7. උපාදාන වාරය
උපාදාන වාරයෙහි කාමූපාදානං යනාදි තන්හි, මේ කරණකොට ගෙන වස්තු සංඛ්යාත කාමය දැඩිකොට ගනිත්, තෙමේ හෝ වස්තුකාමය, දැඩිකොට ගනීනුයි ‘කමුපාදාන’ නම් වේ. කාම වූයේත් හේය, උපාදාන වූයේත් හේය කාමූපදාන නම් වේ. උපාදානං යයි දැඩිකොට ගැනීම කියනු ලැබේ. ඒ එසේමැයි. මෙහි උපශබ්දය තෙම දෘඪාර්ථය, උපායාස උපකුට්ඨ යනාදියෙහි මෙනි. කාමූපදාන (කාමූපාදාන) යන මේ වචනය පඤ්චකාමගුණික රාගයට නමකි. මේ කියන ලද්දේ මෙහි සංක්ෂේපයයි. මෙය විස්තර වශයෙන් වනාහි තත්ථ කතමං කාමූපාදානං, යො කාමෙසු කාමච්ඡෙන්දො වදාළ ආකාරයෙන් දතයුතු.
දිට්ඨි වූවත් උපාදාන වූවත් ඕ තොමෝම නුයි, දිට්ඨුපාදාන නම් වේ. නැතහොත් දිට්ඨිය දැඩිකොට ගනියි හෝ මේ කරණකොටගෙන දිට්ඨිය දැඩිකොට ගනිත්නුයි. දිට්ඨූපදාන නම් වන්නීය. පළමු ගත් මිථ්යා දිට්ඨිය පසුව ගත් දෘෂ්ටි තොමෝ දැඩිකොට ගනී. එහෙයින් වදාළහ. සස්සතො අත්තාච ලොකොච ඉදමෙව සච්චං මොඝමඤ්ඤං යනුවෙන් සීලබ්බත උපාදාන, අත්තවාද උපාදානයන්ගෙන් තොර සියලු දෘෂ්ටිගතයනට නමකි. මේ මෙහි සංක්ෂේපයයි විස්තර වශයෙන් වනාහි මේ පදය, තත්ථ කතමං දිට්ඨූපාදානං? නත්ථි දින්නං යනුවෙන් වදාළ නයින්ම දතයුතුය.
එසේම මේ කරණකොටගෙන සත්ත්වයෝ සීලබ්බතය දැඩිකොට ගනිත් තෙමේ හෝ ඒ මිථ්යා දර්ශනය දැඩිකොට ගනීනුයි, නොහොත් සීලබ්බත වූයේද, හේයැ. උපාදාන වූයේත් හේ නුයි සීලබ්බතූපාදාන නම් වේ. ගෝසීල ගෝව්රතාදීහුම මෙසේ ශුද්ධිය වේයයි අභිනිවේශය කරන්නහුට තුමූම උපාදානයෝ නම් වෙති. මේ එහි සංක්ෂේපයයි. විස්තර වශයෙන් වනාහි මෙය තත්ථ කතමං සීලබ්බතූපාදානං ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි යයි වදාළ ක්රමයෙන්ම දතයුතුය.
එපරිද්දෙන්, මේ කරණකොටගෙන කියත්නුයි ‘වාද’ නම් වේ. මේ කරණකොට දැඩිකොට ගනිත්නුයි උපාදාන නම් වේ. කුමක් කියත්ද? කුමක් දැඩිකොට ගනිත්ද යත්, ආත්මයයි දැඩිකොට ගනීනුයි ආත්මවාද උපාදාන නම් වේ. ආත්මය යන වචන මාත්රයම හෝ මේ කරණකොටගෙන ආත්මය යයි දැඩිකොට ගනීනුයි ආත්මවාද උපාදාන නමි. මේ විසිවැදෑරුම් සක්කාය දිට්ඨියට නමකි. මේ මෙහි සංක්ෂෙපයයි. විස්තර වශයෙන් වනාහි මේ ආත්මවාද උපාදානය, තත්ථ කතමං අන්තවාදූපාදානං ඉධ අස්සුතවා පුථුජ්ජ නො අරියානං අදස්සාවී යයි වදාළ ක්රමයෙන්ම දතයුතුය.
තණ්හා සමුදයා යන මෙහි තණ්හා තොමෝ කාමොපාදානයම උපනිශ්රය වශයෙන් හෝ අනන්තර-සමනන්තර-නත්ථි-විගත-ආසේවන වශයෙන් හෝ ප්රත්යවෙයි. සෙසු උපාදානයන්ට වනාහි සහජාත ආදි වශයෙන් ද ප්රත්යය වෙයි. සෙස්ස කී නයමැයි.
8. තණ්හා වාරය
තණ්හා වාරයෙහි රූප තණ්හා -පෙ- ධම්ම තණ්හා යනු චක්ඛු ආදි ද්වාරයන් සම්බන්ධව පැවැති තණ්හාවයි. සිටුපුත්ය, බමුණුපුත්ය, යන මේ ආදියෙහි පියා කෙරෙන් ආ නාමය මෙන් පියා වැනි වූ අරමුණ කෙරෙන් ආ නමකි. මෙහිදු රූපය අරමුණුකොට ඇති තණ්හා තොමෝ රූපයෙහි තෘෂ්ණාව වේනුයි රූප තණ්හා නමි. එම රූප තණ්හාව, කාමරාග භාවයෙන් රූපාරම්මණය ආස්වාදනය කරමින් පවත්නී කාමතණ්හා නම් වන්නීය. සස්සත දිට්ඨි, සහගත රාග බැවින් යුතුව රූපය නිත්යය, සදාකාලිකය, ශාස්වතයැයි මෙසේ ආස්වාදනය කරමින් පවත්නා වූ තෘෂ්ණාව භවතණ්හා නම් වේ. උච්ඡෙද දිට්ඨි සහගත රාග භාවයෙන් රූපය සිඳෙයි. නැසෙයි. පරලොවක් නොවන්නේ යයි මෙසේ ආස්වාදනය කරමින් පවත්නී විභව තණ්හාව යයි ත්රිවිධ වෙයි. රූප තණ්හා තොමෝ යම්සේ ද, ශබ්ද තණ්හා ආදිහුද එසේ වෙති. මේ තෘෂ්ණාවගේ අටලොස් ප්රභේදයෝ වෙති. ඒවා අධ්යාත්ම රූපාදියේ අටලොසක්ද, බාහිර රූපවල අටලොසක්දැයි සතිසක් ප්රභේදයෝ වෙති. මෙසේ අතීතයෙහි සතිසෙකැයි අනාගතයෙහි සතිසෙකැයි වර්තමානයෙහි සතිසෙකැයි එකසිය අටක් ප්රභේදයෝ වෙති.
නැතහොත්, අජ්ඣත්තිකස්සුපාදාය අස්මිති සති ඉත්ථස්මිති හොති, යන මේ ආදි වූ අධ්යාත්මික-රූපාදිය ඇසුරු කළාහු අටලොසෙක, බාහිරස්සුපාදාය ඉමිනා අස්මිති සති ඉමිනා ඉත්ථස්මිති හොති යනුවෙන් බාහිර රූපාදිය ඇසුරුකළ අටලොසකැයි සතිසක් මෙනි. මේ නයින් අතීතයෝ සතිසෙකි. අනාගතයෝ සතිසෙක, වර්තමානයේ සතිසෙකැයි මෙසේත්. එකසිය අටක් තෘෂ්ණා ප්රභේදයෝ මෙනි.
යලි සංග්රහ කරනු ලබන කල්හි රූපාදි ආරම්මණයන්හි සයක්ම තෘෂ්ණා කායයෝද තුනක්ම කාම තණ්හාදීහු වෙත්යයි මෙසේ
නිද්දෙසත්ථෙන නිද්දෙස විත්ථරා විත්ථරස්සච
පුන සංගහතො තණ්හා විඤ්ඤාතබ්බා විභාවිනා
පුන සංගහතො තණ්හා විඤ්ඤාතබ්බා විභාවිනා
(නිර්දේශාර්ථයෙහි වූ තණ්හා ශබ්දයෙන්, නිර්දේශ විස්තර වශයෙන් ද, විස්තර වූවහුගේත් නැවත සංග්රහ වශයෙන් ද, නුවණැත්තහු විසින් තණ්හා තොමෝ දතයුත්තීයි)
වෙදනා සමුදයා, මෙහි වනාහි වෙදනා යනු විපාක වේදනාව අදහස් කරන ලදී. එය සදොර තණ්හාවට කෙසේනම් ප්රත්යවේද යත්, ආස්වාද කළ යුතු බැවිනි. සැබව, සැප වේදනාවෙහි ආස්වාදනය හේතු කොටගෙන සත්ත්වයෝ එම වේදනාවට මමත්වය කරන්නාහු වේදනාවෙහි තණ්හාව උපදවා සැපවේදනා රාගයෙන් ඇලුනාහු චක්ඛු - ද්වාරයෙහි ඉෂ්ට වූම රූපයක් ප්රාර්ථනා කෙරෙති. නැවත ලද්දාහු එය ආස්වාදනය කෙරෙති. සැප ආරම්මණ දායක වූ චිත්තකාර ආදීන්ට සත්කාර කෙරෙති. සෝත ද්වාර ආදියෙහිද එසේමය. ඉෂ්ට වූ ශබ්ද ආදීන් පතත්, ලද්දා වූ ඒ ශබ්දාදීන් ආස්වාදනය කරති. ආලම්බන දායක වූ වීණා වාදකය, සුවඳකරුය, අරක්කැමිය, පෙහෙරුය විවිධ ශිල්ප දක්වන්නවුන් යනාදීන්ට සත්කාර කෙරෙති. කුමක් මෙන්ද යත් පුත් සෙනෙහසින් පුතුට මමත්වය කරන්නහු කිරිමටද යම්සේ සත්කාර කෙරෙත් ද සැප වූ ගිතෙල් කිරි ආදියම ඇයට පොවත් ද වළඳවත් ද, සෙස්ස කී නියායෙන්ම දතයුතුයැ.
9. වෙදනා වාරය
වේදනාවාරයෙහි වෙදනාකායා, වේදනා සමූහයෝ චක්ඛු සම්ඵස්සජා වෙදනා -පෙ- මනො සම්ඵස්සජා වෙදනා යනුවෙන් වූ මෙය චක්ඛුසම්ඵස්සජා වෙදනා, අත්ථි කුසලා අත්ථි අකුසලා අත්ථි අව්යාකතා යනුවෙන් විභංගයෙහි ආ බැවින්, චක්ඛු ද්වාර ආදියෙහි පැවැති කුසල-අකුසල-අව්යාකත වේදනාවන්ට සාරිපුත්ත, මන්තානිපුත්ත යන මේ ආදි නාමයන්හි, මවු කෙරෙන් ආ නාමය මෙන් මාතෘ සමාන වූ වස්තුවක් කෙරෙන් ආ නාමයකි. මෙහි වචනාර්ථය වනාහි චක්ඛු සම්ඵස්ස හේතුවෙන් උපන් වේදනාව චක්ඛුසම්ඵස්සජා වේදනා නම් වන්නීය. සියලු තන්හි මේ ක්රමයයි. මේ පළමුකොට දක්වන ලද්දේ සර්ව සංග්රාහිකා කථාය.
විපාක වශයෙන් චක්ෂුර් ද්වාරයෙහි චක්ෂුර් විඥානයෝ දෙදෙනය. මනෝධාතුහු දෙදෙනය. මනෝවිඥාන ධාතූහු තිදෙන යන මොවුන් හා සම්පයුත්ත වශයෙන් (චක්ඛසම්ඵස්ස හේතුවෙන් උපන්) වේදනාව දතයුතුය. සෝත ද්වාරයේද මේ ක්රමයමයි. මනෝ ද්වාරයෙහි මනෝ විඥානධාන සම්ප්රයුක්ත වූ වේදනාව මැයි.
ඵස්ස සමුදයා යන මෙහි පඤ්ච ද්වාරයෙහි සහජාත චක්ඛු සම්ඵස්සාදීන්ගේ සමුදය හේතුවෙන් පඤ්ච වත්ථුක වේදනාවන්ගේ සමුදය වෙයි. අවශේෂ වූවනට චක්ඛු සම්ඵස්සාදීහු උපනිශ්රයාදි වශයෙන් ප්රත්යය වෙති. මනෝද්වාරයෙහි තදාලම්බන වේදනාවන්ගේද අද්වාරික වූ පටිසන්ධි-භවාංග-ච්යුති-වේදනාවන්ගේද සහජාත වූ මනෝ සම්ඵස්ස සමුදය හේතුකොටගෙන පහළවීම වේයයි දතයුතුයි. සෙස්ස කී නයමැයි.
10. ඵස්ස වාරය
ඵස්සවාරයෙහි ඇසෙහි ස්පර්ශයයි. සියලු තන්හි මේ ක්රමයමැයි. චක්ඛු සම්ඵස්සො -පෙ- කාය සම්ඵස්සො මෙතෙක් කුසලාකුසල වූ පඤ්ච වස්තුක වූ ස්පර්ශයෝ දසදෙන වදාරණ ලද්දාහු වෙති. මනොසම්ඵස්සො යන මේ වචනයෙන් පසු දෙවිසි ලෞකික විපාකයන් හා ඒකෝත්පාද තාදි භාවයෙන් සම්පයුත්ත වූ ස්පර්ශයෝ වදාරණ ලද්දාහුය. නාමරූප සමුදයා යනු චක්ඛු ආයතන ආදී වූ සවැදෑරුම් ආයතනයන්ගේ හටගැනීම හේතුකොටගෙන මේ සවැදෑරුම් වූ ඵස්සයාගේ හටගැනීම වේයයි දතයුතුයි. සෙස්ස කී නය ඇත්තේම වෙයි.