සත්තවිසුද්ධිපඤ්හවණ්ණනා
අභිණ්හං කිත්තයමා නො අහොසි යනු නැවත නැවත ගුණ සිහි කරමින් වර්ණනා කරමින් වාසය කළේය. ස්ථවිරයන් වහන්සේ වනාහි එතැන් පටන් දිනපතා සංඝයා මැද මන්තානිපුත්ත නම් වූ පුණ්ණ ස්ථවිරයන් වහන්සේ සිව් පිරිස සමග එකතුවීමක් පයිරුපාසනයක් නැත්තේය. හෙතෙම දශබලධාරීන් වහන්සේ දැකීමට එන්නේය. කෙසේ නමුත් මා නො දැකම යන්නේ යයි, ස්ථවිර, නවක මධ්‍යම භික්ෂූන්ට සිහිකිරීම පිණිස ආයුෂ්මත් පුණ්ණ තෙරුන්ගේ ගුණ වර්ණනා කරයි. මෙසේ සිතුණේල. මහළු භික්ෂූන් නම් හැමකල්හිම ඇතුළු විහාරයේ නො සිටිති. (එහෙත්) ගුණකථාව කරන කල්හී, යම්කිසි කෙනෙක් ඔහු දකීද? හෙතෙම අවුත් මට කියාවා, ඉක්බිති තෙරුන්ගේම සද්ධිවිහාරික තෙම ඒ ආයුෂ්මතුන් පාසිවුරු ගෙන ගඳකිළියට ඇතුල්වෙනු දුටුවේය. කෙසේනම් ඔහු එය දැනගත්තේද? පුණ්ණ පුණ්ණ යයි කියන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාවෙන් දැනගත්තේ ය. මාගේ උපාධ්‍යායන් වහන්සේ යම් කෙනෙකුගේ ගුණ නිතර නිතර කියන්නේ ද මේ ඒ ස්ථවිරයෝය. මෙසේ ඔහු පැමිණ තෙරුන්ට දැන්වීය.
නිසීදනං ආදායා යනු නිසීදනය නම් දාවලු සහිත චීවරයයි. ස්ථවිරයන් වහන්සේ වනාහී සම්කඩ ගෙන ගියේය. පිට්ඨිතො පිට්ඨිතො පිටිපසින් පිටිපසින් සීසානු ලොකීති යමෙක් උස්තැනෙක්හි දී පිට දකින්නේ ද, මිටි තැනකදී හිස දකින්නේ ද එසේ යන්නේ ද එය සීසානුලෝකයයි කියනු ලැබේ. ඒ අනුව ලුහුබැන්දේය. තෙරුන් වහන්සේද සංවර වූ පා ශබ්දය ඇති බැවින් ඉතා ආසන්නවට ගියේ නමුත් පා ශබ්දයෙන් බාධාවක් නො වීය. එහෙත් මේ කථා කිරීමට සුදුසු කාලය නොවේයි දැන ඉතා සමීප නො වූයේය. අන්ධවනය ඉතා විශාලය. එක් තැනක රුක්ගොමු ආදියට වැසී සැඟවී යාමෙන් නො දක්නේ ‘ඇවැත්නි, පුණ්ණ’යයි අපහසු ශබ්දයක් කළයුතු වේයැ’යි හුන් තැන දැනගැනීම සඳහා ඉතා නුදුරු තැනක සිසානුලෝකීව ගියේය. දිවා විහාරං නිසීදති යනු දිවා විහරණය සඳහා හුන්නේය.
එහි දී ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයෝ ද සැරියුත් තෙරණුවෝ ද, උසස් වූ බ්‍රාහ්මණ වංශිකයෝ වූහ. පුණ්ණ තෙරුන් ද සැරියුත් තෙරුන් ද, රන්වන් වූහ. පුණ්ණ තෙරුන් ද සැරියුත් තෙරුන් ද අර්හත්ඵල සමාපත්තියට සමවැදුණෝ වූහ. පුණ්ණ තෙරුන් කල්ප ලක්ෂයක් සම්පූර්ණ කරන ලද (අභිනීහාර) පාරමී දහම් ඇත්තේය. සැරියුත් තෙරුන් කල්ප ලක්ෂයක් අධික කොට ඇති ඒකාසංඛ්යයක් පිරූ පාරමීදම් ඇත්තේය. එක රන් ගුහාවකට පැමිණි සිංහයන් දෙදෙනෙකු සේ ද, එක් ඇඟ කිළිපොළන භූමියකට බැසගත් ව්‍යාඝ්‍රයන් දෙදෙනෙකු සේ ද, මල් පිපුණු එක සල් වනයකට පිවිසි ඡද්දන්ත කුලයේ ඇත් රජුන් දෙදෙනෙකු මෙන් ද, එක් සිම්බලී හිඹුල් වනයකට පිවිසි ගුරුළු රජුන් දෙදෙනෙකු මෙන් ද, එකම මිනිස් ස්ථානයකට පැමිණි වෛශ්‍රවණයන් දෙදෙනෙකු මෙන් ද, එකම විමානයකට ඇතුල් වූ භාරිත මහා බ්‍රහ්මයන් දෙදෙනෙකු මෙන් ද, දෙදෙනම බ්‍රාහ්මණ ජාති ඇති, දෙදෙනම රන්වන් වූ දෙදෙනම සමාපත්තිලාභී වූ, දෙදෙන පාරමී පිරුවා වූ දෙදෙනම පටිසම්භිදා පත් වූ, මහා ක්ෂීණාශ්රවයෝ එක වනලැහැබකට පැමිණ ඒ වනලැහැබ ශෝභා සම්පන්න කළාහු වෙති.
භගවති නො ආවුසො බ්රහ්මචරියං වුස්සතී යනු ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ආයුෂ්මතුන් වහන්සේ බඹසර විසූයේද? මෙය ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ඔහුගේ බඹසර විසීම දන්නා නමුත් කථාවක් ආරම්භ කිරීම සඳහා විචාළේය. පළමුව කථා නොකොට පසුව කථාවක් නූපදීද, එහෙයින් මෙසේ විචාළේය. තෙරුන්වහන්සේ පිළිතුරු දෙන්නේ ආයුෂ්මතුනි, එසේයයි කීය. ඉක්බිතිව ප්‍රශ්න විසඳීම් අසනු කැමතිව, ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කින්නු ඛො ආවුසො සීල විසුදත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී පිළිවෙළින් සප්ත විසුද්ධීන් විචාළේය. ඒ පිළිබඳ විසිතුරු කථාව විශුද්ධි මාර්ගයේ කියන ලදී. ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයෝ, යම්හෙයකින් සිව් පිරිසිදු සිල්හි පිහිටියේ වුවත්, බ්‍රහ්මචරිය වාසය සම්පූර්ණත්වයට නො පැමිණියේය. එහෙයින් නො හිදං ආවුසො යනුවෙන් සියල්ල ප්‍රතික්ෂේප කළේය.
කිමත්ථ චර ආවුසො යනු ඉදින් ශීල විශුද්ධි ආදීන් සඳහා බ්‍රහ්ම චරියාවෙහි නො වෙසේද? එසේ නම් කුමක් සඳහා වෙසේදැයි විචාළේය. අනුපාදා පරිනිබ්බාණත්ථං ඛො ආවුසො යනු මෙහි අනුපාදා පරිනිබ්බාණය නම් අප්රත්ය පරිනිබ්බාණයයි. උපාදානයෝ දෙදෙනෙක්ම වෙති. ග්රහණොපාදානය, (දැඩි සේ ගැනීම) හා ප්රත්යයොපාදානය (ප්‍රත්‍ය දැඩිව ගැනීම) යනු එම දෙකයි. ග්රහණොපාදානය - කාම උපාදාන ආදී වශයෙන් සතරවැදෑරුම් වේ. (කාම-දිට්ඨි-සීලබ්බත-අත්තවාද) ප්රත්යයොපාදානය නම් අවිජ්ජා පච්චයා සංඛ්‍යාත (අවිද්‍යාව හේතුවෙන් සංස්කාරයෝ හටගනී) ආදී වශයෙන් දැක්වූ ප්‍රත්‍යයෝයි. එහි ග්රහණොපාදානය කියන ආචාර්යවරයෝ අනුපාදාන පරිනිබ්බානන්ති සතර උපාදානයන්ගෙන් එක්තරා එකකිනුදු කිසි ධර්මයක් නොගෙන පවත්නා වූ අර්හත් ඵලය අනුපාද පරිනිර්වාණයයි කියත්. එය වනාහි උපාදානයන් හා සම්ප්රයුක්තවද කිසි ධර්මයක් දැඩිකොට නො ගනී. ක්ලේශයන්ගේ පිරිනිවීම අවසානයේ උපන් බැවින් පරිනිබ්බාණ යනු වේ. ප්රත්යයොපදානය ප්‍රකාශ කරන් ඇදුරො අනුපාදා පරිනිබ්බාණය යනු ප්‍රත්‍ය රහිත පරිනිර්වාණය වූ ප්‍රත්‍ය වශයෙන් නූපන් අසංඛත වූ අමෘත ධාතුවම ‘අනුපාදා පරිනිබ්බානය’ යයි කියත්. මෙය අන්තයයි. මෙය කෙළවරයි. යම්හෙයකින් අප්රත්ය පරිනිර්වාණයට පැමිණියහුගේ බඹසර විසීම මුදුන් පැමිණියා නම් වේ. එහෙයින් ස්ථවිරයෝ අනුපාදා පරිනිබ්බානත්ථං ආදිය කීයේය. ඉක්බිති ඔහු වෙනත් පැනයකට යොමු කරන්නා වූ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කින්නු ඛො ආවුසො සීල විසුද්ධි අනුපුබ්බානන්ති ආදී වශයෙන් නැවත සාකච්ඡාව ආරම්භ කළහ.