මහාරාහුලෝවාද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහාරාහුලොවාද සුත්‍රයයි. තත්‍ථ පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි දර්ශනය අත්නොහැර ගමන නොනවත්වා පසුපසින් ඉරියව් අනුබැඳුමෙන් අනු බැන්දේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පියවරෙහි පියවර තබමින් ලැසිගමනින් පෙරටුව පෙරටුව වඩනාසේක. රාහුල හිමියෝ බුදුහිමියන්ගේ පා අනුව පසුපසින් වඩිති.
එහිදී භාග්‍යවතුන් වහන්සේ සුපිපි සල්වනයක් මැද සිට යහපත් බිමකට බැසීමට නික්මුණු උතුම් මත් ඇතකු මෙන් බැබලුණු සේක. රාහුලභද්‍ර උතුම් හස්තියාගේ පසුපසින් නික්මුණු ඇත්පැටවකු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේ සවස්යාමයෙහි මැණින් ගුහාවකින් නික්මී ගොදුරට පිළිපන් කේශර සිංහයකු මෙන් වූහ. රාහුලභද්‍ර සිංහරාජයා ලුහුබඳිමින් නික්මුණු සිංහ පෝතකයකු මෙනි. භාග්‍යවතුන් වහන්සේ මැණික් පව්වක් වැනි වන ලැහැබින් එන මහ දත්ඇති මහා ව්‍යාඝ්‍රයෙකු වැන්න. රාහුලභද්‍ර ව්‍යාඝ්‍රරාජයා අනුව යන ව්‍යාඝ්‍ර පෝතක යකු වැන්න භාග්‍යවතුන් වහන්සේ සිම්බලි පොකුණින් නික්මුණු ගුරුළු රජුවැන්න. රාහුලභද්‍ර ගුරුළුරජු පසු පසින් නික්මුණු ගුරුළු පොව්වකු වැන්න. භාග්‍යවතුන් වහන්සේ චිත්‍ර කූට පර්වතයෙන් ගුවන්තලයට පියෑඹු ස්වර්ණහංස රාජයකු වැන්න. රාහුලභද්‍ර හංසරාජයා අනුව පියාඹන ස්වර්ණ හංස පෝතකයකු වැන්න. භාග්‍යවතුන් වහන්සේ මහ සයුරෙහි පාවෙන මහරන් නැවක් වැන්න. රාහුලභද්‍ර රන් නැවට සම්බන්ධව පසුපසින් බැඳි පහුරක් වැන්න. භාග්‍යවතුන් වහන්සේ චක්‍ර රත්න ආනුභාවයෙන් ගුවන් තලයට සැපත් සක්විති රජුවැන්න. රාහුලභද්‍ර රජු අනුව සැපත් පුත්‍රරත්නය වැන්න. භාග්‍යවතුන් වහන්සේ වලාකුළු නැති අහස්තලයට පිළිපන් චන්ද්‍රයා වැන්න. රාහුලභද්‍ර චන්ද්‍රයාගේ මගට පිළිපන් පරිශුද්ධ ඕසධී තාරකාව වැන්න.
භාග්‍යවතුන් වහන්සේද මහාසම්මත ප්‍රවේණියෙහි ඔක්කාක රාජවංශයෙහි උපන්හ. රාහුලභද්‍ර එසේය. භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද සක්ගෙඩියක දැමු කිරක් සේ සුපරිශුද්ධ ජාති ඇති ක්ෂත්‍රිය කුලයෙහි උපන්හ. භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද රාජ්‍යය අත්හැර පැවිදිවුවෝය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය දෙතිස් මහා පුරිස් ලකුණින් ප්‍රතිමණ්ඩිතය. දෙවිනුවර නැගු රුවන් තොරණක් වැන්න. සැමතැන මල් පිපුණු පරසතු රුකක් මෙන් අතිමනෝහරය. රාහුලභද්‍රගේ ශරීරයද එසේය. මෙසේ දෙදෙනම අහිනීහාර සම්පන්නය. දෙදෙනාම රජකුලයෙන් පැවිදිවුවෝය. දෙදෙනම ක්ෂත්‍රිය සුකුමාරය. දෙදෙනම රන්වන්ය. දෙදෙනම උපලක්ෂණ සම්පන්නය. එක් මගකට පිළිපන්නෝය. පිළිවෙළින් යන්නාවූ චන්ද්‍රමණ්ඩල දෙකෙහි, සුර්ය මණ්ඩල දෙකෙහි, ශක්‍ර සුයාම සන්තුසිත පරනිර්මිත වසවර්ති මහා බ්‍රහ්මයන්...... දෙදෙනාගේ ශ්‍රීය අභිබවන්නාක් මෙන් බැබලුණහ.
එහිදී ආයුෂ්මත් රාහුල හිමියෝ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යන්නාහු තථාගතයන් වහන්සේගේ පාතලයෙහි සිට කේශාන්තය දක්වා බැලුහ. හේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වේශයෙනි විලාසය දැක දෙතිස් මහා පුරුෂලක්ෂණයෙන් විචිත්‍ර වු ශරීරයක් ඇති බඹයක් වටකළ ප්‍රභා මණ්ඩලයක් ඇති, විසිරීගිය රන් සුණු මැදට පැමිණියාක් මෙන්ද විදුලියෙන් වෙළාගත් රන් පව්වක් මෙන්ද. යන්ත්‍ර සුත්‍රයන්ගෙන් ඇදගෙන යන්නාවු රුවනින් විචිත්‍ර වූ රන් ඇහෑයක් මෙන්ද පංසුකූල චීවරයෙන් වැසුණද රන් කම්බිලියෙන් වැසුණු රන්පව්වක් මෙන්ද, පබළුවැලින් විසිතුරු වූ රන් ඇගෑයක් මෙන්ද, චීන පිටිසුන්නෙන් පිදුණු ස්වර්ණ චෛත්‍යයක් මෙන්ද, ලාරසින් තවරන ලද කනක යූපස්තම්භයක් මෙන්ද, රන්වලාවන් අතරට පැමිණි එකෙණෙහි නැගුණු පුන්සඳමෙන්ද, භාග්‍යවතුන් වහන්සේ බබලන සේක. සමතිස් පෙරුම් දමින් සැදුණු ආත්මභාවයෙන් ශ්‍රී සම්පත්තිය පුදුමය යයි සිතූහ. ඉන්පසු තමාදෙසද බලා මමද හොබිමි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිව්මහ දිවයින්හි සක්විති රජය කළසේක්නම්, මට පරිනායක තනතුර දෙනු ඇත. මෙසේ ඇති කල්හි දඹදිව් තලය අතිශයින් බැබලෙන්නට තිබුණියි ආත්මභාවය ඇසුරින් ගෙන සිත ඡන්දරාගය ඉපදවීය.