සීහනාද වර්ගය
චුළසීහනාද සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං යනු චූලසීහනාද සූත්‍රයයි. යම් හෙයකින් මෙම සුත්‍ර ධර්මය දේශනා කිරීමට හේතුකාරකයක් වී ද? එම හේතුකාරකය දක්වමින්ම සූත්‍රයාගේ පෙර විස්තර නොකළ අපුර්ව පදයන්ගේ අර්ථ වර්ණනාව කරන්නෙමු. කවර හෙයකින් මෙම සූත්‍රය වදාරන ලද්දේද යත්? ලාභ සත්කාර ප්‍රත්‍යයෙන් තීර්ථකයන්ගේ විලාප කීම හේතුවෙන් වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේට වනාහී ‘ධම්ම දායාද’ සූත්‍රයේ කී පරිද්දෙන් මහත් වූ ලාභසත්කාර උපන. මේ ලෝක සත්ත්ව තෙම සතරාකාර (සතර ප්‍රමාණික) වේ. රූප ප්‍රමාණ වූවෝ රූපයෙහි ප්‍රසන්නය හ. ඝෝෂ ප්‍රමාණ වූවෝ ඝෝෂයෙහි (ශබ්දයෙහි) ප්‍රසන්නය හ. ධර්ම ප්‍රමාණ වූවෝ ධර්මයෙහි ප්‍රසන්නයහ. රළු බවෙහි රූක්‍ෂ ප්‍රමාණ වූවෝ රළු බවෙහි (රූක්ෂ ප්‍රතිපදාවෙහි) ප්‍රසන්නයහ.
පුද්ගලයන් වශයෙන් මොවුහු සතර පරිද්දෙකින් සිටීම ඔවුන්ගේ නානත්වයයි. රූපප්‍රමාණ වූ රූපයෙහි පහදිනෝ නම් කවරහුද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආරෝහ පරිණාහ තත්ත්වය (රූ සපුව) දැක පහදින්නෝය. මේ පුද්ගල තෙම රූප ප්‍රමාණ වූ රූප ප්‍රසන්න පුද්ගලයා යයි කියනු ලැබේ.
ඝෝෂ ප්‍රමාණ වූ සෝෂ ප්‍රසන්න පුද්ගලතෙම කවරේද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අන් අයගේ වර්ණනාවෙන්, අන් අයගේ ස්තුතියෙන්, අන් අයගේ ප්‍රශංසාවෙන්, අන් අයගේ වර්ණහාරිත්වයෙන්, එහි ප්‍රමාණය ගෙන ප්‍රසාදය උපදවති. මෙතෙම සෝෂ ප්‍රමාණ වූ ඝෝෂ ප්‍රසන්න පුද්ගලයා යයි කියනු ලැබේ.
රූක්‍ෂප්‍රමාණ වූ රූක්‍ෂ ප්‍රසන්න පුද්ගලයා කවරේද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිවුරෙහි රළු බව දැක හෝ පාත්‍රයෙහි ගොරහැඩි බව දැක හෝ, සෙනසුන්වල කටුක බව දැක හෝ විවිධ වූ දුෂ්කර ක්‍රියාවන් දැක හෝ, ප්‍රසාදය උපදවති. මේතෙමේ රූක්‍ෂ ප්‍රමාණ වූ රූක්‍ෂ ප්‍රසන්න පුද්ගලයා යයි කියනු ලැබේ.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ධර්මප්‍රමාණ වූ ධර්මප්‍රසන්න පුද්ගල තෙම කවරේද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය හෝ දැක, සමාධිය හෝ දැක, ප්‍රඥාව හෝ දැක එහි ප්‍රමාණය ගෙන ප්‍රසාදය උපදවති. මේ තෙමේ ධර්මප්‍රමාණ වූ ධර්මප‍්‍රසන්න පුද්ගලයා යයි කියනු ලැබේ.
මේ පුද්ගලයන් සතරදෙනා අතුරෙන් රූපප්‍රමාණ පුද්ගලයා වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ආරෝහ පරිණාහ යුක්ත වූ, පරිපූර්ණ වූ වර්ණ සෞන්දර්යය ඇති, අසූ අනු ව්‍යඤ්ජනයන්ගෙන් පිරිපුන් බැවින්, විවිධ වර්ණයන්ගෙන් විසිතුරු වූ, රන්පටක් වැනි දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ගැවසීගත් බැවින්, තාරකා සමූහයෙන් බබළන අහස්තලය වැනි, සියළුතැන්හි හාත්පස හටගත් මල් ඇති, සියක්යොදුන් පරසතු රුක් වැනි වූ, අටළොස් රියන් උස් වූ, ශරීරය වටා වූ ව්‍යාමප්‍රභා මාලාවෙන් අලංකාර වූ අනූපම වූ ශරීරය දැක සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහිම ප්‍රසන්න වෙයි. පහදියි.
ඝෝෂය පමණ කොටගෙන ප්‍රසන්න වන්නා ද ‘භාග්‍යවතුන් වහන්සේ විසින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට අධික කාලයක් දශ පාරමීහූ, දශ උපපාරමීහූ, දශ පරමත්‍ථ පාරමීහූ පුරන ලද්දාහු ය. අඟ පසඟ පරිත්‍යාගය. අඹුදරු පරිත්‍යාගය, රාජ්‍ය පරිත්‍යාගය, ආත්ම පරිත්‍යාගය, දෑස් පරිත්‍යාගය ද කරන ලද්දේය.’ යනාදී වශයෙන් පවත්නා වූ ගුණසෝෂය (ගුණරාවය) අසා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි ම පහදියි.
රූක්‍ෂ ප්‍රතිපත්ති පමණ කොටගෙන ප්‍රසන්න වන්නා ද භාග්‍යවතුන් වහන්සේ ගේ චීවරයෙහි රළු බව දැක, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ගිහිගෙයි වාසය කළේ නම් කසීසළු ම දරන්නාහු ය. එතකුදු වුවත් පැවිදි වී ඝණ පාංශුකූල සිවුරෙන් ම සතුටු වන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර වූවක්ම කරන ලදැයි සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහිම පහදියි. පාත්‍රයෙහි ගොරහැඩි බව දැක මුන්වහන්සේ ගිහිගෙයි වාසය කළේ නම් උතුම් වූ රත්රන් බඳුන්හි සක්විති රජෙකුගේ භෝජනයට සුදුසු වූ සුවඳහැල් සහලේ භෝජනයම වළඳන ලද. එතකුදු වුවත් පැවිදිව සෙල්මුවා පාත්‍රයක් ගෙන උසස් පහත් කුලදොර සපදානයෙන් පිඬු පිණිස හැසිර ලත් පිණ්ඩපාත ආහාරයෙන් ම සතුටුවෙමින් දුෂ්කර වූවක්ම කෙරෙති’යි සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහි ම පහදියි. සෙනස්නෙහි රූක්‍ෂ බව දැක මෙ තෙමේ ගිහිගෙයි වසත් නම් තුන් සෘතූන්ට සුදුසු වූ තුන් පහයෙක්හි ත්‍රිවිධ නළුනිළියන් පිරිවරකොට ඇතිව දිවසැපක් මෙන් රජසැප විඳියි. දැන් පැවිදි වූවාහු රුක්මුල් සෙනසුන් ආදියෙහි දැවපුවරු, ගල්තල, විදල් මැසි ආදියෙහි සැතපෙමින් දුෂ්කර වූවක්ම කරතියි සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහිම පහදියි. උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා දැක ද සාවුරුද්දක් මං යුස, කොල්ලු යුස, කලත් යුස ආදීන්ගේ අඩපතක් අඩපතක් පමණකින් යැපුනේය. අප්‍රාණික ධ්‍යානයෙන් ධ්‍යාන කළේය. පුදුමයෙකි. ආශ්චර්යය. භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා ඇතිසේකැයි සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහිම පහදියි.
ධර්මය ප්‍රමාණකොට ඇත්තේ ද භාග්‍යවතුන් වහන්සේ ගේ ශීල ගුණය සමාධි ගුණය ද ප්‍රඥා ගුණය ද ධ්‍යාන විමෝක්‍ෂ සමාපත්ති සම්පත්තිය ද, අභිඥාවන්ගේ පාරිපූරිත්වය ද යමක මහා ප්‍රාතිහාර්යය ද, දේවාවරෝහණය ද, පාටියපුත්‍ර දමනාදිය ද, යන නොයෙක් ආශ්චර්යයන් දැක සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහි ම පහදියි. ඔව්හු මෙසේ ප්‍රසන්න වූවාහු භාග්‍යවතුන් වහන්සේට මහත් වූ සත්කාර එලවති. තීර්ථකයන්ට වනාහි බාවෙරු ජාතකයෙහි කවුඩාට මෙන් ලාභ සත්කාරයෙහි පිරිහුනේ යි. වදාළේ මය -
අදස්සනෙන මොරස්ස - සිඛිනො මඤ්ජු භාණිනො
කාකං තත්‍ථ අපූජෙසුං - මංසෙන ච ඵලෙනච
යදා ච සර සම්පන්නො - මොරො බාවෙරු මාගමා
අථ ලා හො ච සක්කාරො - වායසස්ස අභායථ
යාව නූප්පජ්ජතී බුද්ධො - ධම්මරාජා පභංකරො
අථ අඤ්ඤෙ අපූජෙසුං - පුථු සමණ බ්‍රාහ්මණෙ
යදා ච සර සම්පන්තො - බුද්ධො ධම්මං අදෙසයී
අථ ලාභොච සක්කාරො - තිත්‍ථියානං අභායථා
ශිඛායෙන් යුක්ත වූ මියුරු හඬ ඇති මොනරාගේ නොදැක්මෙන් බාවේරු රට ජනයෝ එහි විසූ කපුටෙකුට මාංසයෙන් ද නන්වැදෑරුම් ඵලයෙන් ද පිදූහ.
නැවත යම් කලෙක මිහිරි හඬින් යුක්ත වූ මොනර තෙමේ බාවේරු රටට ආයේද? එකල්හි කවුඩාගේ ලාභය ද සත්කාරය ද පිරිහුනේය.
ධර්මරාජන් වූ පභංකර වූ බුදුන්වහන්සේ යම්තාක් පහළ නොවන සේක් ද ඒ තාක් අන්‍ය වූ බොහෝ මහණ බමුණන් පිදූහ.
නැවත යම් කලෙක බ්‍රහ්මස්වරයෙන් යුත් බුදුන් වහන්සේ සිව්සස් දහම් වදාළ සේක් ද? එකල්හී තීර්ථකයන්ගේ ලාභය ද සත්කාරය ද පිරිහුණේ ය.
මෙසේ ලාභ සත්කාරයෙන් පිරිහුණු ඔවුහු, රාත්‍රියෙහි අඟලක් දෙකක් පමණ ආලෝක කොට ද හිරු නැගෙනකල්හි කලාමැදිරියන් මෙන් නටුවා වූ ප්‍රභා ඇත්තාහු වූහ.
යථාහි ඛජ්ජුපනකා - කාලපක්ඛම්හි රත්තියා
නිදස්සයන්ති ඕභාසං - එතෙසං විසයො භිසො