ආසවක්ඛයවාරවණ්ණනා
ආශ්‍රවක්‍ෂයකර වාරයෙහි දිබ්බෙන චක්ඛුනායි නොකියා තමෙනං පස්සාමි කියන ලදී. ඒ කුමක් හෙයින්ද? නියමයක් නැති හෙයිනි. මේ පුද්ගලයා දිවැසින් දකියි. චේතෝපරියාය ඤාණයෙන් ද දැනගනී. සර්වඥතා ඥානයෙන් ද දැනගනිත්. එකන්ත සුඛා වෙදනා යන මෙය කිසිසේත් දෙව්ලොව සැප සමග බ්‍යඤ්ජන හෙයින් එකය. එසේ වුවද අර්ථ වශයෙන් විවිධ වෙයි. දෙව්ලෝ සුවය රාග පරිදාහ ආදිය ඇති බැවින් අනිවාර්යයෙන් ම ඒකන්ත සුව නොවේ. නිවන්සුවය වනාහි සියළු පරිදාහයන් ව්‍යුපසමනය කරන හෙයින් ඒකාන්ත සුවය වේ. උපමාවෙහි ද ප්‍රාසාදයෙහි ලා ‘ඒකත්තසුඛ’ යයි යමක් කියන ලද ද, එය මාර්ග පරිදාහය නොසන්සුන් බැවින් ද, බඩසයින් පෙළුන බැවින් ද, පවසින් මඩනා ලද බැවින් ද, ඒකාන්තයෙන් ඒකන්ත සුඛ නොවේ. එසේ වුවත් වනලැහැබෙහි පොකුණට බැස දූවිලි සෝදා හළ බැවින් ද, ගමන් වෙහෙස සන්සිඳුණු බැවින් ද, නෙළුඹුදැලි කෑමෙන් හා මිහිරි දිය බීමෙන් සා පවස සන්සිඳුණු බැවින් ද, දියසළුව පෙරළා දුහුල් පටපිළිය හැඳ, සහල් ථවිකාව හිස්දොර තබා, දියසළුව මිරිකා ලෙහි තබා මද මද සුළඟින් විඩා සන්සිඳුවන බැවින් හැම අතින්ම ඒකාන්ත සුව නම් වේ.
එවමෙව ඛො යන මෙහි උපමා උපමේය සන්සන්දනය මෙසේය. ආර්ය මාර්ගය පොකුණ මෙන් දතයුතුය. පොකුණට යන මග මෙන් පූර්වභාග ප්‍රතිපදාව ද, මග බැසගත්තහු මෙන් ප්‍රතිපදාවෙන් යුත් පුද්ගලයාද, ඇස් ඇති පුරුෂයා මෙන් අනාවරණ වූ පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේද, වනලැහැබ මෙන් නිවනද (දතයුතු) යම්සේ ඒ පුරුෂයා මගට බසිනු දැකම, මෙතෙමේ මේ මගින් ගොස් පොකුණෙහි නා සිත්කළු වූ වනලැහැබෙහි රුක්මුල හිඳින්නේ හෝ නිදන්නේ හෝ යයි දැනගනීද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ, පිළිවෙත් පුරන්නහුම. නාමරූපයන් පිරිසිඳින්නහුම, ප්‍රත්‍යය පරිග්‍රහ කරන්නහුම ලක්‍ෂණාරම්මනයෙහි විදර්ශනා කර්ම කරන්නෙහි යයි දනියි. මෙතෙමේ මෙම ප්‍රතිපදාව පුරා සියළු ආශ්‍රවයන් ක්‍ෂය කොට ‘අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤා විමුත්ති’ යන මෙසේ කියන ලද ඵලසමාපත්තියට පැමිණ වාසය කරන්නේ යයි දැනගන්නේය. යම්සේ ඒ පුරුෂයා සවස් භාගයෙහි ඒ පොකුණෙන් නහා වන ලැහැබට පිවිස හිඳින්නේ හෝ හොවින්නේ ඒකාන්ත වූ සැපවේදනා විඳින්නේ යයි දකීද? එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෑතභාගයෙහි ඒ පුද්ගලයා පිළිවෙත් පුරා මාර්ගය වඩා ඵලය ප්‍රත්‍යක්‍ෂ කොට නිරෝධ නමැති උතුම් වූ යහන්ගත වූවහු නිවන් අරමුණු කොට ඇති ඵලසමාපත්තියට පැමිණ, ඒකාන්ත සැප වූ වේදනාව විඳින්නහු දක්නා සේක.
දුක්කරකාරිකාදිසුද්ධිවණ්ණනා
අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත - චතුරංග සමන්නාගතං යන මෙය කුමක් අරභයා කියන ලද ද? වෙනම අනුසන්ධි වශයෙන් ආරබ්ධයහ. මේ වනාහි සුනක්ඛත්ත දුෂ්කර ක්‍රියාවෙන් ශුද්ධිය වේයයි කියන පිළිගැනීම ඇත්තේල. එහෙයින් ඔහුට භාග්‍යවතුන් වහන්සේ මා විසිනුදු එක් ආත්ම භාවයක සිට චතුරංගයෙන් සමන්විත වූ දුෂ්කරකියා කරන ලද, දුෂ්කර ක්‍රියා කරන්නවුන් අතරින් නම් මා හා සමානයෙක් නැත. දුෂ්කර ක්‍රියාවෙන් ශුද්ධිය ඇතිවන්නේ නම් මම ම ශුද්ධ වූවෙක් වන්නෙමි යි දැක්වීමට මේ දේශනාව ආරම්භ කළේය.
තව ද මේ සුනක්ඛත්ත තෙම දුෂ්කර ක්‍රියාවෙහි ප්‍රසන්න වූවෙක. ඔහුගේ ඒ ප්‍රසන්න භාවය අද්දසා ඛො භග්ගව සුනක්ඛත්තො ලිච්ඡවි පුත්තො අචෙලකං කොරක්ඛත්තිකං චතුකුණ්ඩිකං ඡමානිකිණ්ණං භක්ඛාසං මුඛෙනෙව ඛාදන්තං මුඛෙන භුඤ්ජන්තං දිස්වානස්ස එතදහොසි. සාධුරූපො වතභො අරහං සමණෙ චතුකුණ්ඩිකො ඡමානිකිණ්ණං භක්ඛාසං මුඛෙනෙ ඛාදති මුඛෙන භුඤ්ජති ති මේ ආදී වූ පාටික සූත්‍රයෙහි ආ පිළිවෙළින් දතයුතු.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙතෙමේ ද දුෂ්කර ක්‍රියාවෙහි ප්‍රසන්න වූවෙක. මා විසින් ද එක් ආත්ම භාවයක සිට සිව්රහින් යුත් දුෂ්කර ක්‍රියාව කරන ලද, දුෂ්කර ක්‍රියාවෙහි පහදනා වූ මොහු විසින් මා කෙරෙහි පැහැදිය යුතු වන්නේ ය. ඔහුගේ ඒ ප්‍රසාදය මා කෙරෙහි නැතැයි දක්වන්නාහු ද මේ දේශනාව ආරම්භ කළහ.
එහි බ්‍රහ්මචරියං යනු දානය ද, වතාවත් ද, ශික්‍ෂාපද ද, බ්‍රහ්ම විහාරය ද, ධර්ම දේශනාව ද, මෛථුන විරතිය ද, ස්වදාර සන්තෝෂය ද උපෝසථය ද, ආර්ය මාර්ග ද, මුළු සසුන ද, අධ්‍යාශය ද, වීර්යය ද කියනු ලැබේ.
භග්ගවය, සුනක්ඛත්ත නම් ලිච්ඡවී පුත්‍රයා කොරක්ඛත්තිය නම් නග්නයා දෙදන වැලමිට බිම තබා හැසිරෙන්නහු, බිම දමන ලද ආහාරය මුඛයෙන් ම කන්නහු, මුඛයෙන් ම බුදින්නහු දුටුයේය. දැක ඔහුට මෙසේ සිතිණ. ඒකාන්තයෙන් සොඳුරු පියවි ඇති රහත් මහණෙක. දෙදණ වැලමිට බිම තබා බිම දමන ලද ආහාරය මුඛයෙන්ම කයි.
කිං තෙ වතං කිංපන බ්‍රහ්මචරියං - කිස්ස සුචිණ්ණසස අයං විපාකො
ඉද්ධි ජුතී බල විරියූපපත්ති - අක්බාභි මෙ නාග මහා විමානං
නාගරාජය, තොප විසින් සමාදාන වන ලද ව්‍රතය කිම! දාන සංඛ්‍යාත බ්‍රහ්මචරියාව, ශ්‍රේෂ්ට චරියාව කිමෙක්ද? මනාකොට රැස්කරන ලද කවර කර්මයක විපාක වේද? ආනුභාවය ද කාන්තිය ද වෙයි. කාය බලයෙන් හා උත්සාහයෙන් ද සමන්විත වූයේ මහත් වූ විමානයක් ද වේ. මේ මා විසින් විචාරණ ලද්දේ කියව!
අහඤ්ච භරියාව මනුස්ස ලෝකෙ - සද්ධා උභො දානපතී අහුම්හ
ඔපාන භූතං මෙ සරං තදාසී - සන්තප්පිතා සමණ බ්‍රාහ්මණාච
මම ද භාර්යාව ද අපි දෙදෙන මිනිස් ලොව ශ්‍රද්ධාව ඇත්තේ දානපතියෝ වීමු. එකල්හි මගේ ගෙය සතරමං සන්ධියක කණින ලද පොකුණක් මෙන් විය. මහණ බමුණෝ ආහාර පානාදියෙන් සංග්‍රහ කරන ලදී.
තම්මෙ වතං තං පන බ්‍රහ්මචරියං - තස්ස සුචිණ්ණසස අයං විපාකො
ඉද්ධී ජුතී බලවිරියූපපත්ති - ඉධංච මෙ ධීර මහා විමානං
වීර්යයන් වහන්ස! මා විසින් සමාදන් වන ලද ඒ ව්‍රතය වෙයි. ඒ දාන සංඛ්‍යාත ශ්‍රේෂ්ඨ චරියාව වෙයි. මනාකොට රැස්කරන ලද ඒ කර්මයාගේ මේ විපාකයයි. ආනුභාවය ද කාන්තිය ද වෙයි. කාය බලයෙන් ද හා උත්සාහයෙන් යුක්ත වෙමි. මේ මහත් වූ විමානය ද වේ.
මේ පුණ්ණක ජාතකයෙහි ‘දානය’ බ්‍රහ්මචරියයි කියන ලද
කෙන පාණි කාම දදො - කෙන පාණි මධුස්ස වො
කෙන තෙ බ්‍රහ්මචරියෙන - පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති
තෙන පාණි කාමදදො - තෙන පාණි මධුස්සවො
තෙන මෙ බ්‍රහ්මචරියෙන පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති
මේ අංකුර ප්‍රේත වත්‍ථුවෙහි ‘වතාවත’ බ්‍රහ්මචරියයි කියන ලදී.
‘ඉදං වො තං’ භිකඛවෙ තිත්තිරියං නාම බ්‍රහ්මචරියං අහොසි’ යයි. තිත්තිර ජාතකයෙහි පංච ශික්‍ෂාපදය ‘බ්‍රහ්මචරිය’ යයි කියන ලදී. ‘තං ඛොපන පඤ්චසිඛ බ්‍රහ්මචරියං නෙව නිබ්බිදාය න විරාගාය යාවදෙව බ්‍රහ්මලොකුප්පත්තියා’ යයි මහා ගෝවින්ද සූත්‍රයෙහි ‘බ්‍රහ්ම විහාරයෝ බ්‍රහ්මචරියයි කියන ලදී. එකස්මිං බ්‍රහ්මචරියස්මිං සහස්සං මච්චු භායිනො යන මෙහි ධර්මදේශනාව ‘බ්‍රහ්ම චරියයි’ කියන ලදී. පරෙ අබ්‍රහ්මචාරි භවිස්සන්ති මයමෙත්‍ථ බ්‍රහ්මචාරී භවිස්සාමී, සල්ලෙඛ සූත්‍රයෙහි ‘මෛථුන විරතිය’ බ්‍රහ්මචරිය යයි කියන ලදී.