චාරිකාදිවණ්ණනා
යථාභිරත්තං යනු කැමති පරිද්දෙන් වැස, එක් තැනක වසන්නා වූ බුදුවරුන්ට සෙවන, දිය ආදී විපතකින් හෝ, අපහසු සෙනසුනකට හෝ මිනිසුන්ගේ සැදැහැ නැතිවීමකට හෝ පැමිණියේ නම් එහි වැඩසිටීමක් නැත. සම්පත්තියෙන් මෙහි සුවසේ වෙසෙමුයි සිත් අලවා කලක් විසීමක්ද නැත. එහෙත් යම්තැනක තථාගතයන් වැඩසිටින කල්හි සත්ත්වයෝ සරණයෙහි හෝ පිහිටත්ද සිල් සමාදන් වෙත්ද, පැවිදි වෙත්ද සෝවාන් මාර්ගාදී ඵලයන්ට උපනිශ්‍රය වෙත් ද, එහි බුදුවරයෝ සත්ත්වයන් ඒ ඒ සම්පත්තීන්හි පිහිටුවන අදහසින් එහි වෙසෙති. ඔවුන් නැතිකල්හි නික්ම යති. ‘අදහස් වූ පරිදි වැස’ යන්න එහෙයින් කියන ලදී.
වාරිකං චරමානො භාග්‍යවතුන් වහන්සේගේ චාරිකා වූ කලී දෙයාකාර වේ. තුරිත චාරිකා අතුරිත චාරිකා යනුවෙනි.
(සිව්සස්) අවබෝධ කළ හැකි පුද්ගලයන් දුරක හෝ සිටින්නේ නම් ඔවුන් සොයා වහා යාම තුරිත චාරිකා නම් වේ. මහාකාශ්‍යප තෙරුන් නිසා පෙරගමන් යාම දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මහකසුප් මහතෙරුන් වහන්සේ සඳහා පෙරගමන් යන්නේ ක්‍ෂණිකව තුන්ගවුවක් වැඩියේය. ආලවකයන් නිසා තිස්යොදුනක් ද එසේම අංගුලිමාල සඳහා ද එසේය. පුක්කුසාති රජු වෙනුවෙන් යොදුන් පන්සාලිසක් වැඩියහ. මහාකප්පින රජු සඳහා එක්සිය විසි යොදුනකි. ඛදිරිවනිය රේවත තෙරුන් සඳහා සත්සිය යොදුනක් ගියහ. ධර්ම සේනාපතීන්ගේ සද්ධි විහාරිකයකු සඳහා වනවාසී තිස්ස තෙරුන් සඳහා එක්විසි යොදුනක් හා තුන්ගව්වක් වැඩියහ.
එක් දවසක් සැරියුත් තෙරුන් වහන්සේ ස්වාමීනි, තිස්ස සාමණේරයන් සමීපයට යන්නෙමැයි කීහ. භාග්‍යවතුන් වහන්සේ ද මම ද යන්නෙමියි කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතීය. ආනන්ද වනවාසී තිස්ස සාමණේරයන් සමීපයට යාම සඳහා විසිදහසක් ෂඩ්අභිඥාධාරීන්ට දන්වව යි කීය. ඉක්බිති දෙවන දිනයේ විසිදහසක් ක්‍ෂීණාශ්‍රවයන් පිරිවරාගෙන අහසට පැන නැගී එක්සිය විසියොදුනක් පමණ ගොස් ඔහුගේ ගොදුරුගමෙහි බැස සිවුරු පෙරවූහ. රැකීරක්‍ෂා සඳහා යන මිනිස්සු බුදුහාමුදුරුවන් දැක, පින්වතුනි! භාග්‍යවතුන් වහන්සේ වැඩියහ. ගමන් නවතවු යයි කියා, අසුන් පනවා, කැඳ පිළිගන්වා පා මෙහෙවර කරන්නාහු, භාග්‍යවතුන් වහන්සේ කොහේ වඩින්නේදැයි තරුණ භික්‍ෂූන් විචාළාහුය. උපාසකයිනි, භාග්‍යවතුන් වහන්සේ අන්තැනක නො වඩිති. මෙහිම මේ තිස්ස සාමණේරෙයන් දැකීම පිණිස වැඩියේමය. ඔව්හූ අපගේ කුලුපග තෙරුන් දැකීම පිණිස ශාස්තෲන් වහන්සේ වැඩමවීලු. අපගේ තෙරුන් වහන්සේ කුඩා කෙනෙක්ම නොවූයේ යයි සතුටට පැමිණියාහු වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ බත්කිස අවසානයේ සාමණේර හිමියෝ ගමෙහි පිඬු පිණිස හැසිර උපාසකවරුනි, මහා භික්‍ෂු සංඝයාදැයි විචාළේය. ඔව්හූ එසේය භාග්‍යවතුන් වහන්සේ වැඩමවූහයි කීවාහුය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පිණ්ඩපාතයෙන් විචාළේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ පාත්‍රය අතින් ගෙන තිස්සය, කම් නැත. බක්කිස අවසන්යයි කීය. ඉන්පසුව උපාධ්‍යායන් විචාරා තමන්ට නිසි වූ ආසනයෙහි හිඳ බත්කිස කළේය. ඉක්බිති බත්කිස අවසානයේ ශාස්තෲන් වහන්සේ බණ වදාරා නික්මී, ගම්දොර සිට තිස්සය, තොප වසන තැනට ගමන්මග කෙසේදැයි පිළිවිසීය. භාග්‍යවතුන් වහන්ස මේය, තිසය මග දක්වමින් පෙරටුව යව.
භාග්‍යවතුන් වහන්සේ වනාහි දෙවියන් සහිත ලෝකයාට මාර්ගෝපදේශකයා වුවත්, සියලු තුන්ගවු මග සාමණේරයන් දක්නට ලැබීම සඳහා මාර්ග දේශකයා කළේය. හෙතෙම තමන් වසන තැනට ගොස් භාග්‍යවතුන්ට වත්පිළිවෙත් කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තිස්සය, තොපගේ සක්මන කොහේදැයි විචාරා, එහි ගොස් සාමණේරයන්ගේ හිඳින ගල්පොත්ත උඩ වාඩි වී තිස්සය, මෙතැන ඔබ සුවසේ වසන්නේදැයි විචාළේය. එසේය ස්වමීනි, මෙතැන වසන්නහුට සිංහ, ව්‍යාඝ්‍ර, ඇත්, මුව, මයුර ආදීන්ගේ ශබ්ද අසන්නා වූ මට අරණ සංඥාව උපදී. ඒ නිසා සුවසේ වසමි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට භික්‍ෂු සංඝයා රැස්කරව! තොපට බුද්ධ දායාදය දෙන්නෙමි කියා භික්‍ෂු සංඝයා රැස් වූ කල උපසම්පදාවෙහි පිහිටුවා තමන් වසන තැනට ගියේය. මේ තුරිත චාරිකා නම් වේ.