9. වෙදනා වාරය
වේදනාවාරයෙහි වෙදනාකායා, වේදනා සමූහයෝ චක්ඛු සම්ඵස්සජා වෙදනා -පෙ- මනො සම්ඵස්සජා වෙදනා යනුවෙන් වූ මෙය චක්ඛුසම්ඵස්සජා වෙදනා, අත්‍ථි කුසලා අත්‍ථි අකුසලා අත්‍ථි අව්‍යාකතා යනුවෙන් විභංගයෙහි ආ බැවින්, චක්ඛු ද්වාර ආදියෙහි පැවැති කුසල-අකුසල-අව්‍යාකත වේදනාවන්ට සාරිපුත්ත, මන්තානිපුත්ත යන මේ ආදි නාමයන්හි, මවු කෙරෙන් ආ නාමය මෙන් මාතෘ සමාන වූ වස්තුවක් කෙරෙන් ආ නාමයකි. මෙහි වචනාර්ථය වනාහි චක්ඛු සම්ඵස්ස හේතුවෙන් උපන් වේදනාව චක්ඛුසම්ඵස්සජා වේදනා නම් වන්නීය. සියලු තන්හි මේ ක්‍රමයයි. මේ පළමුකොට දක්වන ලද්දේ සර්ව සංග්‍රාහිකා කථාය.
විපාක වශයෙන් චක්ෂුර් ද්වාරයෙහි චක්ෂුර් විඥානයෝ දෙදෙනය. මනෝධාතුහු දෙදෙනය. මනෝවිඥාන ධාතූහු තිදෙන යන මොවුන් හා සම්පයුත්ත වශයෙන් (චක්ඛසම්ඵස්ස හේතුවෙන් උපන්) වේදනාව දතයුතුය. සෝත ද්වාරයේද මේ ක්‍රමයමයි. මනෝ ද්වාරයෙහි මනෝ විඥානධාන සම්ප්‍රයුක්ත වූ වේදනාව මැයි.
ඵස්ස සමුදයා යන මෙහි පඤ්ච ද්වාරයෙහි සහජාත චක්ඛු සම්ඵස්සාදීන්ගේ සමුදය හේතුවෙන් පඤ්ච වත්‍ථුක වේදනාවන්ගේ සමුදය වෙයි. අවශේෂ වූවනට චක්ඛු සම්ඵස්සාදීහු උපනිශ්‍රයාදි වශයෙන් ප්‍රත්‍යය වෙති. මනෝද්වාරයෙහි තදාලම්බන වේදනාවන්ගේද අද්වාරික වූ පටිසන්ධි-භවාංග-ච්‍යුති-වේදනාවන්ගේද සහජාත වූ මනෝ සම්ඵස්ස සමුදය හේතුකොටගෙන පහළවීම වේයයි දතයුතුයි. සෙස්ස කී නයමැයි.
10. ඵස්ස වාරය
ඵස්සවාරයෙහි ඇසෙහි ස්පර්ශයයි. සියලු තන්හි මේ ක්‍රමයමැයි. චක්ඛු සම්ඵස්සො -පෙ- කාය සම්ඵස්සො මෙතෙක් කුසලාකුසල වූ පඤ්ච වස්තුක වූ ස්පර්ශයෝ දසදෙන වදාරණ ලද්දාහු වෙති. මනොසම්ඵස්සො යන මේ වචනයෙන් පසු දෙවිසි ලෞකික විපාකයන් හා ඒකෝත්පාද තාදි භාවයෙන් සම්පයුත්ත වූ ස්පර්ශයෝ වදාරණ ලද්දාහුය. නාමරූප සමුදයා යනු චක්ඛු ආයතන ආදී වූ සවැදෑරුම් ආයතනයන්ගේ හටගැනීම හේතුකොටගෙන මේ සවැදෑරුම් වූ ඵස්සයාගේ හටගැනීම වේයයි දතයුතුයි. සෙස්ස කී නය ඇත්තේම වෙයි.
11. සළායතන වාරය
සළායතන වාරයෙහි චක්ඛායතනං යනාදි පදයන්හි යමක් කිවයුතුද, ඒ සියල්ල විසුද්ධි මග්ගයේ ඛන්‍ධ නිද්දෙසයේ සහ ආයතන නිද්දේසයේ කියන ලද ක්‍රමයමැයි. නාමරූප සමුදයා යන මෙහි යම් නාමයකුත් යම් රූපයකුත් එම ආයතනයන්ට ප්‍රත්‍ය වේද, ඒ නාම රූපයාගේ වශයෙන් විසුද්ධි මාර්ගයෙහි පටිච්ච සමුප්පාද නිද්දෙසයෙහි කී ක්‍රමයෙන් නාමරූපයන්ගේ හටගැනීමෙන් සළායතනයන්ගේ හටගැනීම දතයුතුය. සෙස්ස උක්ත නයම වෙයි.
12. නාමරූප වාරය
නාමරූපවාරයෙහි නැමීම ලක්‍ෂණකොට ඇත්තේ නාම නම් වේ. බිඳීම ලක්‍ෂණකොට ඇත්තේ රූප නම් වේ. විස්තර වාරයෙහි වෙදනා යනු වෙදනා ස්කන්ධයයි. සඤ්ඤා යන සංඥා ස්කන්ධයයි. චෙතනා ඵස්සො, මනසිකාරො යනු සංස්කාර ස්කන්ධයයි දතයුතුයැ. තව ද ඒකාන්තයෙන් සංඛාර ඛන්‍ධයෙහි සංග්‍රහ වූ ධර්මයෝ වෙති. එතකුදු වුවත් මොහු තිදෙන ඉතාම දුර්වල වූ චිත්තයන්හි පවා යම්හෙයකින් වෙත්ද එහෙයින් මොවුන්ගේම වශයෙන් මෙහි සංඛාර ඛන්‍ධ දක්වන ලදී. චත්තාරි මහාභූතානි යන මෙහි චත්තාරි යන ගණන පරිච්ඡේද කිරිමයි. මහාභූතානි යනු පඨවි ආපෝ-තේජෝ-වායෝ යන මොහුය. යම් කරුණකින් වනාහි ඔවුහු මහාභූතයෝ යයි කියනු ලැබෙත් ද, මෙහි අන්‍ය වූ යම් විනිශ්චය නයකුත් ඒ සියල්ල විසුද්ධි මාර්ගයෙහි රූපක්ඛන්ධ නිද්දෙසයෙහි කියන ලද්දේය.
චතුන්නං ච මහාභූතානං උපාදාය යන මෙහි චතුන්නං යනු උපයෝග (කර්ම) අර්ථයෙහි සාමි වචනයි. සතර මහාභූතයන් යි කියන ලද වෙයි. උපාදාය යනු උපාදානය කොටගෙන යන අර්ථයි. ඇතැම් ආචාර්ය කෙනෙක් නිශ්‍රය කොට යයි ද, (අරුත් බෙණෙති) වත්තමානං යන මෙයද මෙහි පාඨ ශේෂයි. නොහොත් මෙය සමූහ අර්ථයෙහි සාමි වචනයි. එබැවින් සතර මහා භූතයන්ගේ සමූහය ගෙන හෙවත් ඇසුරුකොට පවත්නා වූ රූපයයි මෙහි අර්ථය දතයුතුය. මෙසේ සියලු තන්හිම පඨවි ආදි සතර මහා භූත කෙනෙකුන් වෙත් ද, සතරමහා භූතයන් නිසා පවත්නා වූ යම් චක්ඛු ආයතනාදි භේදයෙන් අභිධර්ම පෙළෙහි වදාළ තෙවිසිවැදෑරුම් රූපයකුත් වේද ඒ සියල්ල රූපයයි දතයුතුයැ. විඤ්ඤාණ සමුදයා යන මෙහි යම් විඤ්ඤාණයක් යම් නාමයකටද යම් රූපයකටද යම් නාමරූපයකටද ප්‍රත්‍ය වේනම් ඒ පටිසන්ධි විඤ්ඤාණයාගේ හටගැනීමෙන් නාම රූපයන්ගේ හටගැනීම දතයුතු. සෙස්ස කී නයමැයි.
13. විඤ්ඤාණ වාරය
විඤ්ඤාණ වාරයෙහි චක්ඛු විඤ්ඤාණං යනු ඇසෙහි විඤ්ඤාණය හෙවත් ඇස හේතුකොට හටගත් විඤ්ඤාණය නුයි චක්ඛු විඤ්ඤාණ නම් වේ. සොත- සාන-ජීව්හා-කාය විඤ්ඤාණයෝ ද මෙසේයි. අන්‍ය වූ මනො විඤ්ඤාණ නම් චිත්තයම විඤ්ඤාණ වූයේ නුයි මනෝ විඤ්ඤාණ නම් වේ. දෙපස් විඤ්ඤාණයන් තොරකොට ඇති තෙභූමක විපාක චිත්තයට මේ මනෝ විඤ්ඤාණ යනුම කී. සංඛාර සමුදයා යන මෙහි යම් සංඛාරයක් තෙම යම් විඤ්ඤාණයකට ප්‍රත්‍යය වේද, ඒ සංඛාරයාගේ වශයෙන් විසුද්ධි මාර්ගයෙහි, කී අයුරින්ම සංඛාරයන්ගේ හටගැනීමෙන් විඤ්ඤානයාගේ හටගැනීම දතයුතුය. සෙස්ස කී නයමැයි.