මාගන්දිය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මාගන්දික සූත්‍රයයි. එහි අග්‍යාගාරෙ ගිනි පුදන ශාලාවෙහි තිණ සත්‍ථරකෙ මාගන්දියෝ දෙදෙනෙකි. මාමාද බෑණාද ඒ අතුරින් මාමා පැවිදිව රහත්බවට පැමිණියේය. බෑණාද උපනිශ්‍රය සහිත වුයේ නොබෝ කලෙකින් පැවිදිව රහත් බවට පැමිණෙන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ උපනිශ්‍රය දැක රමණීයවු දෙව්කුටියක් වන් ගඳකිලිය අත්හැර අළුතණ කසල ආදියෙන් අපිරිසිදුවූ ගිනිහල්ගෙයි තණ ඇතිරියක් පනවා අනුන්ට සංග්‍රහ කරනු පිණිස කිහිප දවසක් වැඩසිටිසේක. ඒ සඳහා මෙය කියන ලදී. තෙනුපසඞ්කමි හුදෙක් එදවස පමණනොවේ. යම් හෙයකින් ඒ ගිනිහල්ගෙය ගම අසල දරුදැරියන්ගෙන් ගැවසී හුදෙකලා නොවී ද ඒනිසා භාග්‍යවතුන් වහන්සේ නිති කල්හි දිවාකාලයේ අඩදිනය ඒ වන ළැහැබෙහි කල්යවා සවස්භාගයෙහි වාසය පිණිස එහි යන සේක.
අද්දසා ඛො තිණ සන්‍ථරකං පඤ්ඤත්තං භාග්‍යවතුන් වහන්සේ අන් දිනවල තණ ඇතිරිය හකුළා සලකුණක් කොට තබා වඩනාසේක. එදවස පනවාම වැඩිසේක. මක්නිසාද යත් එදවස උදෑසන ලොව බලන සේක් අද මාගන්දිය මෙහි පැමිණ මේ තණ ඇතිරිය දැක භාරද්වාජ සමග තණ ඇතිරිය අරබයා තථා සල්ලාපයක් කරන්නේය. ඉන්පසු මම පැමිණ ධර්මය දේශනා කරන්නෙමි. හේ ධර්මය අසා මා සමීපයෙහි පැවිදිව රහත් බවට පැමිණෙන්නේය. අනුන්ට සංග්‍රහ කරනු පිණිසම මා විසින් පාරමී පුරන ලද්දේයයි තණ ඇතිරිය පනවාම වැඩිසේක.
සමණසෙය්‍යරූපං මඤ්ඤෙ මේ තණ ඇතිරිය ශ්‍රමණයාට සුදුසුවන්නේයයි හඟිමි මෙහි අසංවර තැනක් වත් පයින් පෑගු තැනක්වත් හිසින් පහරනු ලැබූ තැනක් වත් නො පැනේ. අනාකුල නොගැටුණු නොකැඩුණු, දක්ෂ චිත්‍රකාරයකු විසින් තෙලිතුඩින් පිරිසිඳ පැනවුවක් මෙන් දැමුණු ශ්‍රමණයකු වුසු තැනක්ය. පින්වත, කාගේ වුසු තැනක්දැයි අසයි. භුනහුනො වැඩීම් සිමා කළ අයකුගේ ඒ නිසා මෙසේකීය. සදොරෙහි වර්ධනය පනවන ලබ්ධි ඇති බැවින් මේ ඔහුගේ ලබ්ධියයි. ඇස වර්ධනය කළයුතුය. නොදුටු දෙය දැකගත යුතුයි. දුටුදෙය ඉක්මවා යායුතුය. කන වර්ධනය කළයුතුය. නොඇසුදෙය ඇසිය යුතුය. ඇසුදෙය ඉක්මවා යායුතුය. නාසය වර්ධනය කළ යුතුය. ආඝ්‍රාණය නොකළ දේ ආඝ්‍රාණය කළයුතුය. ආඝ්‍රාණය කළදේ ඉක්මවා යායුතුය. ශරීරය වර්ධනය කළයුතුය. ස්පර්ශ නොකළදේ ස්පර්ශ කළයුතුය. ස්පර්ශ කළදේ ඉක්මවා යා යුතුය. සිත වර්ධනය කළයුතුය. නොදත්දේ දතයුතුය. දත්දේ ඉක්මවා යායුතුය. මෙසේ හෙතෙමේ ෂට්ද්වාරයන්හි වර්ධනය පනවයි. භාග්‍යවතුන් වහන්සේ -
චක්ඛුනා සංවරො සාධු සාධු සොතෙන සංවරො
සානෙන සංවරො සාධු සාධු ජිව්හාය සංවරො
කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු සාධු සබ්බත්‍ථසංවරො
සබ්බත්‍ථසංවුතො සබ්බදුක්‍ඛා පමුච්චති
ඇසින් සංවර වීම යහපති - කනින් සංවර වීම යහපති
නාසයෙන් සංවරය යහපති - දිවෙන් සංවරවීම යහපති
සිතින් සංවරවීම යහපති - සියලු තැන සංවරය යහපති
සියලු තැන සංවරවු භික්‍ෂුව - මිදේ මැයි හැම දුක්වලින්.
සදොරෙහි සංවරය පනවයි. ඒ නිසා ඒ වර්ධනය නැසු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සීමා කරන්නකුයයි හඟිමින් භූනහුනො යයි කීය.