මූල පරියාය වර්ගය
මූල පරියාය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනුවෙන් යම් නිදානයක් වේද එහි එවං යනු නිපාත පදයකි. මෙති යනාදීහු නාම පදයෝය. උක්කට්ඨායං විහරති - මෙහි ‘වි’ යනු උපසර්ග පදයකි. හරති යනු ආඛ්‍යාත පදයකි. මෙම ක්‍රමයට පද විභාගය දතයුත්තේය.
අර්ථ වශයෙන් එවං ශබ්දය, උපමා-උපදේශ, සතුටුවීම්, නින්දා, වචන පිළිගැනීම, ආකාර, නිදර්ශන අවධාරණ ආදී නොයෙක් ප්‍රභේදයෝ වෙති. ඒ මෙසේ යැ. ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ මේ ආදී තන්හි උපමා අර්ථයෙහි වැටේ. එවං තෙ අභික්කමිතබ්බං එවං පටික්කමිතබ්බං මේ ආදී තන්හි උපදේශ අර්ථයෙහි වැටේ. එව මෙතං භගවා එවමෙතං සුගතා, යන තන්හි සතුටුවීම් අර්ථයෙහි වේ. එවමෙවම්පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණස්ස වණ්ණං භාසති, යනාදී තන්හි නින්‍දා කිරීම් අර්ථයෙහි වේ. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං යනාදී තන්හි වචන පිළිගැනීම් අර්ථයෙහි වේ. එවං ව්‍යා ඛො අහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි’ යනාදී තන්හි ආකාර අර්ථයෙහි වේ. ‘එහි ත්‍වං මාණවක යෙන සමණො ආනන්‍දො තෙනුපසංකමිං උපසංකමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප්පබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසු විහාරං පුච්ඡ, සුභො මාණවො තොදෙය්‍ය පුත්තො භගවන්තං ආනන්‍දං අප්පාබාධං, -පෙ- ඵාසුවිහාරං පුච්ඡතීති එවඤ්ච වදෙහි සාධුකිර භවං ආනන්‍දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු. අනුකම්පං උපාදාය ආදී තන්හි නිදර්ශනාර්ථයෙහි වේ.
තං කිං මඤ්ඤථ කාලාමා ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති. අකුසලා භන්තෙ සාවජ්ජා අනවජ්ජාවාති සාවජ්ජා භන්තෙ, විඤ්ඤුගරහිතා වා විඤ්ඤු පසත්‍ථා වාති විඤ්ඤු ගරහිතා භන්තෙ, සමන්නා සමාදිණ්ණා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. නොවා තථං වා එත්‍ථ හොතීති සමත්තා භන්තෙ සමාදිණ්ණා අහිතාය දුක්ඛාය සංවත්තන්ති එවං නො එත්‍ථ හොති ආදී තන්හි අවධාරාණාර්ථයෙහි වේ. මෙහි එවං ශබ්දය ආකාර, නිදර්ශන අවධාරණ අර්ථයන්හි යෙදෙන බව දතයුතුය.
ඔවුන් අතුරෙන් ආකාර අර්ථයෙහි ‘එවං’ ශබ්දයෙන් මෙම අර්ථය දක්වයි. විවිධ නය නිපුන වූ අනේක වූ අධ්‍යාශයන්ගෙන් හටගත් අර්ථ හා ව්‍යඤ්ජන ශක්තියෙන් අනූන වූ විවිධ පාටිහාර්යයන්ගෙන් යුක්ත වූ පටිවෙධ වශයෙන් ගැඹුරු වූ, සියලු සත්ත්වයන්ට තම තමන්ගේ භාෂාවෙන්ම කණට වැටෙන්නා වූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය හැම අයුරකින්ම දැනගන්ට කවරෙක් නම් සමර්ථ වන්නේ ද හැම ශක්තියක් ම අසනු කැමැති බව උපදවා, එවං මෙසුතං මා විසින් එක් අයුරකින් අසන ලදැයි කීය.
නිදර්ශනාර්ථයෙන් මම සාක්ෂාත් කළේ නොවෙමි. තම නිදොස් බව දක්වමින් මා විසින් මෙසේ අසන ලදි යන්න කීය. දැන් කිවයුතු මුලු සූත්‍රයම පැහැදිලි කර දක්වයි.
අවධාරණ අර්ථයෙන් මහණෙනි, මගේ ශ්‍රාවක වූ බහුශ්‍රැත භික්‍ෂූන් අතුරෙන්ද, යම් ආනන්‍ද නම් භික්‍ෂුවරයෙක් වෙත්ද, ස්මෘතිමත් භික්‍ෂූන් අතුරෙන් ප්‍රඥා ගති ඇති භික්‍ෂූන් අතුරෙන් උපස්ථායක භික්‍ෂූන් අතුරෙන් යම් යම් ආනන්‍ද නම් භික්‍ෂූ කෙනෙක් වෙත්ද මේතෙම අග්‍රයයි බුදුරදුන් විසින්ද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම අර්ථයෙහි දක්‍ෂය. ධර්මයෙහි දක්‍ෂය. බ්‍යඤ්ජනයෙහි දක්‍ෂය. නිරුත්තියෙහි දක්‍ෂය. පූර්වාපර සන්‍ධියෙහි දක්‍ෂය. මෙසේ ධර්ම සේනාධිපති සැරියුත් තෙරුන් විසින්ද, ප්‍රශංසා කරන බවට යෝග්‍ය වූ, තමන් වහන්සේගේ ධාරණ ශක්තිය දක්වන සේක්, සත්ත්වයන්ට අසනු කැමැති බව උපදවයි. එවං මෙ සුතං මෙය අර්ථ වශයෙන් හෝ ව්‍යඤ්ජන වශයෙන් හෝ නොඅඩු නොවැඩි වූයේය. මෙය මෙසේ මැයි. අන් පරිද්දකින් නොදත යුතුයයි ප්‍රකාශ කෙරේ.
මෙ ශබ්දය අර්ථ තුනක යෙදෙන බැව් පෙනේ. ගාථාභි ගීතං මෙ අභොජනීයං යන තන්හි මා විසින් යන අර්ථයෙහි යෙදී ඇත. “සාධු මෙ භන්තෙ භගවා සංඛිත්තෙග ධම්මං දෙසෙතු” යනාදී තන්හි මට යන අර්ථයෙහි යෙදී ඇත. “ධම්ම දායාද මෙ භික්ඛවෙ භවථ මේ තැන්හි මගේ යන අරුතෙහි යෙදී ඇත. මෙහිදී මා විසින් අසන ලදැයිද මගේ ඇසීම යයි ද දෙ අරුත ගැනීම සුදුසුය.
සුතං යන මෙම ශබ්දය උපසග්ග සහිතවද උපසග්ග රහිතවද ගමන ප්‍රකට කිලින්න (=තෙත් වූ) උපචිත අනුයෝග, සොතවිඤ්ඤෙය්‍ය සොතද්වාරානුසාර විඤ්ඤාත ආදී අරුත් ප්‍රභේදවල යෙදෙයි.
එසේම සෙනාය පසුතො යන තන්හි යන්නේය යන අරුතෙහි වේ. සුතධම්මස්ස පස්සතො යනාදී තන්හි අසන ලද ධර්මයාගේ යන අරුතෙහිය. අවස්සුතානවස්සුකා, තෙත් වූ තෙත් නොවූ පුද්ගලයන්ගේ යන අරුත්හි යෙදේ. තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං යන තන්හි රැස්කරන ලද්දේය යන අරුතෙහි යෙදී ඇත. යෙ ඣාන පසුතා ධීරා යනාදී තන්හි ධ්‍යානයෙහි යෙදුනාහු යන අර්ථයෙහි යෙදේ. දිට්ඨං සුතං මුතං මෙහි සොත විඤ්ඤෙය්‍ය යන අරුත්හි යෙදේ. සුතධරො සුතසන්නිචයො යනාදියෙහි සොතද්වාර අනුසාරයෙන් දැනගන්නා ලද්ද ධරණ ලදැයි හෝ දැරීම යයි හෝ යන මේ පදයාගේ අර්ථය වන්නේය. මෙ ශබ්දයාගේ මා විසින් යන අර්ථය ඇතිකල්හි මෙසේ මා විසින් අසන සෝතද්වාර අනුසාරයෙන් දරණ ලද්දේය යනු යෙදේ.