අප්පිච්ඡතාදිවණ්ණනා
අප්පිච්ඡො දැඩි කැමැත්තෙන් වෙන්විය. තණ්හාව නැත්තේය. මෙහි වනාහි ව්යඤ්ජන සාවසේස මෙන් වේ. එහෙත් අර්ථය නිරවශේෂය. යම්හෙයකින් ඔහුගේ සිත තුළ ක්ලේශ මාත්ර වූද කැමැත්තක් නම් නැත්තේද එහෙයිනි. මොහු සියලු ආකාරයෙන් ප්රහීණ වූ තෘෂ්ණා ඇති රහතන් වහන්සේ කෙනෙක්මය. තව ද මෙහි අත්රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අප්පිච්ඡතා යන මේවායේ භේදය දතයුතුය.
එහි ස්වකීය ලාභයෙහි සතුටු නැති වූවහුගේ පරලාභයෙහි ප්රාර්ථනාව අත්රිච්ඡතා නම් වේ. එයින් යුක්ත වූවහට එකම බඳුනෙහි පිසින ලද ආප්පයක්, කැවුමක්, තමන්ගේ පාත්රයට වැටුණු කළ එය නො පිළිස්සුණු, මනාව නො ඉදුණු කුඩා කැවුමක් ආප්පයක් ලෙස හැඟේ. එයම වෙනත් කෙනෙකුගේ පාත්රයක වැටුණු කල එය හොඳින් පිළිස්සුණු ලොකු ආප්පයක් කැවුමක් සේ හැඟෙයි.
අවිද්යමාන ගුණ පහළ කරන බව ද, පිළිගැනීමෙහි පමණ නො දන්නා බව ද පාපිච්ඡතා නමි. ‘ඉධෙකච්චො අස්සද්ධො සමානො සද්ධොති මං ජනො ජනාතු’ ආදී ක්රමයෙන් අභිධර්මයේ පෙන්වයි. එයින් සමන්විත වූ පුද්ගලයා කොහොන් බැව්හි පිහිටයි.
විද්යමාන ගුණ පහළ කරන බව ද, පිළිගැනීමෙහි පමණ නො දන්නා බව ද මහිච්ඡතා නම් වේ. ‘ඉධෙකච්චො සද්ධො සමානො සද්ධොති මං ජනො ජානාතුති ඉච්ඡති - සීලවා සමානො සීලවාති මං ජනො ජානාතුති’ ආදී වශයෙන් අභිධර්මයෙහි ආයේය. එයින් සමන්විත වූ පුද්ගලයා සතුටු කිරීමට දුෂ්කර වූයේ වෙයි. වැදූ මවුද ඔහුගේ සිත් ගන්නට නොහැකි වෙයි.
අග්ගික්ඛන්ධො සමුද්දොච - මහිච්ඡො වාපි පුග්ගලො
සකටෙන පච්චයං දෙන්තු - තයො පෙතෙ අතප්පියා
සකටෙන පච්චයං දෙන්තු - තයො පෙතෙ අතප්පියා
ගිනි කඳ ද, සමුද්රය ද, මහේච්ඡ පුද්ගලයා ද යන මොහු තිදෙනම ගැලින් ප්රත්යය දුන්නත් සතුටු කළ නො හැකිමය.
විද්යමාන ගුණ සඟවන බව ද, පිළිගැනීමෙහි පමණ දන්නා බවද අප්පිච්ඡතා නම් වේ. එයින් සමන්විත වූ පුද්ගලයා තමන් කෙරෙහි විද්යමාන වූ ගුණය සඟවනු කැමති බැවින් සැදැහැ ඇතියේ සැදැහැ ඇතියයි ජනයා දැනගනීවායි නො කැමති වෙයි. සිල් ඇත්තේ, විවේක ඇත්තේ, බහුශ්රැත වූයේ, ප්රඥාවන්ත වූයේ පටන්ගන්නා ලද වීර්යය ඇත්තේ, සමාධි සම්පන්න වූයේ, ප්රඥාවත් වූයේ, ක්ෂීණාශ්ර වූයේ, මා ක්ෂීණාශ්රවයෙකැයි ජනයා දැනගනීවායි නො කැමති වේ. මජ්ඣන්තික ස්ථවිරයන් වහන්සේ මෙනි.
මජ්ඣන්තික තෙරුන් වහන්සේ මහා රහතන් වහන්සේ නමකි. එහෙත් උන්වහන්සේගේ පා සිවුරු පාදයක් (කහවනුවෙන් හතරෙන් එකක්) පමණ අගී. උන්වහන්සේ අශෝක රජුගේ විහාර පූජා දිනයෙහි සංඝ ස්ථවිර වූහ. උන්වහන්සේගේ රූක්ෂභාවය දැක මිනිස්සු ස්වාමීනි, මදක් බැහැර වුව මැනවැයි කීහ. රහතන් වහන්සේ මා වැනි රහත් කෙනෙකු රජුට සංග්රහ නො කරන කල්හි අන් කවරෙක් පිහිට වන්නේදැයි, පොළවෙහි කිමිද සංඝස්ථවිරයන්ට පුදන ලද පිණ්ඩය ගනිමින්ම නැගුනු සේක. මෙසේ මහ රහතන් වහන්සේ නමක් වූයේ ම ‘මේ රහත් කෙනෙකැ’යි මිනිසුන් දැනගන්නවාට නො කැමති විය. මෙසේ අල්පේච්ඡ භික්ෂුව නූපන් ලාභය උපදවයි. උපන් ලාභය තහවුරු කරයි. දායකයන්ගේ සිත ආරාධනය කරයි. හෙතෙම යම් විධියකින් තමාගේ අල්පේච්ඡ භාවයෙන් මදක් ගනී ද ඒ ඒ පරිද්දෙන් ඔහුගේ වතෙහි පැහැදුණු මිනිස්සු බොහෝකොට දෙන්නාහුය.
මීට වෙනස් වූ ද සතර වැදෑරුම් අල්පේච්ඡයක් වෙයි. ප්රත්ය අල්පේච්ඡය, ධුතංග අල්පේච්ඡය, පරියත්ති අල්පේච්ඡය, අධිගම අල්පේච්ඡය යනුවෙනි. ඔවුන් අතරෙන් සිවුපසයෙහි අල්පේච්ඡ වූයේ ප්රත්ය අල්පේච්ඡයයි. ඔහු දායකයාගේ කැමැත්ත, ශක්තිය දනී. දාන වස්තුවේ ප්රමාණය දනී. තමාගේ තරාතිරම ශක්තිය දනී. ඉදින් දාන වස්තුව බොහෝ වේද? දායකයා මදක් දෙනු කැමති වේද, දායකයාගේ වශයෙන් ස්වල්පයක් ගනී. දාන වස්තුව ස්වල්ප වූයේ දායකයා බොහෝ දෙනු කැමති වේද, තමාගේ ශක්තිය දැන ප්රමාණයෙන් ගනී. දාන වස්තුවත් බොහෝ වේද, දායකයා බොහෝ දෙනු කැමතිත් වේද, එකල තමාගේ ශක්තිය ගැන ප්රමාණයෙන් ගන්නේ ය.