පධානියඞ්ගානි පධානං යනු උත්සාහවත්බව මොහුට ඇත්තේනුයි පධානියෝ උත්සාහවත් භික්‍ෂුවගේ අංගනුයි පධානියඞ්ගනි සද්ධො ශ්‍රද්ධාවෙන්යුත් මේ ශ්‍රද්ධාව වනාහි ආගමන සද්ධා, අධිගමන සද්ධා ඔකප්පන සද්ධා පසාද සද්ධායැයි සිව්වැදෑරුම් වෙයි. එහි සර්වඥ බෝධිසත්වයන්ගේ ශ්‍රද්ධාව අභිනීහාරයෙහි පටන් පැමිණි බැවින් ආගමන සද්ධානම්. ආර්ය ශ්‍රාවකයන් ප්‍රතිවේධයෙන් අවබෝධකරගත් බැවින් අධිගමන සද්ධානම් බුද්ධ ධර්ම සංඝයැයි කීකල්හි නොසැලෙන බැවින් සිත පිහිටුවා ගැනීම ඔකප්පන සද්ධා නමි ප්‍රසාදය ඉපදීම පසාද සද්ධානම් මෙහි ඔකප්පන ශ්‍රද්ධාව අදහස් කරන ලදී. බෝධිං චතුර්මාර්ග ඥානයයි. එය මනාසේ තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේයයි අදහයි. මෙය දේශනා ශීර්ෂයද වෙයි. මේ අංගයෙන් ත්‍රිවිධ රත්නයෙහි ශ්‍රද්ධාව අභිප්‍රේතයි. යමකුගේ බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාදය බලවත් වේද ඔහුගේ ප්‍රධන් වීර්යය ඉටුවෙයි.
අප්පාබාධො රෝග නැති. අප්පාතංකො දුක්නැති සමවෙපාකිනියා ආහාර පැසවීමේ සම්බන්ධතාව ඇති කර්මජ තේජෝ ධාතුවෙන්, නාතිසීතාය නාච්චුණ්හාය අතිශීත තේජෝධාතුවක් ඇත්තේ ශීතලට බිය ඇත්තෝය අතිඋෂ්ණ තේජෝධාතුවක් ඇත්තෝ උෂ්ණයට බිය ඇත්තෝය. ඔවුන්ගේ ප්‍රධන් වීර්යය ඉටු නොවේනම් මධ්‍යම තේජෝ ධාතුවක් ඇත්තකුට ඉටුවෙයි. එහෙයින් කීය. මජ්ඣිමාය පධානක්‍ඛමාය යනුවෙන් යථාභූතං අන්තානං ආවිකන්තා තමාගේ ඇති අගුණ ඇති පරිදි ප්‍රකාශ කරන්නා. උදයත්‍ථගාමිනියා උදයටත් අස්තයටත් යාමට පිරිසිඳීමට සමත් මෙයින් සමපඤ්ඤ සමලක්‍ඛණ පරිග්‍රාහක උදව්‍යය ඥානය කියනලදී. අරියාය පිරිසිදු නිබ්බෙධිකාය විනිවිද නොගිය විරූ ලෝභස්කන්ධ ආදිය විනිවිදින්ට සමත්. සම්මාදුක්ඛක්ඛය ගාමිනියා තදඞ්ගවශයෙන් කෙලෙස් ප්‍රහීණ කළබැවින් යම් දුකක් ගෙවීයයිද ඒ දුකෙහි ක්ෂයටයන, මෙසේ මේ සියලු පදවලින් විදර්ශනා ප්‍රඥාවම කියන ලදී. නුවණ නැත්තනුගේ ප්‍රධන්වීර්යය ඉෂ්ට නොවේ. මේ ප්‍රධාන අංග පස ලෞකික බව දතයුතුය.
සායමනුසිට්ඨො පාතො විසෙසමධිගච්ඡති සූර්යයා අස්තයට ගිය කල්හි උපදෙස් දෙන ලද්දේ අරුණු නැගෙන වේලෙහි විශේෂත්වයට පැමිණේ. පාසමනුසිට්ඨොසායං අරුණුනැගෙන වේලෙහි උපදෙස් දෙන ලද්දේ සූර්යයා අස්තයට යන වේලාවෙහි මේ දේශනාවද නෙය්‍ය පුද්ගලවශයෙන් කියන ලදී. මුග්ධ ප්‍රඥා ඇති නෙය්‍ය පුද්ගලයා වර්ෂ සතකින් පැමිණේ. සෙස්ස මධ්‍යම ප්‍රඥා ඇත්තන් වශයෙන් දතයුතුය. අහෝ බුද්ධ, අහෝ ධර්ම, අහෝ සංඝ සම්පත්තියැයි යම්හෙයකින් බුදුන්ගේ හා ධර්මයෙහි උදාරබව හේත්තුවෙන් ධර්මයෙහි ස්වාක්ඛාතතාව හේතුවෙන්ද උදෑසන කර්මස්ථානය කියවාගෙන සවස අරහත් බවට පැමිණෙයි. ඒනිසා ප්‍රශංසා කරන්නේ මෙසේ කීය. යත්‍රහිනාම විස්මයාර්ථයෙහි නිපාතයි.
කුච්ඡිමතී පැමිණි සත්වයෝ, ස්වාමීනි යමෙක් මාගේ කුසතුළට ගියේද, මෙසේ සරණ ගන්නා ලදැයි කෙසේ වේද එය නොවේ. අචිත්තක සරණාගමනයක් නම් නැත. ආරක්ෂකයෙක් පමණක් එළඹියේ වෙයි. ඉක්බිති ඔහු යම්කලෙක මහලු කල්හි මව්පියෝ දරුව කුසටගිය පමණින් ඔබ සරණ ගැන්වූයෙමුයි සිහිකරවත්. හෙතෙමේද ඒ සලකා මම සරණ ගිය උපාසකයෙකියි සිහිය උපදවයි. එදාට සරණ ගන්නා ලද්දේනම් වෙයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පස්වැනි බෝධිරාජකුමාර සුත්‍රයයි.