මහාසීහනාද සූත්‍ර වර්ණනාව
වෙසාලිනගරවණ්ණනා
එවම්මෙසුතං යනු මහා සීහනාද සූත්‍රයයි. එහි වෙසාලියං යනු ඒ නම් ඇති නගරයෙහි, ඔබිනොබ විශාල වූ බැවින් වෙසාලී ‘විසාලා’ යයි ප්‍රසිද්ධියට ගියේය. මේ එහි පිළිවෙළ කථාවයි. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඕ තොමෝ එය දැන රජුට දැන්වූ (කල්හි ) රජතෙමේ ගැබ් පෙරහර දුන්නේ ය. ඕ තොමෝ මනාකොට ගැබ පරිහරණය කරනු ලබන්නී, ගැබ මේරීමට ගිය කල්හි තිඹිරිගෙට පිවිසියාය. පිනැත්තියන් ගේ ගැබ් බිහිවීම අළුයම් කාලයේම සිදුවේ. ඕතොමෝ පිනැත්තියන් අතුරෙක් එක් තැනැත්තියකි. එහෙයින් අළුයම් කාලයෙහි, ලතුයෙන් ආලේප කළ බඳු වදමලක් මෙන් මස් වැදැල්ලක් වැදුවාය. එය දුටු අගමෙහෙසිය ‘අනෙක් දේවීහූ රන් බිඹු වැනි පුතුන් වදති. අග මෙහෙසිය (වැදූයේ) මස්වදැල්ලකැයි රජු ඉදිරියෙහි මගේ අගුණ පහළ වන්නේ යයි’ සිතා ඒ නුගුණ බියෙන් ඒ මස් වැදැල්ල එක් භාජනයෙක බහා වසා රාජ මුද්‍රායෙන් ලස් තබා ගංගා ජලයෙහි දැම්මවීය. මිනිසුන් විසින් අත්හළ මොහොතේ පටන් දෙවියෝ ආරක්ෂාව සැලසූහ. එම බඳුනෙහි ‘බරණැස් රජුගේ අගමෙහෙසියගේ දරුවෝ’ යයි දෑ හිඟුලෙන් ලියූ රන්පටක් ද බැන්දහ. එතැන් සිට එම බඳුන රළ භයාදියෙන් ආරක්ෂිතව ගංගා ජලයෙහි පාවී ගියේය.
එ සමයෙහි එක්තරා තාපසයෙක් ගොපලු කුලයක් නිසා ගංඉවුරේ වසයි. හෙතෙම උදේම ගඟට බටුයේ එන්නා වූ එම භාජනය දැක පාංශුකූල හැඟීමෙන් ගත්තේ ය. නැවත එහි අකුරුපට ද, රාජ මුද්‍රිකාවද දැක මුදා මස්වැදැල්ල දුටුයේය. එය දුටු තවුසාට මෙසේ සිතිණ. ‘දරු ගැබක් විය හැක. එසේ වුවද දුගඳක් කුණු බවක් නැත’යි අසපුවට ගෙන ගොස් පිරිසිදු තැනෙක තැබුයේය. ඉක්බිති අඩ මසකින් මස්වැදලි දෙකක් වූහ. තාපසයා එය දැක ඉතා මැනවින් තැන්පත් කළේය. නැවත අඩමසක් ගිය තැන්හී එකී එකී පේශියෙහි අත් පා හිස් පිණිස පස පස බැගින් පේශීහු නැගියාහුය. ඉක්බිති ඉන් අඩමසක් ඇවෑමෙන් එක් මස් වැදැල්ලක් ස්වර්ණ බිම්බයක් වැනි දරුවෙක් විය. අනික දැරියක් වූවාය.
ඔවුන් කෙරෙහි තවුසාට පුත්‍ර සෙනෙහස පහළ විය. යළි ඔහුගේ මාපටඇගිල්ලෙන් කිරි උපන. එතැන් පටන් කිරි හා බත් ද ලැබිණ. තාපසයා බත් වළඳා, කිරි දරුවන්ට පොවයි. ඔවුන්ගේ උදරයට යමක් යමක් පිවිසේද ඒ ඒ සියල්ල වීදුරු බඳුන්ගත වූවා සේ පෙනෙයි. මෙසේ නිඡවි වූයේයි. වෙනත් ආචාර්ය කෙනෙක් (මෙසේ) කීහ. වියා තබන ලද්දාක් මෙන් ඔවුන්ගේ එකිනෙක වැළඳගත් සිවිය වූවාය. මෙසේ ඔව්හූ අපගත ඡවි ඇති බැවින් මෙම හෝ වැළඳගත් ඡවි ඇති බැවින් ‘ලිච්ඡවී” යයි ප්‍රසිද්ධ වූහ.
තවුස්තෙම දරුවන් පෝෂණය කරන්නේ හිරු නැගි කල්හි ගමෙහි පිඬු පිණිස හැසිරේ. ඉතා දහවල්ව (ගමින්) නික්මෙයි. ඔහුගේ ඒ හැසිරීම් පිළිවෙළ දත් ගෝපාලකයෝ කීහ. ස්වාමීනි! පැවිද්දන්ට දරුවන් පෝෂණය කිරීම පලිබෝධ සහිතය. දරුවන්. අපට දෙනු මැනවි. අපි පෝෂණය කරන්නෙමු. නුඹවහන්සේ තපස්කම් කළ මැනව. තවුසා මැනවැයි පිළිගත්ය. ගොපල්ලෝ දෙවන දවස් මග සමතලා කොට, මල් විසුරුවා, ධජ පතාක ඔසවා තුර්ය වාදනයෙන් යුක්තව ආශ්‍රමයට ආවාහුය. තවුස් තෙම මොව්හු මහා පින්වත් දරුවෝය. අප්‍රමාදයෙන් වර්ධනය කරවු. හොඳින් වඩා ඔවුනොවුන් ආවාහ කරවු. පස්ගෝරසයෙන් රජු සතුටට පත්කොට සුදුසු බිමක් ගෙන නුවරක් කරවු. එහි කුමාරයා අභිෂේක කරවු යයි (ගොපල්ලන්ට) කියා දරුවන් දුන්නේය. ඔව්හූ මැනවැයි පිළිගෙන දරුවන් ගෙනගොස් පෝෂණය කළහ.
දරුවෝ වැඩීමට පැමිණ ක්‍රීඩා කරන්නාහු, යම් යම් ප්‍රශ්නවල දී අනෙක් ගොපලු දරුවන්ට අතින් ද පයින් ද පහර දෙති. ඔව්හූ හඬති. හඬන්නේ මන්දැයි දෙමාපියන් විචාල කල්හි මේ මව්පියන් නැති තවුසා හැදු වැඩු (ළමයින්) අපට පහර දෙතී යි කියත්. ඉක්බිති ඔවුන්ගේ මව්පියෝ ‘මේ අනුන්ගේ දරුවෝ ය. අපේ දරුවන් පිටස්තර දරුවන්ගෙන් විනාශයට පත්වෙතියි දුවෙති. මොවුන්ට සංග්‍රහ නොකළ යුතුය. මොවුන් වර්ජනය කළ යුතුයයි’ කීවාහුය. එතැන් පටන් යොදුන් සියයක් පමණ වූ ඒ පෙදෙස ‘වජ්ජි’ යයි කියයි.
ඉක්බිති ගොපල්ලෝ ඒ ප්‍රදේශය රජුන් සතුටට පත්කොට ලබාගත්හ. එහි නුවරක් කරවා සොළොස් වයස් වූ කුමරු අභිෂේක කරවා, රජ කළහ. එම වයම්සේ වූ දැරිය සමග විවාහ කොට, ‘බැහැරින් දැරියක් නො කැඳවන ලෙසට ද, මෙයින් දැරියක් කිසිවෙකුට පිටතට නොදෙන ලෙසට ද සම්මත කළහ. ඔවුන්ගේ පළමු සංවාසයෙන් දුවක් ද පුතෙක්දැයි දරුවෝ දෙදෙනෙක් වූහ. මෙසේ සොළොස්වරක් දෙදෙනා බැගින් උපන්නහ. ඉක්බිති අනුක්‍රමයෙන් වැඩෙන්නා වූ, (දරුවන්ට අවශ්‍ය) පිරිවර සම්පතට අවශ්‍ය ආරාම උයන් ගෙවතු නිවාස ආදිය සැපයීමට තුන්වරක් ගව්වෙන් ගව්ව පුළුල් (විශාල) කළාහ. නැවත නැවතත් විශාල වන බැවින් වෙසාලි’ යයි නම් විය. එයින් කියන ලදී. වෙසාලියං යනු එනම් නගරයයි.
බහිනගරෙ නගරයෙන් පිටත, අම්බපාලි වනය මෙන් ඇතුළු නගරයෙහි නොවේ. මෙය වූ කලී ජීවක අඹ වනය මෙන් නගරයෙන් පිටත වූ වනලැහැබෙකි. එහෙයින් කීහ. බහිනගරෙකි පිටත නගරය, අවරපුරෙ පුරයේ අවරයෙහි, බටහිර දිසාවෙහි යන අර්ථයි. වනසණ්ඩෙ ඒ වනලැහැබ නගරයෙන් බටහිර දිසාවේ ගව්වක් පමණ දුරිනි. එහි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේට ගඳකිළියක් කොට එය පිරිවරා භික්‍ෂූන් සඳහා රාත්‍රිස්ථාන, දිවාස්ථාන, සක්මන්මළු, ලෙන්, කුටි, මණ්ඩප ආදිය ඉදිකළහ. භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරන සේක. අවරපුරෙ වනසණ්ඩෙ යන්න එහෙයින් කියන ලදී.
සුනක්ඛත්තො යනු ඔහුගේ නමයි. ලිච්ඡවි රජුගේ පුත්‍ර වූ බැවින් ලිච්ඡවි පුත්තො යි කියයි. අචිරපක්කන්තො සිවුරු හැර ගිහි බවට පැමිණීමෙන් අලුත නික්ම ගියේ, පරිසති, පිරිස් මැද, උත්තරි මනුස්ස ධම්මා මෙහි මනුෂ්‍ය ධර්ම නම් දශකුසල කර්මපථයෝය. එය වැලැක්වීමට ප්‍රතික්‍ෂේප කිරීමට නො හැක්කේය. කවර හෙයින් ද? දෝෂාරෝපණ බියෙනි. විසාලා නුවර බොහෝ මිනිස්සු රත්නත්‍රයෙහි පැහැදුනේ බුදුන් කෙරෙහි මමත්වය, සඟුන් කෙරෙහි මමත්වය, ඇත්තාහුය. ඔව්හූ දශකුශල මාත්‍රයකුදු ශ්‍රමණ ගෞතමයන්ට නැතැයි කී කල්හි, ඔබ කොතැන්හිදී භාග්‍යවත්හු සතුන්ගේ දිවි තොරකරනු දුටුවෙහිද? නුදුන් දෙය ගන්නා වූ භාග්‍යවතුන් කොතැනදී දුටුවෙහිද? ආදිය කියා, තමාගේ පමණ නො දන්නෙහි? කිම මට දත් ඇත්තේ යයි කියා ගල්බොරළු කන්නෙහිද? සර්පයකුගේ නගුට කසන්නට වෑයම් කරයිද? කියති. දත්වල මල්දමක් යයි සිතා ක්‍රීඩා කරන්නට කැමැත්තෙහිද? ඔබගේ කටින් දත් හෙලන්නෙමු යයි කියන්නාහුය. දෝෂාරෝපණ භීතියෙන් මෙසේ කියන්නට ඔහුට නොහැකි වෙයි.