කුසල කම්මපථ
පාණාතිපාතා වේරමණී කුසලං යනාදියෙහි පාණාතිපාතාදීහු කියන ලද අය ඇත්තාහුමය. වෛරය හරිනුයි වෙරමණි නම් වේ. වෛරය දුරුකරයි යන අර්ථයි. මෙයට කාරණ වූ මෙය කරණ කොටගෙන පුද්ගල තෙම වෛරය කෙරෙන් වෙන්වේනුයි, (විරමණී යයි කිවයුත්තෙහි) ‘වි’ කාරයට ‘වෙ’ කාරය කොට ද, වෙරමණී නම් වේ. මෝ පළමුකොට දක්වන ලද මෙහි ව්‍යඤ්ජනයන්ගේ වශයෙන් වර්ණනායැ. අනතුරුව අර්ථ වශයෙන් වර්ණනා කරනු ලැබේ. වෙරමණී යනු කුසල චිත්ත සම්ප්‍රයුත්ත විරතියයි. ඕතොමෝ ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුගේ, යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති යයි මෙසේ වදාරණ ලද කුසල් සිත හා යෙදුන විරතියයි. එය භේද වශයෙන් ත්‍රිවිධ වේ. සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡෙද විරති යයි කියා, ඔවුනතුරෙහි සමාදන් නොවූ ශික්ෂාපද ඇති, තමාගේ ජාතිය, වයස, බහුශ්‍රැත බව ආදිය ප්රත්යවේක්ෂා කොට අපට මෙබන්දක් කරන්ට අයුතුයයි පැමිණි වස්තුව ව්‍යතික්‍රමණය නොකරන්නවුන්ට උපදනා වූ විරති තොමෝ සම්පත්ති විරතියයි දතයුතුය. හෙළදිව චක්කන නම් උපාසක තැනට මෙනි.
චක්කන උපාසකතුමා
චක්කන උපාසකගේ මවට ඔහු තරුණ කාලයේදීම රෝගයක් උපනි. වෙදා විසින් අමු සා මස් ලබන්ට සුදුසු යයි කියන ලදී. එහෙයින් චක්කනගේ සහෝදර තෙම දරුව යන්න, කෙතෙහි ඇවිද බලන්න යයි චක්කනව යැවීය. එහෙම එහි ගියේ එසමයෙහිම එක් සාවෙක් තරුණ සස්‍ය කෑමට පැමිණියේ වෙයි. ඌ ඔහු දැක වේගයෙන් දුවන්නේ වැලකින් බැඳුනේ කිරි කිරි යනුවෙන් ශබ්ද නැගුවේය. චක්කන ඒ ශබ්දයෙන් ගොස් ඔහු අල්වාගෙන මවට බෙහෙත් කෙරෙමියි සිතීය. නැවත මෙසේ සිතී, යම්බඳු වූ මම මවගේ ජීවිතය හේතුකොට අනෙකෙකු දිවියෙන් තොර කරන්නෙම් ද, මේ දිවි තොර කිරීම මට සුදුසු නොවේ යයි ඉක්බිති එම සාවාට යව, වනයෙහි සාවුන් සමග තණ දිය වළඳවයි මුදාහැරියේය. සහෝදරයා විසින්ද කිම දරුව සාවෙකු ලද්දේදැයි විචාරණ ලද්දේ එපුවත කීවේය. එවිට සහෝදර තෙමේ ඔහුට පරිභව කළේය. උපාසක තෙම මව වෙතට ගොස් මම යම්කලෙක පටන් මේ මිනිස්බවෙහි උපන්නෙම් ද, එතැන් සිට දැන දැන සතෙකු දිවියෙන් තොර කරවූයෙම් නොදනිමි. මෙම ඇත්ත කියා අධිෂ්ඨාන කළේය. එකෙනෙහිම ඔහුගේ මව සුව වුවා විය.
සමාදන් වූ ශික්ෂපද ඇතිව, ශික්ෂාපද සමාදාන කාලයෙහි ද එයින් මත්තෙහි ද තමාගේ ජීවිතය පවා පූජාකොට වස්තුව්යතික්රමය නොකරන්නවුන්ට උපදින්නා වූ විරති තොමෝ සමාදාන විරති නමයි දතයුතු උතුර වඩමන් වැසි උපාසක තැනට මෙනි.
උතුරුවඩමන් වැසි උපාසකතුමා
හෙතෙම, අම්බරිය විහාරවැසි පංගල බුද්ධරක්ඛිත තෙරුන්ගේ සමීපයෙහි ශික්ෂාපදයන් සමාදන්ව කෙතක් සායි. එකල ඔහුගේ ගවයෙකු නැති වූයේය. හෙතෙම එම ගවයා සොයමින් උත්තර වඩ්ඪමාන පර්වතයට නැග්ගේය. එහි දී ඔහුව පිඹුරෙක් අල්ලා ගත්තේය. හෙතෙම මේ මුවහත් කැත්තෙන් මොහුගේ හිස සිඳිමියි සිතී, නැවත මෙසේ සිතුවේය. ‘යම්බඳු වූ මම භාවනීය වූ (සිහිකටයුතු වූ) ගුරු වූ තෙරුන් සමීපයෙහි ශික්ෂාපද සමාදන්ව බිඳින්නේ නම් මේ ශික්ෂාපද සිඳීම නොසුදුසුය. මෙසේ තෙවන වට දක්වා සිතා දිවිහරිමි ශික්ෂාපද නොහරිමියි පසෙක තිබූ තියුණු කැත්ත වනයෙහි දැම්මේය. එකෙණෙහිම පිඹුරුතම ඔහු මුදා ගියේය.
අරියමග සම්පයුත්ත විරති තොමෝ සමුච්ඡේද විරති යයි දතයුතුය. යම් විරතියක්හුගේ උත්පත්තියෙහි පටන් ප්‍රාණවධ කරන්නෙමුයි ආර්ය පුද්ගලයන්ට සිතකුත් නො උපදී ද, මෙම විරතිය (කොසල්ල) යහපත් ලෙස පැවැති බැවින් කුසල යයි කියන ලදී. කුත්සිත කර්මය සලනය කරන හෙයින් කුසලයයි කියන ලදී. කුසලයයි ලත් ව්‍යවහාර ඇති දුශ්ශීල බව සිඳීනුයි කුසල නම් වේ.
කතමඤච ආවුසො කුසලං යන ප්‍රශ්නයට අනුරූප නොවන බැවින් කුසලා යයි නොයන ලදහ. අකුසලයන්ගේ යම්සේද එසේ මේ කුසල කර්මපථයන්ගේද ධර්ම වශයෙන් කොටස් වශයෙන් ආරම්මණ වශයෙන් මුල වශයෙන්දැයි පස් ආකාරයකින් විනිශ්චය දතයුතුයැ.
එම විනිශ්චයෙහි ධර්ම වශයෙන් යනු මේ කුසලයන් අතුරෙහි ද පිළිවෙලින් සතක් චේතනා වශයෙන්ද විරති වශයෙන් ද (ගැනීම) සුදුසුය. අන්තයෙහි වූ තුන චේතනා සම්පයුක්ත වූවාහුම වෙති.
කොට්ඨාස වශයෙන් යනු පිළිවෙලින් සතක් කර්මපථයෝම වෙති. මූලයෝ නොවෙති. අන්තයෙහි වූ තුන කර්ම පථයෝ ද, මූලයෝ ද වෙති. අනභිජ්ඣා තොමෝ මුල්බවට පැමිණ අලෝභ සංඛ්‍යාත කුසල මූලය වෙයි. අඛ්යපාදය අදෝස නම් වූ කුසල මූලය වෙයි. සම්මා දිටඨිය, අමෝහ නම් වූ කුසල කුසල මූලය වෙයි.
ආරම්මණ වශයෙන් යනු ප්‍රාණඝාතාදීන්ගේ ආරම්මණයෝම මොවුන්ට ආරම්මණ වෙති. වීතික්කමයෙන් (ඉක්ම වීමෙන් කළයුතු බැවින්ම වෙරමණි නම් වේ.) නිවන් අරමුණු කොට ඇති ආර්ය මාර්ගය යම්සේ කෙලෙසුන් දුරු කෙරේද, එසේ ජීවිතෙන්ද්රිය ආදිය අරමුණුකොට ඇත්තා වූ මේ කර්මපථයෝ ප්‍රාණඝාත ආදි ශීල භාවයන් දුරුකෙරෙත් යයි දතයුත්තාහුය.
වෙදනා වශයෙන් යනු සියල්ලෝම සුඛ වේදනා හෝ මධ්‍යස්ථ වේදනා හෝ වෙති. ඒ එසේමැයි. කුසලයට පැමිණ දුක්ඛ වේදනා නම් නැත.