සම්මාදිට්ඨි සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං, සම්මා දිටඨි සූත්‍රයයි. එහි සම්මා දිට්ඨි සම්මා දිට්ඨිති ආවුසො වුච්චති කිත්තාව නුඛො ආවුසොති වා කතමං පනාවුසො අකුසලං යනුවෙන්, මෙසේ තෙරුන් විසින් යම්පමණ ප්‍රශ්න වදාරණ ලද්දාහුද, ඒ සියල්ල කථෙතු කම්‍යතා පුච්ඡාම වෙති.
ඔවුන් අතුරෙහි යම්හෙයකින් දන්නාහුද නොදන්නාහු ද, බාහිරකයෝද, ශාසනිකයෝ ද අනුස්සව ආදින් (පරපුරෙන් ආසන ලද) තමා ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් ද, සම්මා දිට්ඨි යයි කියති. එහෙයින් ඒ බොහෝ දෙනාගේ වචනය ගෙන දෙවරක් ස්පර්ශ කරමින්, සම්මා දිට්ඨි, සම්මා දිට්ඨි ආවුසො වුච්චන්ති වදාළහ. මේ වූකලී මෙහි අදහසයි. අන්‍යයන් විසින් ද ‘සම්මා දිට්ඨි’ යයි කියනු ලැබේ. එයින් අන්‍යයන් විසින් ද සම්මා දිට්ඨියයි කියනු ලැබේ. මේ මෙසේ කියනු ලබන්නේ අර්ථයද, ලක්‍ෂණයද ගෙන, ඇවැත්නි, ආර්ය ශ්‍රාවක තෙම කොපමණකින් සම්මා දිට්ඨි ඇත්තේ වේදැයි, එහි සම්මා දිට්ඨි යනු සෝභන වූ ද, ප්‍රශස්ත වූ ද දෘෂ්ටියෙන් යුක්ත වූයේ යම්කලෙක්හි ධර්මයෙහිම මේ සම්මා දිට්ඨි ශබ්දය පවතී ද, එකල්හි එමම දෘෂ්ටියට, සෝභන වූ ද ප්‍රශස්ත වූ ද දෘෂ්ටිය ‘සම්මා දිටඨි’ යයි මෙසේ අර්ථය දතයුතුයැ.
ඕ තොමෝ සම්මා දිට්ඨි තොමෝ දුවිධ වන්නීය. ලෞකික ලෝකෝත්තර කියා,
එහි කම්මස්සකත ඤාණය, සච්චානුලොම ඤාණය ලෞකික සම්මා දිට්ඨි නම් වේ. සංක්‍ෂෙප වශයෙන් සියලුම ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වූ පඤ්ඤාවයි. අරිය මග්ගඵල සම්පයුත්ත වූ පඤ්ඤාව ලෝකෝත්තර සම්මා දිටඨි නම් වේ.
සම්මා දිට්ඨි පුද්ගලයා ත්‍රිවිධ වේ. පුථුජ්ජන සේඛ, අසේඛ යනුවෙනි. එහි පුථුජ්ජන සම්මා දිට්ඨිකයාද දුවිධ වේ. බාහිරක, ශාසනික වශයෙනි. එහි බාහිරක තෙමේ, කම්මවාදි කම්මස්සකත දිට්ඨියෙන් සම්මාදිට්ඨික වූයේ වෙයි. සච්චනුලෝමික දිටඨියෙන් නොවේ. ආත්ම දෘෂ්ටිය පරාමර්ශනය කරන හෙයින් ශාසනික තෙම මෙම දෘෂ්ටි දෙකෙන්ම සම්මාදිට්ඨික වූයේ වෙයි. සේඛ තෙමේ නියත වූ සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ වෙයි. මෙහි වනාහි නියත වූ නීය්‍යානික වූ ලෝකෝත්තර කුසල් සම්මා දිටඨියෙන් යුක්ත වූයේ වෙයි. සම්මා දිට්ඨි යයි අදහස් කරන ලදී. එහෙයින්ම වදාළහ, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මං යනුවෙන් ලෝකෝත්තර කුසල සම්මා දිට්ඨියම අන්ත දෙකට නොපැමිණ සෘජු භාවයට ගිය හෙයින් කාය වංකාදී වූ සියලුම වංකයන් මුල්සිඳ ගිය හෙයින් සෘජුව ගියා වෙයි. එම දෘෂ්ටියෙන්ම යුක්ත වූයේ නවාකාර වූ ලෝකෝත්තර ධර්මයෙහි අවෙච්චප්පසාදයෙන් අචල ප්‍රසාදයෙන් සමන්නාගත වූයේ වෙයි. සියලු දෘෂ්ටි ග්‍රහණයන් ද අවුල් හරිමින් සියලු කෙලෙසුන් දුරුකරමින් ජාති සංසාරයෙන් නික්මෙන්නේ ප්‍රතිපත්ති නිමාවට පත් කරවමින් ආරිය මාර්ගයෙන් පැමිණියේ සම්මා සම්බුදුරදුන් විසින් ප්‍රකාශ කොට වදාළ අමතොගධ නම් වූ ද නිබ්බාන නම් වුද සද්ධර්මයට පැමිණියේ යයි කියනු ලැබේ.
කම්මපථ වාරය
යථොඛො, මෙය කාලය වෙන්කිරීමේ වචනයකි. යම් කාලයකැයි කියන ලද්දේ වෙයි. අකුසලඤ්ච පජානාති දස අකුසල කම්මපථ නම් වූ අකුසලයද නිරෝධය අරමුණුකොට ඇති, ප්‍රඥාවෙන් මේ දුකයයි ද කෘත්‍ය වශයෙන් ප්‍රතිවේධ කරන්නේ දැනගනී. අකුසල මූලඤ්ච පජානාති, එය මූල ප්‍රත්‍ය වූ ද අකුසලය ද දැන ගනී. මේ අයුරින් දුක්ඛ සමුදය යයි ප්‍රතිවේධ කරන්නේ දැනගනී. කුසලඤ්ච කුසල මූලඤ්ච යන මෙහිද මේ ක්‍රමයමැයි. මෙහි යම්සේද, මෙයින් මත්තෙහි සියලු වාරයන්හි කෘත්‍ය වශයෙන්ම වස්තු දැනගැනීම දතයුතුය. එත්තාවතාපි මෙපමණකින් මෙම අකුසල ආදීන් දැනගැනීමෙන් සම්මාදිට්ඨි හොති ඉහත දැක්වූ ආකාරයෙන් ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වූයේ -පෙ- නිර්වාණ සංඛ්‍යාත සද්ධර්මයට පැමිණියේ වේයයි මෙතෙකින් සංක්‍ෂිප්ත වූ දේශනාව නිමවන්නීය. දේශනාව සංක්‍ෂිප්ත වුවද ඒ භික්‍ෂූන්ගේ මනසිකාර ප්‍රතිවේධය විස්තර වශයෙන්ම දතයුතුය.