භික්ඛු වර්ගය
අම්බලට්ඨිකරාහුලෝවාද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු අම්බලට්ඨික රාහුලොවාද සුත්‍රයයි. එහි අම්බලට්ඨිකායං විහරති වෙළුවන විහාර ප්‍රත්‍යන්තයෙහි පධානසර කොටසෙහි විවේක කාමීන්ගේ වාසය පිණිස කරවනලද අම්බලට්ඨික නමින් යුතු ප්‍රාසාදයෙහි විවේකය විඳිමින් වාසය කරන සේක. කණ්ටක නමැත්තා උපන්කල පටන් තීක්ෂ්ණය. මෙසේම මේ ආයුෂ්මත් තෙමේද සත්වයස් සාමණේර කල්හිම විවේකය විඳිමින් එහි වාසය කළේය. පටිසල්ලානා වුට්ඨිතො ඵලසමාපත්තියෙන් නැගිට, ආසනං මෙහි ස්වභාවයෙන්ම පැනවු අසුන් ඇත. එය ගසාදමා තැබීය උදකධානෙ දියබඳුනෙහි උදකට්ඨානෙ - දිය තබන තැන යනුවෙන්ද පාඨයක් ඇත.
ආයස්මන්තං රාහුලං ආමන්තොසි අවවාද දෙනු පිණිස ඇමතූසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් රාහුල තෙරුන්ට බොහෝ ධර්මදේශනා පවත්වන ලදී. සාමණේර ප්‍රශ්න තෙරුන්ටම කියන ලද ඒවාය. එසේම රාහුලසංයුක්තය, රාහුලොවාද සූත්‍රය. චුල්ලරාහුලොවාද සුත්‍රය මේ අම්බලට්ඨික රාහුලොවාද සුත්‍රය යනුවෙන්
මේ ආයුෂ්මත් තෙමේ සත් වයස් කල්හි භාග්‍යවතුන් වහන්සේ සිවුරු කොණින් ගෙන ශ්‍රමණයන් වහන්ස මට දායාද දෙනු මැනවැයි දායාද ඉල්ලමින් භාග්‍යවතුන් වහන්සේ ධම්ම සේනාපති සාරිපුත්ත තෙරුන්වෙත පමුණුවා පැවිදි කරන ලද්දේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුඩාදරුවෝ නම් යුතුදේත් අයුතුදේත් කියති. මොහුට අවවාද දෙමියි රාහුල කුමරුන් ඇමතුසේක. රාහුල ශ්‍රමණයකු විසින් තිරිසන් කතා කීම නොවටී ඔබ කියනවානම් මෙබඳු කථාවක් කරන්න. සම්බුදුවරුන් විසින් අත් නොහරනා ලද දස ප්‍රශ්න, පනස්පස් විසඳුම් එක් ප්‍රශ්නය. එක් උද්දේශය එක් ව්‍යාකරණය. එකනම් කිම. සියලු සත්වයෝ ආහාරය නිසා පවතින්නෝය. -පෙ- දහය නම් කිම. දස අංගයන්ගෙන් යුත් රහතන් වහන්සේයයි කියනු ලැබේ යයි මේ සාමණේර ප්‍රශ්නය වදාළසේක. නැවත මෙසේ සිතූසේක. කුඩා දරුවෝ නම් සුරතල් බොරු කියන්නෝ වෙති. නොදුටුදේ අප විසින් දක්නා ලද්දේය. දුටුදේ නොදක්නා ලද්දේ යයි කියති. මොහුට ඔවදන් දෙමියි ඇසින් බලාද හඳුනාගනු පිණිස පළමුකොටම දියකළ සතරේ උපමාවෝද, දෙවනුව ඇත් උපමා දෙකද, ආදාස උපමාවද පෙන්වා මේ සුත්‍රය වදාළසේක. සිව්පසයෙහි තෘෂ්ණාව ඉවත්කිරීම පංචකාම ගුණයෙහි ඡන්දරාගය හැරදැමිම කලණමිතුරන් ආශ්‍රයෙහි මහත් බවද දක්වා රාහුල සුත්‍රය වදාළසේක. පැමිණි පැමිණි තැන භවයන්හි ඡන්දරාගය නොකළයුතුයයි මහා රාහුලෝවාද සුත්‍රය වදාළසේක.
එහි රාහුල සුත්‍රය මෙනම් කල්හි කියන ලද්දේ යයි නොකිවයුතුය එය නිරන්තර අවවාද වශයෙන් කියන ලද්දකි. රාහුලසංයුත්තය සත්වස් වයස්කල් පටන් ආවශ්‍යක භික්‍ෂුකාලය දක්වා දෙන ලදී. මහා රාහුලොවාද සුත්‍රය ආවශ්‍යක භික්‍ෂු කාලයෙහි දෙසන ලදී. කුමාර ප්‍රශ්නය හා මෙම අම්බලට්ඨික රාහුලොවාද සුත්‍රය සත්වස්වයස් සාමණේර කාලයෙහි දෙසනලදී. එයින් රාහුලොවාද සුත්‍රය නිරන්තර අවවාද වශයෙන්ද රාහුල සංයුත්තය තෙරුන්ගේ විදර්ශනාගර්භ ග්‍රහණය පිණිසද, මහාරාහුලොවාද සුත්‍රය ගෙහසිත ඡන්දරාගය නැති කිරීම පිණිසද චුල්ලරාහුලෝවාද සුත්‍රය තෙරුන්ගේ පසළොස් විමුක්ති මුහුකුරායන ධර්මය මුහුකුරා ගිය කල්හි රහත්බව ගන්වනු පිණිස දෙසන ලදී. මේ සඳහා රාහුල තෙරුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද තථාගතයන් වහන්සේගේ ගුණ කියන්නාහු මෙසේ කීහ.