අට්ඨපරිසවණ්ණනා
අථ ඛො ඉමෙ සාරිපුත්ත මෙය කුමක් සඳහා ආරම්භ කළේද? වෛසාරද්‍ය ඥානයාගේ බලය දැක්වීම පිණිසය. යම් සේ වියත් පිරිසක් මැදට පැමිණි උගතුන්ගේ සිත් ගැනීමෙහි සමත් වූ කථාවෙන් ධර්ම කථිකයාගේ දක්‍ෂතාවය පෙනේද? මෙසේ මෙම අට පිරිස කරා පැමිණ වෛශාරද්‍ය ඥානයාගේ විශාරද බව දැකගන්නට හැකිවේනුයි වෛශාරද්‍ය ඤාණයාගේ බලය දක්වන සේක් අට්ඨ ඛො මො සාරිපුත්තා යනාදිය වදාළහ.
එහි ඛත්තිය පුරිසා ක්‍ෂත්‍රියයන් රැස්ව හුන් තැන සෑම තන්හිම මෙම ක්‍රමයමැයි. මාරකායික දෙවියන් රැස්ව හුන් තැන, මාරපරිසා යයි දතයුතුය. මාරයන් නොවේ. තව ද මේ සියලු පිරිස්ම උග්‍ර වූ ස්ථානයක් දැක්වීම් වශයෙන් ගන්නා ලදී. මිනිස්සු මෙහි රජතුමා හුන්නේයයි ප්‍රකෘති වචනය පවා කියන්නට නොහැකි වෙයි. දෙකිසිල්ලෙන් දහදිය වැගිරෙත්. මෙසේ ක්‍ෂත්‍රිය පිරිස උගයි. බමුණෝ ත්‍රිවේදයෙහි දක්‍ෂයෝ වෙති. ගෘහපතියෝ විවිධ ව්‍යවහාරයන්හි ද, අක්‍ෂර චින්තාවෙහි ද (දක්‍ෂ) වෙති. ශ්‍රමණයෝ ස්වවාද හා පරවාදයන්හි දක්‍ෂ වෙති. ඔවුන් මැද ධර්මදේශනා කිරීම නම් ඉතා බැරෑරුම්ය. අමනුෂ්‍යයෝ ද බොහෝ වෙති. අමනුෂ්‍යයන් යයි කී ඇසිල්ලෙහිම සියලු සිරුරු කම්පා වෙයි. ඔහුගේ රූපය දැක හෝ ශබ්දය අසා හෝ සත්ත්වයෝ සිහි නැතිවෙත්. මෙසේ අමනුෂ්‍ය පිරිසද බොහෝ විය. ඒ පිරිස මැද ධර්මදේශනය ද ඉතා බැරෑරුම්ය. මෙසේ උග්‍ර වූ ස්ථාන දැක්වීම් වශයෙන් ඒ පිරිස් ගත්තේ යයි දතයුතු.
අජ්ඣොගාහති ඇතුළත පිවිසෙයි. අනෙකසතං ඛත්තිය පරිසං බිම්බිසාර සමාගම, ඤාති සමාගම, ලිච්ඡවි සමාගම සමාන වූ (සමාගම්) අන් සක්වළද ලැබේ. කිමෙක්ද භාග්‍යවතුන් වහන්සේ අන් සක්වළ වලටත් යන සේක්ද, එසේය යති. කෙබඳුවද, ඔවුහු යම්බඳු වූයේද එබඳුවම යත්. එහෙයින් වදාළහ. මම යම්කිසි සියගණන් ක්‍ෂත්‍රිය පිරිස් කරා එළඹුන බව දනිමි. එහි ඔවුන්ගේ යම්බඳු වර්ණයක් වීද මාගේ ද එබඳු වූ වර්ණයම වෙයි. ඔවුන්ගේ යම්කිසි ස්වරයක් වේද මාගේ ද එබඳුම ස්වරය වෙයි. දැහැමි කථාවෙන් දක්වමි. -පෙ- සතුටු කරවමි. කථා කරන්නා වූ මා (හා) කවරෙක් කථා කෙරේද දෙවියෙක් හෝ මිනිසෙක් හෝ දැයි නො දනිති. යළි දැහැමි කථාවෙන් කරුණු දක්වා -පෙ- සතුටු කරවා අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා මේ කවරෙක් අතුරුදහන් වූයේද දෙවියෙක් හෝ මිනිසෙක්දැයි නොදනිත්.
ක්‍ෂත්‍රියයෝ වළලු අඟු පළඳනා මල් ගඳ ආදියෙන් සැරසුණාහූ විවිධ වර්ණ වස්ත්‍ර ඇත්තාහු පළන් මිණිකොඬොල් ඇත්තාහූ මුහුළු දරන්නාහු වෙති. කිම භාග්‍යවතුන් වහන්සේ ද එපරිද්දෙන් සැරසෙත්ද? තව ද ඔවුහූ සුදු වූවාහු කළු වූවාහු වගුරුවන් සිවි ඇත්තාහු වෙති. කිම ශාස්තෲන් වහන්සේත් එබඳු වෙත්ද? ශාස්තෲන් වහන්සේ තමන්ගේ පැවිදි වෙසින්ම වඩියි. එසේ වුවත් ඔවුන්ට එබඳුම වැටහෙත්. ගොස් රාජාසනයෙහි හුන්නාහු තමන් දක්වති. ඔවුන්ට අපේ රජ්ජුරුවෝ වෙසෙසින් බබළතියි සිත්වෙයි. ඔව්හූ සිඳුණු ස්වර ඇත්තාහු බැඳුණු ස්වර ඇත්තාහු කාක ස්වර ඇත්තාහු වෙති. තථාගතයෝ බ්‍රහ්ම ස්වරයෙන්ම බණ වදාරති. තාදිසකො මය්හං ඝරො මෙය වනාහි භාෂාන්තරය සඳහා කියන ලදී. මිනිස්සු ඒ අසා අද රජතුමා මිහිරි හඬින් කථා කරතියි සිතයි. තව ද භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ආපසු නික්මගිය කල්හි, යළි ආවා වූ රජු දැක මොහු කවරෙක්දැයි විමති උපදියි.