසින් වනාහි පාරමිතා පුරා ඥාතර්ථචර්යාව, ලෝකාර්ථචර්යාව හා බුද්ධි චර්යාව කෙළවරට පමුණුවා බෝමැඩ සර්වඥතාඥානය ප්‍රතිවේධ කරන ලදී. මාහට මොවුන්ගේ උපශාන්තභාවයට හේතුව පැහැදිලියයි දැක්වීමට මේ දේශනාව ආරම්භ කළ සේක.