දසබලඤාණාදිවණ්ණනා
මෙහි කිවයුත්තක් ඇත. චේතෝපරියාය ඤාණයට අනතුරුව ත්‍රිවිද්‍යාවෝ කිවයුතුය. එසේ වුවත් ත්‍රිවිද්‍යාවන් කී කල්හී මත්තෙහි තථාගත බල ඤාණය (දසබල ඤාණය) නො පිරේද, එහෙයින් ඔවුන් නො දක්වා තථාගත බල ඤාණයම උසස්කොට දක්වන සේක්, දස ඛො පනිමානි සාරිපුත්තානි ආදිය කීහ. එහි තථාගත බලානි අන්‍යයන්ට අසාධාරණ වූ තථාගතයන්ටම සමාන වූ බලයෝ, පෙර බුදුවරුන්ගේ බලයෝ, පින් බලයෙන්ම පැමිණියාහු වෙති යන අර්ථයි.
එහි තථාගතයන්ගේ බලය දෙපරිදි වේ. කාය බලය හා ඤාණ බලය වශයෙනි. ඒ අතුරෙන් කාය බලය ඇත් කුල අනුසාරයෙන් ම ම දතයුතුයි. පැරැන්නන් විසින් මෙසේ කියා ඇත.
කාලාවකඤ්ච ගංගෙය්‍යං - පණ්ඩරං තම්බ පිංගලං
ගන්‍ධ මංගල හෙමඤ්ච - උපොසථ ඡද්දන්ති මෙ දසා ති
මොවුහු දස ඇත් කුලයෝ ය. එහි කාලාවක නම් නිතර පෙනෙන (ප්‍රකෘති) ඇත් කුලයයි. පුරුෂයන් දස දෙනකුගේ ශක්තිය එක් කාලාවක ඇතෙකු ඇත. කාලාවක ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය එක් ගංගෙය්‍ය ඇතෙකුට වේ. ගංගෙය්‍ය ඇතුන් දස දෙනකුගේ ශක්තිය එක් පණ්ඩර ඇතෙකුට වේ. පණ්ඩර ඇතුන් දස දෙනකුගේ ශක්තිය තම්බ හස්තියෙකුට වේ. තම්බ හස්තීන් දසදෙනකුගේ බලය එක් පිංගල හස්තියෙකුට ඇත. පිංගල ඇතුන් දස දෙනකුගේ බලය ගන්‍ධ කුලයේ එක් හස්තියෙකුට ඇත. ගන්‍ධ කුලයේ ඇතුන් දස දෙනෙකුගේ බලය මංගල කුලයේ එක් හස්තියෙකුට ඇත. මංගල කුලයේ ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය හේම කුලයේ එක් ඇතෙකුට තිබේ. හේම කුලයේ ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය උපෝසථ කුලයේ එක් ඇතෙකුට ඇත. උපෝසථ කුලයේ ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඡද්දන්ත කුලයේ එක් ඇතෙකුට ඇත. ඡද්දන්ත කුලයේ ඇතුන් දස දෙනෙකුට යම් බලයක් වේ නම් එය එක් තථාගතවරයකුගේ කාය බලයට සමාන වේ. මෙය නාරායන සංඝාත බලය යයි ද කියනු ලැබේ. කාලාවක කුලය ද, ගංගෙය්‍ය කුලය ද, පණ්ඩර කුලය ද තම්බ හා පිංගල කුලය ද, ගන්‍ධ කුලය, මංගල කුලය, හේම කුලය යන මොවුහුද උපෝසථ කුලය හා ඡද්දන්ත කුලය යන මොව්හු දස ඇත්කුලයෝ වෙති. ඒ මේ බලය කෙළ දහසක් ප්‍රකෘති ඇතුන්ගේ ද, දස කෙළ දහසක් මිනිසුන්ගේ ද බලයට සමාන බලයක් වේ. ඒ තථාගත කාය බලයයි.
ඥාන බලය වනාහි පෙළෙහි ආ පරිද්දෙනි. සිව් වැදෑරුම් විශාරද නුවණ, අටපිරිස්හි කම්පා නොවන නුවණ, සිව් යෝනීන් පිළිබඳ පිරිසිඳි නුවණ, පංච ගති පිළිබඳ පිරිසිඳි නුවණ, සංයුත්තයෙහි ආවා වූ තෙ සැත්තෑ නුවණ, සත් සත්තෑ නුවණ සහ අනෙක් දහස් ගණන් ඥානයෝ මේ ඤාණ බලය ම වේ. මෙම ඤාණ අකම්පියාර්ථයෙන් ද, උපස්ථම්භාර්ථයෙන් ද, බලය මැයි කියන ලදී.
යෙහි බලෙහි සමන්නාගතො යම් ඥාන බල දසයකින් යුක්ත වූයේ, මැනවින් යුක්ත වුයේ අසභංඨානං ශ්‍රේෂ්ඨ ස්ථානය, උත්තම ස්ථානය නොහොත් ආසභයෝ පූර්ව බුදුවරයෝමය. ඔවුන්ගේ ස්ථානය යන අර්ථයි. තව ද ගවයන් සියයකට ජ්‍යෙෂ්ඨ වූයේ, ‘උසභ’ නම් ය. ගවයන් දහසකට ජ්‍යෙෂ්ඨ වූයේ ‘වසභ’ නම් වේ. සියළු ගවයන්ට ශ්‍රේෂ්ඨ වූ, සියළු උවදුරු ඉවසන සුදු වූ ප්‍රසාද උපදවන, සියළු බර උසුලන හෙන හඬකින් වුවද කම්පා නොවන්නේ ‘නිසභ’ නම් වේ. හෙතෙම (නිසභයා) මෙහි උසභ යන්නෙන් අදහස් කරන ලදී. මෙය වනාහි ඔහුට පරියාය වචනයකි. ‘උසභස්ස ඉදං’ උසභයාගේ මෙයනුයි ආසභ නම් වේ. ඨානං යනු සතර පයින් පෘථුවිය වෙළා සිටීමය. මේ සිටීම වනාහි ආසභට්ඨානය වැනිනුයි, ආසභ නම් වේ. යම් සේ නිසභ සංඛ්‍යාත උසභ තෙම, වෘෂභ බලයෙන් යුක්ත වූයේ සතර පාදයන්ගෙන් පෘථුවිය පෙළා නිශ්චල භාවයෙන්ම සිටීද, එපරිද්දෙන් තථාගතයන් වහන්සේ ද දශවිධ තථාගත බලයෙන් යුක්ත වූයේ, චතුර් වෛශාරද්‍යය නමැති කකුල් සතරින් අට පිරිස නමැති පෘථුවිය පෙළා දෙවියන් සහිත ලෝකයෙහි, කිසියම් සතුරෙකු විසින් හෝ පසමිතුරෙකු විසින් කම්පා නොවූයේ නොසෙල්වී ස්ථාවරව සිටින සේක. මෙසේ සිටින්නේම ඒ ආසභට්ඨානය ප්‍රතිඥා කෙරෙති. එළඹෙයි. ප්‍රතික්‍ෂේප නො කරයි. තමන්වහන්සේ කෙරෙහි ආරෝපණය කෙරෙත්. එහෙයින් කියන ලදී. ආසභං ඨානං පටිජානාති
පරියාසු අටපිරිස්හී සීහනාදං නදති ශ්‍රේෂ්ඨ නාදය අභීත නාදය නගයි. සිංහනාදය සමාන වූ නාදය නගයි. මේ අර්ථය සීහනාද සූත්‍රයෙන් දැක්විය යුත්තේය. සිංහතෙම (සිවලුන් වැනි ලාමක සතුන්ගේ සහනයෙන් ද (ඇතුන් ආදී සතුන්) විනාශ කිරීමෙන් ද සිංහ වේ. තථාගතයන් වහන්සේ ලෝක ධර්මයන්ගේ ඉවසීමෙන් ද පරප්‍රවාදයන් (විරුද්ධ වාදයන්) නසන හෙයින් ද, ‘සිංහ’ යයි කියනු ලැබේ. මෙසේ කියන ලද සිංහයාගේ නාදය සිංහනාද නම් වේ. එහි යම් සේ සිංහ තෙමේ සිංහ බලයෙන් යුක්ත වූයේ, සියළු තන්හි විශාරද වූයේ, පහ වූ මයිල් කෙලින් වීම් ඇත්තේ, ‘රෝමහර්ෂ’ ඇත්තේ සිංහනාදය නගයි. මෙසේ තථාගත සිංහයාද තථාගත බලයෙන් යුක්ත වූයේ, අටපිරිස්හී විශාරද වූයේ, පහ වූ රෝමහර්ෂ ඇත්තේ, ‘ඉති රූපං’ ආදී ක්‍රමයෙන් නානාවිධ දේශනා විලාස සම්පන්න වූ, සිංහනාදය නගයි. පරිසාසු සීහනාදං නදති යනු එහෙයින් කියන ලදී.
බ්‍රහ්මචක්කං පවත්තෙතීති, මෙහි බ්‍රහ්මං යනු ශ්‍රේෂ්ඨය. උත්තමය. විශිෂ්ටය යන අර්ථයි. චක්ක ශබ්දය වනාහී, -
සම්පත්තියං ලක්ඛණෙච රථංගෙ ඉරියාපථෙ
දානෙ රතන ධම්මූර චක්කාසු ච දිස්සති,
ධම්මචක්කෙ ඉධ මතො තඤ්ච දෙවාධා විභාවයෙ
සම්පත්තියෙහි ද, ලක්‍ෂණියෙහි ද, රථ අවයවයෙහි ද, ඉරියව්වෙහි ද, දානයෙහි ද, රතන චක්‍ර, ධර්ම චක්‍ර, උර චක්‍ර යනාදී තැන්වල ද චක්‍ර ශබ්දය දක්නට ලැබේ. මෙහි ධර්ම චක්‍රයෙහි දන්නා ලදී. එය ද දෙපරිද්දෙකින් දක්වන්නේ ය.
චත්තාරිමානි භික්ඛවෙ චක්කානි යෙහි සමන්නාගතානං දෙවමනුස්සානං ආදියෙහි සම්පත්තියෙහි දක්නා ලැබේ. පාදතලෙසු චක්කානි ජාතානි මෙහි ලක්‍ෂණයෙහිය. චක්කංව වහතො පදං මෙහි රථංගයෙහිය. චතුචක්කං නවද්වාරං මෙහි ඉරියව්වෙහිය. දද භූඤ්ජ ච මාව පමාදො චක්කං වත්තය සබ්බපාණිනං එහි දීමෙහි ය. දිබ්බං චක්කරතනං පාතුරහොසි - එහි රුවන් සක්හි ය. මයා පවත්තිතං චක්කං යන තන්හි දම්සක් හිය. ඉච්ඡා හතස්ස පොසස්‍ය චක්කං භවති මත්‍ථකෙ මෙහි උර චක්‍රයෙහිය. ඛුර පරියන්තෙන චෙපි චක්කෙන යන මෙහි ප්‍රහරණ චක්‍රයෙහිය. අසනි විය චක්කන්ති මෙහි අසනි (හෙණ) මණ්ඩලයෙහිය. මෙහි වනාහි ධර්ම චක්‍රයෙහිම දන්නා ලදී.
ඒ ධර්ම චක්‍රය දෙපරිදි වෙයි. ප්‍රතිවේධ ඤාණයද, දේශනා ඤාණයද කියායි. එහි තමන්ගේ ආර්යඵලය ප්‍රකට වන්නා වූ ප්‍රඥාවෙන් උපදවන ලද්දේ ප්‍රතිවේධ ඤාණයයි. ශ්‍රාවකයන්ගේ ආර්යඵලය ප්‍රකට කරන්නා වූ කරුණාවෙන් උපදවන ලද්දේ දේශනා ඤාණයයි. එහි ප්‍රතිවේධ ඤාණය උපදිමින් පවතින්නේය. උපන්නේ යයි, දෙආකාර වේ. ඒ ප්‍රතිවේධ ඤාණය අභිනිෂ්ක්‍රමණයෙහි පටන් අරහත් මග තෙක් උපදිමින් පවත්නේයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නම් වෙයි. තුසිත භවනයෙහි පටන් මහාබෝධි පර්යංකයෙහි රහත් මග තෙක් උපදිමින් පවත්නේ වෙයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නම් වෙයි. දේශනා ඤාණය ද පැවතෙමින් සිටියේය. පැවැත්තේ යයි දෙපරිදි වෙයි. එය (දේශනා ඤාණය) අඤඤා කොණ්ඩඤ්ඤ ස්ථවිරයන්ගේ සෝවාන් මග තෙක් පැවැත්වෙමින් සිටියේ වෙයි. සෝවාන් පෙලෙහි පැවැත්තේ නම් වේ. ඔවුන් අතුරෙන් ප්‍රතිවේධ ඤාණය ලෝකෝත්තරය. දේශනා ඤාණය ලෞකිකය. මේ නුවණ දෙකම අන්‍යයන් හා අසාධාරණ වූ, බුදුවරයන්ගේම ළෙහි උපන්නා වූ ඖරස ඤාණයක් වේ.