8. තණ්හා වාරය
තණ්හා වාරයෙහි රූප තණ්හා -පෙ- ධම්ම තණ්හා යනු චක්ඛු ආදි ද්වාරයන් සම්බන්ධව පැවැති තණ්හාවයි. සිටුපුත්ය, බමුණුපුත්ය, යන මේ ආදියෙහි පියා කෙරෙන් ආ නාමය මෙන් පියා වැනි වූ අරමුණ කෙරෙන් ආ නමකි. මෙහිදු රූපය අරමුණුකොට ඇති තණ්හා තොමෝ රූපයෙහි තෘෂ්ණාව වේනුයි රූප තණ්හා නමි. එම රූප තණ්හාව, කාමරාග භාවයෙන් රූපාරම්මණය ආස්වාදනය කරමින් පවත්නී කාමතණ්හා නම් වන්නීය. සස්සත දිට්ඨි, සහගත රාග බැවින් යුතුව රූපය නිත්‍යය, සදාකාලිකය, ශාස්වතයැයි මෙසේ ආස්වාදනය කරමින් පවත්නා වූ තෘෂ්ණාව භවතණ්හා නම් වේ. උච්ඡෙද දිට්ඨි සහගත රාග භාවයෙන් රූපය සිඳෙයි. නැසෙයි. පරලොවක් නොවන්නේ යයි මෙසේ ආස්වාදනය කරමින් පවත්නී විභව තණ්හාව යයි ත්‍රිවිධ වෙයි. රූප තණ්හා තොමෝ යම්සේ ද, ශබ්ද තණ්හා ආදිහුද එසේ වෙති. මේ තෘෂ්ණාවගේ අටලොස් ප්‍රභේදයෝ වෙති. ඒවා අධ්‍යාත්ම රූපාදියේ අටලොසක්ද, බාහිර රූපවල අටලොසක්දැයි සතිසක් ප්‍රභේදයෝ වෙති. මෙසේ අතීතයෙහි සතිසෙකැයි අනාගතයෙහි සතිසෙකැයි වර්තමානයෙහි සතිසෙකැයි එකසිය අටක් ප්‍රභේදයෝ වෙති.
නැතහොත්, අජ්ඣත්තිකස්සුපාදාය අස්මිති සති ඉත්‍ථස්මිති හොති, යන මේ ආදි වූ අධ්‍යාත්මික-රූපාදිය ඇසුරු කළාහු අටලොසෙක, බාහිරස්සුපාදාය ඉමිනා අස්මිති සති ඉමිනා ඉත්‍ථස්මිති හොති යනුවෙන් බාහිර රූපාදිය ඇසුරුකළ අටලොසකැයි සතිසක් මෙනි. මේ නයින් අතීතයෝ සතිසෙකි. අනාගතයෝ සතිසෙක, වර්තමානයේ සතිසෙකැයි මෙසේත්. එකසිය අටක් තෘෂ්ණා ප්‍රභේදයෝ මෙනි.
යලි සංග්‍රහ කරනු ලබන කල්හි රූපාදි ආරම්මණයන්හි සයක්ම තෘෂ්ණා කායයෝද තුනක්ම කාම තණ්හාදීහු වෙත්යයි මෙසේ
නිද්දෙසත්‍ථෙන නිද්දෙස විත්‍ථරා විත්‍ථරස්සච
පුන සංගහතො තණ්හා විඤ්ඤාතබ්බා විභාවිනා
(නිර්දේශාර්ථයෙහි වූ තණ්හා ශබ්දයෙන්, නිර්දේශ විස්තර වශයෙන් ද, විස්තර වූවහුගේත් නැවත සංග්‍රහ වශයෙන් ද, නුවණැත්තහු විසින් තණ්හා තොමෝ දතයුත්තීයි)
වෙදනා සමුදයා, මෙහි වනාහි වෙදනා යනු විපාක වේදනාව අදහස් කරන ලදී. එය සදොර තණ්හාවට කෙසේනම් ප්‍රත්‍යවේද යත්, ආස්වාද කළ යුතු බැවිනි. සැබව, සැප වේදනාවෙහි ආස්වාදනය හේතු කොටගෙන සත්ත්වයෝ එම වේදනාවට මමත්වය කරන්නාහු වේදනාවෙහි තණ්හාව උපදවා සැපවේදනා රාගයෙන් ඇලුනාහු චක්ඛු - ද්වාරයෙහි ඉෂ්ට වූම රූපයක් ප්‍රාර්ථනා කෙරෙති. නැවත ලද්දාහු එය ආස්වාදනය කෙරෙති. සැප ආරම්මණ දායක වූ චිත්තකාර ආදීන්ට සත්කාර කෙරෙති. සෝත ද්වාර ආදියෙහිද එසේමය. ඉෂ්ට වූ ශබ්ද ආදීන් පතත්, ලද්දා වූ ඒ ශබ්දාදීන් ආස්වාදනය කරති. ආලම්බන දායක වූ වීණා වාදකය, සුවඳකරුය, අරක්කැමිය, පෙහෙරුය විවිධ ශිල්ප දක්වන්නවුන් යනාදීන්ට සත්කාර කෙරෙති. කුමක් මෙන්ද යත් පුත් සෙනෙහසින් පුතුට මමත්වය කරන්නහු කිරිමටද යම්සේ සත්කාර කෙරෙත් ද සැප වූ ගිතෙල් කිරි ආදියම ඇයට පොවත් ද වළඳවත් ද, සෙස්ස කී නියායෙන්ම දතයුතුයැ.
9. වෙදනා වාරය
වේදනාවාරයෙහි වෙදනාකායා, වේදනා සමූහයෝ චක්ඛු සම්ඵස්සජා වෙදනා -පෙ- මනො සම්ඵස්සජා වෙදනා යනුවෙන් වූ මෙය චක්ඛුසම්ඵස්සජා වෙදනා, අත්‍ථි කුසලා අත්‍ථි අකුසලා අත්‍ථි අව්‍යාකතා යනුවෙන් විභංගයෙහි ආ බැවින්, චක්ඛු ද්වාර ආදියෙහි පැවැති කුසල-අකුසල-අව්‍යාකත වේදනාවන්ට සාරිපුත්ත, මන්තානිපුත්ත යන මේ ආදි නාමයන්හි, මවු කෙරෙන් ආ නාමය මෙන් මාතෘ සමාන වූ වස්තුවක් කෙරෙන් ආ නාමයකි. මෙහි වචනාර්ථය වනාහි චක්ඛු සම්ඵස්ස හේතුවෙන් උපන් වේදනාව චක්ඛුසම්ඵස්සජා වේදනා නම් වන්නීය. සියලු තන්හි මේ ක්‍රමයයි. මේ පළමුකොට දක්වන ලද්දේ සර්ව සංග්‍රාහිකා කථාය.
විපාක වශයෙන් චක්ෂුර් ද්වාරයෙහි චක්ෂුර් විඥානයෝ දෙදෙනය. මනෝධාතුහු දෙදෙනය. මනෝවිඥාන ධාතූහු තිදෙන යන මොවුන් හා සම්පයුත්ත වශයෙන් (චක්ඛසම්ඵස්ස හේතුවෙන් උපන්) වේදනාව දතයුතුය. සෝත ද්වාරයේද මේ ක්‍රමයමයි. මනෝ ද්වාරයෙහි මනෝ විඥානධාන සම්ප්‍රයුක්ත වූ වේදනාව මැයි.
ඵස්ස සමුදයා යන මෙහි පඤ්ච ද්වාරයෙහි සහජාත චක්ඛු සම්ඵස්සාදීන්ගේ සමුදය හේතුවෙන් පඤ්ච වත්‍ථුක වේදනාවන්ගේ සමුදය වෙයි. අවශේෂ වූවනට චක්ඛු සම්ඵස්සාදීහු උපනිශ්‍රයාදි වශයෙන් ප්‍රත්‍යය වෙති. මනෝද්වාරයෙහි තදාලම්බන වේදනාවන්ගේද අද්වාරික වූ පටිසන්ධි-භවාංග-ච්‍යුති-වේදනාවන්ගේද සහජාත වූ මනෝ සම්ඵස්ස සමුදය හේතුකොටගෙන පහළවීම වේයයි දතයුතුයි. සෙස්ස කී නයමැයි.
10. ඵස්ස වාරය
ඵස්සවාරයෙහි ඇසෙහි ස්පර්ශයයි. සියලු තන්හි මේ ක්‍රමයමැයි. චක්ඛු සම්ඵස්සො -පෙ- කාය සම්ඵස්සො මෙතෙක් කුසලාකුසල වූ පඤ්ච වස්තුක වූ ස්පර්ශයෝ දසදෙන වදාරණ ලද්දාහු වෙති. මනොසම්ඵස්සො යන මේ වචනයෙන් පසු දෙවිසි ලෞකික විපාකයන් හා ඒකෝත්පාද තාදි භාවයෙන් සම්පයුත්ත වූ ස්පර්ශයෝ වදාරණ ලද්දාහුය. නාමරූප සමුදයා යනු චක්ඛු ආයතන ආදී වූ සවැදෑරුම් ආයතනයන්ගේ හටගැනීම හේතුකොටගෙන මේ සවැදෑරුම් වූ ඵස්සයාගේ හටගැනීම වේයයි දතයුතුයි. සෙස්ස කී නය ඇත්තේම වෙයි.