අකුසල කම්මපථ
එහි ප්‍රථම වාරයාගේම විස්තර දේශනාවෙහි පාණාති පාතො ඛො ආවුසො අකුසලං යනාදි තැන්හි අසමත් බැවින්, (නොවියත් බැවින්) අකුසලයයි දතයුතුය. කුසලයට ප්‍රතිපක්‍ෂ වශයෙන් හෝ අකුසලය දතයුතුය එය ලක්‍ෂණ වශයෙන් සාවද්‍ය ලක්‍ෂණ, දුක්ඛ විපාක ලක්‍ෂණ සංක්ලේශ ලක්‍ෂණ හෝ වෙයි. මෝ තොමෝ වනාහි මෙහි සාධාරණ වූ පද වර්ණනාවයි.
කායකම්ම පාණාතිපාතය
අසාධාරණ පදයන්ගේ වනාහි ප්‍රාණයාගේ අතිපාතය (හෙලීම, නැසීම) පාණාතිපාත නම් වේ. ප්‍රාණ වධය, ප්‍රාණඝාතය යයි කියන ලද්දේ වෙයි. ‘පාණො’ යනු මෙහි ව්‍යවහාර වශයෙන් සත්ත්වයෙකි. පරමාර්ථ වශයෙන් ජීවිතින්‍ද්‍රියයි. ඒ ප්‍රාණියා කෙරෙහි ප්‍රාණියෙකැයි යන සංඥා ඇත්තහුගේ ජීවිතය සිඳින්නා වූ උපක්‍රමයෙන් උපදවන ලද කාය වාග් වාරයන් අතුරෙන් එක්තරා ද්වාරයෙක්හි පැවැති වධක චේතනා තොමෝ පාණාතිපාත නමි. එම ප්‍රාණඝාතය තෙම ගුණ විරහිත වූ තිරශ්චීනගතාදි ප්‍රාණීන් අතුරෙන් කුඩා ප්‍රාණයෙහි අල්පසාවද්‍යය මහත් වූ ශරීරයෙහි මහා සාවද්‍යය. කුමක්හෙයින්ද යත් ප්‍රයෝග මහත් බැවිනි. ප්‍රයෝග සමව ඇති කල්හිදු වස්තූහුගේ මහත් බැවිනි.
ගුණවත් වූ මනුෂ්‍යයන් අතුරෙහි මදගුණ ඇති ප්‍රාණයෙහි අල්පසාවද්‍යය. මහත් වූ ගුණ ඇති ප්‍රාණයෙහි මහාසාවද්‍යය. ශරීර ගුණයන්ගේ සමබව ඇති කල්හි ක්ලේශයන්ගේද, උපක්‍රමයන්ගේද මෘදු බැවින් අල්පසාවද්‍ය වෙයි. තීව්‍ර බැවින් මහාසාවද්‍ය වේයයි දතයුතුය. ඒ ප්‍රාණඝාතයාගේ අංග පසක් වෙති. ප්‍රාණියෙකු වීම, ප්‍රාණියෙකු යන සංඥාව, වධකචිත්තය, උපක්‍රමය එයින් මරණය සිදුකිරීම යනුයි. සාහත්‍ථික, ආණත්තික, නිස්සග්ගිය, ථාවරය, විජ්ජාමය, ඉද්ධිමය යයි ප්‍රයෝග සසක් වෙති. යම්හෙයකින් මෙම අර්ථය විස්තර කරනු ලබන කල්හි ඉතා ප්‍රපඤ්ච වේද, එහෙයින් එයද මෙබඳු වූ අන්‍ය විස්තර ද නොකරමු. විස්තර වශයෙන් සමන්තපාසාදිකා විනය අටුවාව බලා දතයුතුය.
අදින්නාදානය
නොදුන් වස්තූන්ගේ ගැනීම අදින්නාදාන නම් වේ. අනුන්ගේ වස්තුව පැහැරගැනීම ථෙය්‍ය යයි ද, චොරකම්ම යයි ද කියන ලද්දේ වෙයි. එහි අදින්නං යනු අනුන් අයත් වූ යම් වස්තුවෙක්හි, අනිකෙක් රුචි පරිද්දෙන් කරන බවට පැමිණෙන්නේ, දඬුවමට නොසුදුසු වූයේත් උපවාදයෙන් මිදුනේත් වේද, ඒ පරා අයත් වස්තුවෙහි පරා අයත් යයි යන සංඥා ඇත්තහුගේම ඒ වස්තුව ගැනීම පිණිස වූ උපක්‍රමයෙන් උපදවන ලද ථෙය්‍ය චේතනා තොමෝ අදින්නාදාන නම් වේ.
එහි හීන වූ පරසතු භාණ්ඩයෙහි අල්ප සාවද්‍ය වේ. ප්‍රණීත වූ භාණ්ඩයෙහි මහාසාවද්‍ය වේ. කුමක් හෙයින්ද යත් වස්තූහුගේ ප්‍රණීත බව නිසාය. වස්තූන්ගේ සමබව ඇති කල්හි ගුණයෙන් වැඩී සිටියන් සතු වස්තුවෙහි මහාසාවද්‍ය වේ.
එම අදත්තාදානයට අංග පසක් වෙති. මෙරමා සතු වස්තුවක් වීම, අනුන්ට අයත්ය යන සංඥාව ඇති බව, සොරසිත, උපක්‍රමය එම උපක්‍රමයෙන් පැහැරගැනීම යනුයි.
ප්‍රයෝග සයක් වෙති. සාහත්‍ථික ආදියමැයි. ඔවුහුද යෙදෙන පරිද්දෙන්, ථෙය්‍යාවහාරය, පසය්හාවහාරය, පටිච්ඡන්නාවහාරය, පරිකප්පාවහාරය, කුසාවහාරය යන මේ අවහාරයන්ගේ වශයෙන් පැවැත්තාහු යයි මේ සංක්‍ෂෙපයන් විස්තර වනාහි සමන්තපාසාදිකාවෙහි කියන ලදී.
කාම මිත්‍යාචාරය
කාමෙසු මිච්ඡාචාරො යන මෙහි කාමෙසු යනු මෛථුන සමාචාරයන්හි මිච්ඡාචාරො යනු ඒකාන්තයෙන් නිහිත වූ ලාමක වූ හැසිරීම ලක්‍ෂණ වශයෙන් වනාහි අසද්ධර්මයෙහි හැසිරෙන අදහසින් කායද්වාරයෙහි පැවැති මාතුරක්ඛිතාදී නොයායුතු ස්ථානයන් ව්‍යතික්‍රමණය කරන චේතනා තොමෝ කාමෙසු මිච්ඡාචාර නම් වේ.
එහි පුරුණයන්ට නොයායුතු ස්ථාන නම්, පළමුකොට ‘මව විසින් රක්නා ලද්දීය.’ ‘පියා විසින් රක්නා ලද්දීය.’ ‘මව්පිය දෙදෙනා විසින් රක්නා ලද්දීය.’ ‘බෑයා විසින් රක්නා ලද්දීය.’ ‘බූනණිය විසින් රක්නා ලද්දීය.’ ‘නෑයන් විසින් රත්නා ලද්දීය.’ ‘ගෝත්‍රයෙහි වූවන් විසින් රක්නා ලද්දිය.’ ‘සහදැමියන් විසින් රක්නා ලද්දීය.’ ආරක්‍ෂා සහිත වූවායැ. දණ්ඩ නිග්‍රහි සහිත වූවායැ යන මේ මාතු රක්ඛිත පටවාසිනී ඔදපත්තකිනී ඕහතචුම්බටා, දාසීව භරියා, කම්මකාරීච භරියා, ධාජාහටා මුහුත්තිකා ආදි දසදෙන යයි විසි ස්ත්‍රීහු ද, ස්ත්‍රීන් අතුරෙහි වනාහි, සාරක්ඛ සපරිදණ්ඩ දෙදෙනාට ද ධනක්කීතාදි දසදෙනාට ද යන දොලොස් ස්ත්‍රීන්ට සෙසු පුරුෂයෝ ද අගමනීයස්ථාන නම් වේ. හේ මේ මිථ්‍යාචාරය ශීලාදීගුණ රහිත වූ අගමනීයස්ථානයෙහි අල්ප සාවද්‍යයැ. ඒ කාම මිථ්‍යාචාරයට අංග සතරක් වෙති. නො එළඹිය යුතු වස්තුවෙක. එහි සේවනය කිරීමේ සිතය. සේවනය පිණිස ප්‍රයෝගය. මාර්ගයෙන් මාර්ගය ප්‍රතිපාදනය ඉවසීම කියාය. එක් ප්‍රයෝගයකි. සාහත්‍ථික මැයි.
වචීකම්ම
මුසා යනු විසංවාද (=අසත්‍ය වූවක් සත්‍ය ලෙස කීම) පෙරටුකොට ද ඇත්තහුගේ අර්ථ නසන්නා වූ වාග් ප්‍රයෝගය හෝ කායප්‍රයෝගය හෝයි. ඔහු විසින් බොරුවක් කියන අදහසින් මෙරමා රවටන කාය වාක් ප්‍රයෝගයෙන් උපදවන ලද චේතනා තොමෝ මුසාවාද නම් වේ. අනිත් ක්‍රමයක් කියනු ලැබේ. මුසා යනු අභූත වූ අතථ්‍ය වූ වස්තුවය. වාදො යනු ඒ වස්තුව භූත වශයෙන් තථ්‍ය වශයෙන් දැක්වීමයැ. ලක්‍ෂණ වශයෙන් වනාහි, අතථ්‍ය වූ වස්තුව තථ්‍ය වශයෙන් අන්‍යා හට දක්වනු කැමැත්තහුගේ එබඳු වූ විඥප්තියෙන් උපදවන ලද චේතනා තොමෝ මුසාවාද නම් වේ. ඒ මුසාවාදය තෙම යම් අර්ථයක් නසා ද, ඒ අර්ථයාගේ අල්ප භාවයෙන් අල්පසාවද්‍යයැ. මහද්භාවයෙන් මහාසාවද්‍යයැ. තවද ගෘහස්තයාට තමා සතු වස්තුවක් නොදෙනු කැමැති බැවින් නැත යනාදි ක්‍රමයෙන් පැවැති මුසාවාදය අල්පසාවද්‍ය වේ. සාක්‍ෂි වශයෙන් සිට අර්ථ නසන පිණිස කියන ලද්දේ මහාසාවද්‍ය වේ. පැවිද්දන්ට මදවූත් තෙලක් හෝ ගිතෙලක් හෝ සිනාසෙන අදහසින් අද ගමෙහි තෙල් ගඟක් මෙන් ගලා යයි. පුරාණ කථා නයින් පැවැත්තේ අල්පසාවද්‍ය වේ. නොදක්නා ලද්දක්ම දක්නා ලද්දේය යනාදි නයින් කියන්නවුන්ට මහාසාවද්‍ය වෙයි. ඒ මුසාවාදයාගේ අංග සතරක් වෙති. අභූත වූ වස්තුවක් වීම, බොරුවෙන් රවටා කියන සිත, ඒ පිණිස වූ උත්සාහය, අන්‍යයාට එම වචනාර්ථය අවබෝධ වීම යනුයි. එක් ප්‍රයෝගයකි. සාහත්‍ථික මැයි. එම ප්‍රයෝගය කයින් හෝ කය පිළිබඳ වුවකින් හෝ වචනයෙන් හෝ පරහට සත්‍ය සඟවමින් ක්‍රියා කිරීමෙහි දතයුතුයැ. ඉදින් එම ක්‍රියාවෙන් මෙරමා තදර්ථය දැන ගනී ද, මේ පුද්ගල තෙම ක්‍රියා උපදවන චේතනා ක්‍ෂණයෙහිම මුසාවාද කර්මයෙන් බැඳේ.