ධම්මගරුභාවවණ්ණනා
වස්සං වුත්ථා තෙමසක් වස් වසන ලද්දාහූ, පවාරණය කළ පැවරුම් ඇති. භගවා එතදවොච මහණෙනි! කිම ඉවසිය හැකිද? ආදී වචනයන්ගෙන් ආගන්තුක පිළිසඳර කොට එතං කොනු ඛො භික්ඛවෙ ආදී වචන කීය. ඒ භික්ෂූහු වනාහි මහණෙනි, කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම වෙහෙස නැතිව මග ආවාහුද? පිණ්ඩපාතය නොලැබී ක්ලාන්ත වූයේද යළි මහණෙනි, තෙපි කොහි සිට ආවාහුද? ආදී පිළිසඳර විසින් විචාරන ලද්දාහූ භාග්යවතුන් වහන්ස! ශාක්ය ජනපදයෙහි කපිලවස්ථාගාරයේ සිට ජාත භූමියෙන් ආම්භයි කීහ. එකල්හි භාග්යවතුන් වහන්සේ සුද්ධෝදන මහරජුගේ, සුක්කොදන රජුගේ, සක්කොදන රජුගේ, ධොතොදන රජුගේ, අමිතොදන රජුගේ, අමිතා දේවියගේ, පමිතා දේවියගේ, මහා ප්රජාපතීගේ ආදී සියළු ශාක්ය මණ්ඩලයාගේ සුවදුක් නො විචාළේය. අනතුරුව තමාත් දශ කථා වස්තුලාභී වූ අනුනුත් එහි සමාදන් කරවන්නා වූ ප්රතිපත්ති සම්පන්න වූ භික්ෂුවක් විචාරණ සේක්, කොනු චො භික්ඛවෙ යනාදිය වදාළහ.
කුමක් හෙයින් භාග්යවතුන් වහන්සේ සුද්ධෝදන ආදීන්ගේ සුවදුක් නො විචාරා මෙබඳු වූ භික්ෂුවකගේම විචාරන සේක්, ප්රිය බැවිනි. බුදුරදුන්ට ප්රතිපන්න භික්ෂූහු ද, භික්ෂුණීහු ද, උපාසක උපාසිකාවෝ ද, ප්රිය වෙත්. මනාප වෙත්. කුමක් හෙයින්ද? ධර්ම ගරුත්වය හෙයින් තථාගතයෝ ධර්මගරුක වූවාහු වෙති. ඔවුන්ගේ ධර්මගරුක භාවය ද ‘දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො’ මේ අජපල් නුගරුක උපන් අදහසින් බව දතයුතුය.
භාග්යවතුන් වහන්සේ ධර්ම ගරුත්වය නිසාම මහා කාශ්යප තෙරුන් වහන්සේගේ අභිනිෂ්ක්රමණයේ දී තුන්ගව්වක් පමණ පෙරගමන් වැඩියහ. අතිරේක යොදුන් සියයක් ගොස් ගංගා තීරයේ දී දහම් දෙසා මහාකප්පින ස්ථවිරයන් රහත් බලයෙහි පිහිටවූහ. එක්දිනක් බතින් පසුව පන්සාලිස් යොදුන් මග ගෙවා ගොස් කුඹල් නිවසේ තුන්යම රෑ මුලුල්ලේ දහම් දෙසා පුක්කුසාති කුලපුත්රයා අනාගාමි කළ සේක. එක්විස් යොදුන් ගොස් වනවාසී තෙරණුන්දෑට අනුග්රහ කළහ. සැටයොදුන් මග ගොස් ඛදිරවනිය රේවත තෙරුන්ට දහම් දෙසූහ. අනුරුද්ධ තෙරුන් පාචීනවංස මිගදායෙහි හුන්නේ මහා පුරුෂ විතර්කය විතර්ක කෙරේයයි දැන අහසින් එහි ගොස් තෙරුන් හමුවෙහි බැස සාධුකාර දුන්හ. කුටිකණ්ණසොණ තෙරුන්ට එක් ගඳකිළියෙහි සෙනසුන් පනවවා අලුයම දම් දෙසුමට ආරාධනා කොට, ස්වර භඤ්ඤය (මිහිරි ගායනය) අවසානයේ සාධුකාර දුන්හ. තුන්ගවු මග ගෙවා ගොස් තුන් කුලපුතුන් වසන තැන, ගොසිංගසාල වනයෙහි සමගි රසයෙහි අනුසස් වදාළහ.
කාශ්යප බුදුහාමුදුරුවෝ ද ඝටීකාර කුඹල්කරුගේ නිවෙසට ගොස් මෙතෙම අනාගාමී ඵලයට පැමිණි ආර්යයෙකැයි විශ්වාස උපදවා සියතින් අහර ගෙන වැළඳූහ.
අපගේ භාග්යවතුන් වහන්සේ ද වස් එළඹෙන දිනය පැමිණි කල්හි, භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව දෙව්රමින් නික්ම චාරිකාවේ යෙදුනහ. කොසොල් මහරජු අනේපිඬු සිටු ආදීන්ට නවත්වනු නොහැකි විය. අනේපිඬු සිටු ගෙට අවුත් දොම්නසට පැමිණ සිටියහ. එකල පුණ්ණ නම් දාසිය පැමිණ ස්වාමීනි දොම්නසට පැමිණියේ ඇයිදැයි ඇසීය. එසේය ශාස්තෲන් වහන්සේ නවතා ගන්නට නො හැකි විය. මම මේ තෙමස තුළ ධර්මය අසන්නට හෝ අදහසේ හැටියට දන් දෙන්නට හෝ නො ලබමි. මම ශාස්තෲන් වහන්සේ නවත්වා ගන්නෙම් ද? ඉදින් හැකිනම් නවත්වා ගනුව, එසේ වුවහොත් තී දාසියක් නො වූවාම වේ. ඕ තොමෝ ගොස් දශබලධාරීන් වහන්සේගේ පාමුල වැටී භාග්යවතුන් වහන්ස නවතිනු මැනව කීවාය. පුණ්ණාවෙනි! තී අනුන් නිසා ජීවත් වන්නියකි. තී කුමක් කරන්නද? භාග්යවතුන් වහන්සේ මට දීමට සුදුසු වස්තුවක් නම් නැති. ඔබවහන්සේ දනී. එසේ වුවත් භාග්යවතුන් වහන්සේ නවතින්නේ නම් මම තිසරණ සරණයෙහි ද පංච ශීලයෙහි ද පිහිටමි. භාග්යවතුන් වහන්සේ මැනවි මැනවැ පුණ්ණාවෙනි වදාරා සාධුකාර දී නැවතී ජේතවනාරාමයට වැඩම වූ සේක. මේ කථාව පතළ විය. සිටුතුමා මේ කථාව අසා පුණ්ණා විසින් භාග්යවතුන් වහන්සේ නවත්වා ගත්තේ යයි අසා ඇය දාසි බවින් නිදහස් කොට දූ තනතුරෙහි තැබීය. ඕ තොමෝ ප්රවජ්යාව යැද පැවිදි වූවාය. පැවිදි වී විදර්ශනාව ආරම්භ කළාය. ඇගේ පටන්ගත් විදර්ශනාව දැනගත් ශාස්තෲන් වහන්සේ මේ ඕභාස ගාථාව වදාළ සේක.
පුණ්ණො පුරෙසි සද්ධම්මං - චන්දො පණ්ණරසො යථා
පරිපුණ්ණාය පඤ්ඤාය - දුක්ඛස්සන්තං කරිසසසී
පරිපුණ්ණාය පඤ්ඤාය - දුක්ඛස්සන්තං කරිසසසී
පුණ්ණාවෙනි! පණ්ණරසී චන්ද්රයා මෙන් ශාසන ධර්මය පුරව. විදර්ශනා සහිත මාර්ග ප්රඥාව සම්පූර්ණ වූ කල්හි සසර කෙළවර කරන්නෙහිය.
මේ ගාථාවගේ කෙළවර ඕ තොමෝ අර්හත් බවට පැමිණ අභිඥා සම්පන්න ශ්රාවිකාවක් වූවාය. තථාගතයෝ මෙසේ ධර්මය ගරුකකොට ඇත්තාහ.
නන්දක ස්ථවිරයෝ උපස්ථාන ශාලාවෙහි ධර්මය දේශනා කරන කල්හී භාග්යවතුන් වහන්සේ ස්නානය නොකරම ගොස් තුන්යම රාත්රී සිටගෙනම බණ අසා දේශනාවසානයේ සාධුකාර දුන්හ. ස්ථවිරයන් පැමිණ වැඳ ස්වාමීනි, කවර වේලාවක වැඩියාහුදැ’යි විචාළේය. ‘ඔබ ධර්මදේශනාව ආරම්භ කළ මොහොතේමය.’ ‘වහන්ස, දුෂ්කර කාර්යයක් කළාහුය. නුඹවහන්සේ බුදු හෙයින් සියුමැළි වූවාහුය. භාග්යවතුන් වහන්සේ නන්දකය, ඉදින් ඔබ කල්පයක් බණ කියන්නේද? කල්පයක් පමණම මම සිටියේම අසන්නෙමි යි වදාළහ. මෙසේ තථාගතයෝ ධර්මගරුක වෙත්. ධර්මගරුක බවින් ඔවුන්ට පිළිවෙතට පැමිණියාහු ප්රිය වෙති. එහෙයින් ප්රතිපන්නකයෝ විචාරත්.
ප්රතිපන්නකයෝ නම්,
1. තමන්ට හිත පිළිපන්නේ අනුන්ට හිත බවට නො පිළිපන්නේය.
2. අනුන්ගේ හිත බවට පිළිපන්නේ තමන්ට හිත පිණිස නො පිළිපන්නේය.
3. තමන්ට ද අනුන්ට ද හිත බවට පිළිපන්නේය.
4. තමන්ට ද අනුන්ට ද හිත පිණිස නො පිළිපන්නේය යනුවෙන් හතරවැදෑරුම් වේ.
1. තමන්ට හිත පිළිපන්නේ අනුන්ට හිත බවට නො පිළිපන්නේය.
2. අනුන්ගේ හිත බවට පිළිපන්නේ තමන්ට හිත පිණිස නො පිළිපන්නේය.
3. තමන්ට ද අනුන්ට ද හිත බවට පිළිපන්නේය.
4. තමන්ට ද අනුන්ට ද හිත පිණිස නො පිළිපන්නේය යනුවෙන් හතරවැදෑරුම් වේ.