4. ජරා මරණ වාරය
මෙතැන්සිට පටිච්ච සමුප්පාද වශයෙන් දේශනා තොමෝ එයි. එහි පළමුකොට ජරා මරණ වාරයෙහි තෙසං තෙසං යන මෙය සංක්ෂේපයෙන් නොයෙක් සත්ත්වයන්ගේ සාධාරණ නිර්දේශ යයි දතයුතුය. දේවදත්තගේ යම් දිරීමක් වේද, සෝමදත්තගේ යම් දිරීමක් වේද යනුවෙන් දවසකුත් කියන්නහුට සත්ත්වයෝ අවසන් නොවෙත් ම ය. මේ පදයෙන් කිසි සත්ත්වයෙකු ඇතුළත්කොට නොගන්නා ලද්දේ නොවෙයි. එහෙයින් මෙය සංක්ෂේපයෙන් නොයෙක් සත්ත්වයන්ගේ සාධාරණ නිර්දේශයයි කියන ලදී.
තම්හි තම්හි යන මෙය ගති ජාති වශයෙන් නොයෙක් සත්ත්ව නිකායන්ගේ සාධාරණ නිර්දේශයයි. සත්ත නිකායෙ යනු සාධාරණ නිර්දේශයෙන් දක්වන ලද්දහුගේ ස්වරූපයෙන් දැක්වීමය. ජරා ජීරණතා යනාදියෙහි ජරා යනු ස්වභාව නිර්දේශයයි. ජීරණතා යනු ආකාර නිර්දේශයයි. ඛණ්ඩිච්චං යනාදීහු කල්යාමේ දී කෘත්ය නිර්දේශයයි. පසුව කී පද දෙක ප්රකෘති නිර්දේශයෝ යි. එසේත්මැයි මේ ජරා තොමෝ ජරා යන පදයෙන් ස්වභාව වශයෙන් දක්වන ලදී. එහෙයින් මේ ජරා යන පදය ජරාවගේ ස්වභාව නිර්දේශයයි. ජීරණතා යන පදයෙන් ආකාර වශයෙන් ජරාව දක්වන ලද්දී වෙයි. එහෙයින් මේ පදය ඒ ජරාවගේ ආකාර නිර්දේශයයි. ඛණ්ඩිච්චං යන මේ පදයෙන් කල්යාමේ දී දත් නියපොතුවල කැඩුනු බව සිදුකරන්නා වූ කෘත්යයෙන් ජරාව දක්වන ලද්දාහු වන්නීය. පාලිච්චං යන මේ පදයෙන් කේස ලෝමයන්ගේ පැසුණු බව ඇතිකරවන කෘත්ය වශයෙන් දක්වන ලද්දීය.
චලිත්තචතා මෙයින් මස් වියලවා හමෙහිද රැලි නංවන කෘත්ය වශයෙන් දක්වන ලද්දීය. එහෙයින් මෙම ඛණ්ඩිච්චං යනාදි පද තුන කල් ඉක්මයාමේදී එම ජරාවගේ කෘත්ය නිර්දේශයෝය. ඒ පද තුනෙන්ම මේ විකාරයන් දැක්වීම වශයෙන් ප්රකට වූ ප්රකට ජරා තොමෝ දක්වන ලදී.
එසේම, දියෙහි හෝ වාතයෙහි හෝ ගින්නෙහි හෝ තෘණ වෘක්ෂ ආදින්ගේ හාත්පසින් බිඳීගිය බැවින් හෝ දාගිය බැවින් හෝ ගියමග යම්සේ ප්රකට වූයේද ඒ ගියමග උදකාදීහුම නොද වෙන්ද, එසේම ජරාව විසින් දත් ආදීන්ගේ කැඩුනු බැව්, ආදීන්ගේ වශයෙන් ගියමග ප්රකට වූයේ ඇස දල්වාත් අරමුණු වශයෙන් ඇස දල්වාගනු ලැබේද, කැඩුනු බැව් ආදීහු ජරා නොම වෙති. ඒ එසේමැයි. ජරාව චක්ඛු විඤ්ඤෙය්ය නොම වෙති.
ආයුනො සංහාති ඉන්ද්රියානං පරිපාකො යන මෙම පදයන්ගෙන් වනාහි කාලය ඉක්ම යාමෙන්ම අතිශයින් ප්රකට වූ ආයුෂ පිරිහීම, චක්ෂුරාදි ඉන්ද්රියයන්ගේ මුහුකුරා යාම නම් වූ ප්රකෘති වශයෙන් ජරාව දක්වන ලද්දීය. එහෙයින් මෙම පසුව කී දෙපදයෝ ජරාවගේ ප්රකෘති නිර්දේශයෝ යයි දතයුත්තාහුය.
ඒ ජරා නිර්දේශයෙහි, යම් හෙයකින් ජරාවට පැමිණියහුගේ ආයු පිරිහේ ද එහෙයින් ජරාතොමෝ ආයුනො සංහානි යනුවෙන් ඵලොපචාර වශයෙන් වදාරණ ලදී.
තව ද යම්හෙයකින් තරුණ කාලයෙහි වෙසෙසින් ප්රසන්න වූ ද, සියුම් වූ ද තමහට විෂය වූ අරමුණ සුවසේ ගැනීමට සමර්ථ වූ චක්ෂුරාදි ඉන්ද්රියයෝ ජරාවට පැමිණියහුගේ මේරීමට ගියාහු කැළඹුනා වූ නොපැහැදුනා වූ ඕලාරික වූත් තමහට විෂය වූ අරමුණ ගන්නට අසමර්ථ වූවාහු වෙත්ද, එහෙයින් ඉන්ද්රියානං පරිපාකො ඉඳුරන්ගේ මෝරායාමයයි ඵලොපචාර වශයෙන් වදාරණ ලද්දීය. මෙසේ දක්වන ලද සියලුම ජරා තොමෝ ප්රකටජරාය, පටිච්ඡන්න ජරාය යයි විවිධ වෙයි.
ඔවුනතුරෙහි දන්තාදීන්ගේ බණ්ඩභාව ආදිය දක්නා ලබන හෙයින් රූප ධර්මයන්හි මෝ තොමෝ ප්රකට ජරා නමු. එතකුදු වුවත් අරූප ධර්මයන්හි ජරා තොමෝ එබඳු විකාරයක්හුගේ නොදක්වන බැවින් පටිච්ඡන්න ජරා නම් වේ.
[missing trans] නැවත අවීචි සවීචි (අතරක් නැති-අතරක් ඇති) යනුවෙන් ජරාව දුවිධ වන්නීය. එම දුවිධ ජරාවන් අතුරෙහි මණි-කනක-රජත-පවාළ චන්ද-සුරිය ආදීන්ගේ මෙන්ද, මන්දදසක ආදි අවස්ථාවන්හි ප්රාණීන්ගේ මෙන්ද මල් ඵල පලු ආදි අවස්ථාවන්හි අප්රාණීන්ගේ මෙන්ද අතරතුර වර්ණ විශේෂාදීන්ගේ නොදතහැකි බව හෙයින් එම ජරාව අවීචි ජරා නම් වේ. නිරන්තර ජරාය යන අර්ථයි. මණි කනක ආදි වස්තූන් කෙරෙන් අන්ය වූ දන්ත ආදීන්හි අතරතුර වර්ණ විශේෂාදීන් හෝ සුවසේ දතහැකි බව නිසා එම ජරාව සවීචි ජරා නමයි දතයුත්තාහුය.
මෙයින් මතුයෙහි තෙසං තෙසං යන ආදිය කී නියායෙන් දතයුතුය. චුති චවන්තා යනාදියෙහි වනාහි, චුති යනු චුතවීම වශයෙන් කියනු ලැබේ. එකස්කන්ධ චතුස්කන්ධ පඤ්චස්කන්ධයන්ට මෙය සාමාන්ය වචනයකි. වචන්තා යන භාවප්රත්ය යුක්ත වචනයෙන් ලක්ෂණ දැක්වීමයි. භෙදො යන වචනයෙන් ච්යුතිස්කන්ධයන්ගේ භංගය උප්පත්තිය දැක්වීමයි. අන්තරධානං යනු බිඳුනු කළයෙහි මෙන් බිඳුනා වූ චුතිස්කන්ධයන්ගේ යම්කිසි පරියායකින් නොපැවැත්ම දැක්වීමයි.
මච්චුමරණං, මච්චු නම් වූ මරණයයි. ඒ වචනයෙන් සමුච්ඡේද මරණය වළකයි. කාල නම් අන්තකයාය (මාරයාය) ඔහුගේ කිරියාව කාලකිරියා නම් වේ. මෙයින් ලෝක සම්මත මරණය දක්වයි.