5. ජාති වාරය
ජාති වාරයෙහි, ජාතිසඤ්ජාති, යනාදි තන්හි ඉපදීම් අර්ථයෙන් ජාති නම් වන්නීය. ඕ ජාති තොමෝ නොපිරිපුන් ආයතන ඇත්තවුන්ගේ වශයෙන් කියන ලද්දී, මනාව ඉපදීම් අර්ථයෙන් සඤ්ජාති නමි. ඕ තොමෝ පිරිපුන් අවයව ඇත්තවුන්ගේ වශයෙන් කියන ලදී. මව්කුසට පිවිසීම් අර්ථයෙන් ඔක්කන්ති නමි. ඕ තොමෝ අණ්ඩජ, ජලාබුජ යෝනි වශයෙන් කියන ලද ඔවුහු අණ්ඩ කෝෂයෙහිද වස්ති කෝෂයෙහි පිළිසිඳ ගන්නාහු පිවිසෙන්නවුන් මෙන් පිළිසිඳ ගනිත්. ප්රකට වූ ඉපදීමය යන අර්ථයෙන් අභිනිබ්බත්ති නම් වන්නීය. මෝ පළමුකොට දක්වන ලද්දී වෝහාර දේසනා නම් වන්නීය.
දැන් පරමාර්ථ දේශනා තොමෝම වන්නීය. පරමාර්ථ වශයෙන් ස්කන්ධයෝම පහළ වෙති. සත්ත්වයෙක් පහළ නොවෙයි. ඒ පරමාර්ථ දේශනාවෙහි ඛන්ධානං යනු එකවොකාර භවයෙහි එක රූපස්කන්ධයකගේ ගැනීමද, චතුවෝකාර භවයෙහි, (වෙදනා ආදී වූ) ස්කන්ධ හතරකගේ ගැනීම ද, පඤ්චවොකාර භවයෙහි පඤ්චස්කන්ධයාගේ ගැනීමද දතයුතුයැ. පාතුභාවො ඉපදීම, ආයතනානං යන මේ පදයෙන් ඒ ඒ භවයන්ගේ, උපදින්නා වූ ආයතනයන්ගේ වශයෙන් සංග්රහය දතයුතුය. පටිලාභො යනු සන්තතියෙහි පහළවීම, ඒ එසේමැයි. පහළ වන්නා වූම එම ආයතනයෝ ලැබුවා වූ නාමයෝ ඇත්තෝ වෙති. අයං වුච්චතාවුසො ජාති යන මේ පදයෙන් ව්යවහාර වශයෙන්ද, පරමාර්ථ වශයෙන් ද දෙසූ ජාතිය නිගමනය කෙරෙති. භව සමුදයා යන මෙහි ජාතියට ප්රත්ය වූ කර්මභවය සෙස්ස කී ක්රමයමැයි.
ජාති වර්ණනාව නිමි.
6. භව වාරය
භව වාරයෙහි කම්ම භවො යනු කම්ම භවයද උප්පත්ති භවයද, ඒ ද්විධ භවයන් අතුරෙහි කාම භවනම්, කාමභවයට පැමිණෙන්නා වූ කර්මය මැයි. ඒ එසේමය. කම්ම භවය උප්පත්ති භවයට කරුණු වන බැවින්, සුඛො බුද්ධානං උප්පාදො, දුක්ඛො පාපස්ස උච්චයො යනාදීහු මෙන් ඵල ව්යවහාරයෙන් භවය යයි කියන ලද උප්පත්ති භව නම්, ඒ ඒ කර්මය විසින් උපදවන ලද උපාදිණ්ණ ස්කන්ධ පඤ්චකයයි. එය වනාහි, එම භවයෙහි වේයයි ගෙන භවයයි කියන ලදී. මෙසේ සියලු අයුරින් මේ කර්මයද උප්පත්තියද යන දෙකම මෙහි කම්මභවයයි කියන ලදී. රූප අරූප භවයන්හි ද මෙම ක්රමයමැයි. උපාදාන සමුදයා මෙහි උපාදානය කුසල කම්මභවයට උපනිස්සය වශයෙන් ප්රත්ය වෙයි. අකුසල කර්ම භවයට උපනිස්සය වශයෙන්ද සහජාත වශයෙන්ද ප්රත්ය වෙයි. සියලුම උප්පත්ති භවයට උපනිශ්රය වශයෙන්ම ප්රත්ය වෙයි. සෙස්ස කී ක්රමයමැයි.
7. උපාදාන වාරය
උපාදාන වාරයෙහි කාමූපාදානං යනාදි තන්හි, මේ කරණකොට ගෙන වස්තු සංඛ්යාත කාමය දැඩිකොට ගනිත්, තෙමේ හෝ වස්තුකාමය, දැඩිකොට ගනීනුයි ‘කමුපාදාන’ නම් වේ. කාම වූයේත් හේය, උපාදාන වූයේත් හේය කාමූපදාන නම් වේ. උපාදානං යයි දැඩිකොට ගැනීම කියනු ලැබේ. ඒ එසේමැයි. මෙහි උපශබ්දය තෙම දෘඪාර්ථය, උපායාස උපකුට්ඨ යනාදියෙහි මෙනි. කාමූපදාන (කාමූපාදාන) යන මේ වචනය පඤ්චකාමගුණික රාගයට නමකි. මේ කියන ලද්දේ මෙහි සංක්ෂේපයයි. මෙය විස්තර වශයෙන් වනාහි තත්ථ කතමං කාමූපාදානං, යො කාමෙසු කාමච්ඡෙන්දො වදාළ ආකාරයෙන් දතයුතු.
දිට්ඨි වූවත් උපාදාන වූවත් ඕ තොමෝම නුයි, දිට්ඨුපාදාන නම් වේ. නැතහොත් දිට්ඨිය දැඩිකොට ගනියි හෝ මේ කරණකොටගෙන දිට්ඨිය දැඩිකොට ගනිත්නුයි. දිට්ඨූපදාන නම් වන්නීය. පළමු ගත් මිථ්යා දිට්ඨිය පසුව ගත් දෘෂ්ටි තොමෝ දැඩිකොට ගනී. එහෙයින් වදාළහ. සස්සතො අත්තාච ලොකොච ඉදමෙව සච්චං මොඝමඤ්ඤං යනුවෙන් සීලබ්බත උපාදාන, අත්තවාද උපාදානයන්ගෙන් තොර සියලු දෘෂ්ටිගතයනට නමකි. මේ මෙහි සංක්ෂේපයයි විස්තර වශයෙන් වනාහි මේ පදය, තත්ථ කතමං දිට්ඨූපාදානං? නත්ථි දින්නං යනුවෙන් වදාළ නයින්ම දතයුතුය.
එසේම මේ කරණකොටගෙන සත්ත්වයෝ සීලබ්බතය දැඩිකොට ගනිත් තෙමේ හෝ ඒ මිථ්යා දර්ශනය දැඩිකොට ගනීනුයි, නොහොත් සීලබ්බත වූයේද, හේයැ. උපාදාන වූයේත් හේ නුයි සීලබ්බතූපාදාන නම් වේ. ගෝසීල ගෝව්රතාදීහුම මෙසේ ශුද්ධිය වේයයි අභිනිවේශය කරන්නහුට තුමූම උපාදානයෝ නම් වෙති. මේ එහි සංක්ෂේපයයි. විස්තර වශයෙන් වනාහි මෙය තත්ථ කතමං සීලබ්බතූපාදානං ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි යයි වදාළ ක්රමයෙන්ම දතයුතුය.
එපරිද්දෙන්, මේ කරණකොටගෙන කියත්නුයි ‘වාද’ නම් වේ. මේ කරණකොට දැඩිකොට ගනිත්නුයි උපාදාන නම් වේ. කුමක් කියත්ද? කුමක් දැඩිකොට ගනිත්ද යත්, ආත්මයයි දැඩිකොට ගනීනුයි ආත්මවාද උපාදාන නම් වේ. ආත්මය යන වචන මාත්රයම හෝ මේ කරණකොටගෙන ආත්මය යයි දැඩිකොට ගනීනුයි ආත්මවාද උපාදාන නමි. මේ විසිවැදෑරුම් සක්කාය දිට්ඨියට නමකි. මේ මෙහි සංක්ෂෙපයයි. විස්තර වශයෙන් වනාහි මේ ආත්මවාද උපාදානය, තත්ථ කතමං අන්තවාදූපාදානං ඉධ අස්සුතවා පුථුජ්ජ නො අරියානං අදස්සාවී යයි වදාළ ක්රමයෙන්ම දතයුතුය.
තණ්හා සමුදයා යන මෙහි තණ්හා තොමෝ කාමොපාදානයම උපනිශ්රය වශයෙන් හෝ අනන්තර-සමනන්තර-නත්ථි-විගත-ආසේවන වශයෙන් හෝ ප්රත්යවෙයි. සෙසු උපාදානයන්ට වනාහි සහජාත ආදි වශයෙන් ද ප්රත්යය වෙයි. සෙස්ස කී නයමැයි.
8. තණ්හා වාරය
තණ්හා වාරයෙහි රූප තණ්හා -පෙ- ධම්ම තණ්හා යනු චක්ඛු ආදි ද්වාරයන් සම්බන්ධව පැවැති තණ්හාවයි. සිටුපුත්ය, බමුණුපුත්ය, යන මේ ආදියෙහි පියා කෙරෙන් ආ නාමය මෙන් පියා වැනි වූ අරමුණ කෙරෙන් ආ නමකි. මෙහිදු රූපය අරමුණුකොට ඇති තණ්හා තොමෝ රූපයෙහි තෘෂ්ණාව වේනුයි රූප තණ්හා නමි. එම රූප තණ්හාව, කාමරාග භාවයෙන් රූපාරම්මණය ආස්වාදනය කරමින් පවත්නී කාමතණ්හා නම් වන්නීය. සස්සත දිට්ඨි, සහගත රාග බැවින් යුතුව රූපය නිත්යය, සදාකාලිකය, ශාස්වතයැයි මෙසේ ආස්වාදනය කරමින් පවත්නා වූ තෘෂ්ණාව භවතණ්හා නම් වේ. උච්ඡෙද දිට්ඨි සහගත රාග භාවයෙන් රූපය සිඳෙයි. නැසෙයි. පරලොවක් නොවන්නේ යයි මෙසේ ආස්වාදනය කරමින් පවත්නී විභව තණ්හාව යයි ත්රිවිධ වෙයි. රූප තණ්හා තොමෝ යම්සේ ද, ශබ්ද තණ්හා ආදිහුද එසේ වෙති. මේ තෘෂ්ණාවගේ අටලොස් ප්රභේදයෝ වෙති. ඒවා අධ්යාත්ම රූපාදියේ අටලොසක්ද, බාහිර රූපවල අටලොසක්දැයි සතිසක් ප්රභේදයෝ වෙති. මෙසේ අතීතයෙහි සතිසෙකැයි අනාගතයෙහි සතිසෙකැයි වර්තමානයෙහි සතිසෙකැයි එකසිය අටක් ප්රභේදයෝ වෙති.
නැතහොත්, අජ්ඣත්තිකස්සුපාදාය අස්මිති සති ඉත්ථස්මිති හොති, යන මේ ආදි වූ අධ්යාත්මික-රූපාදිය ඇසුරු කළාහු අටලොසෙක, බාහිරස්සුපාදාය ඉමිනා අස්මිති සති ඉමිනා ඉත්ථස්මිති හොති යනුවෙන් බාහිර රූපාදිය ඇසුරුකළ අටලොසකැයි සතිසක් මෙනි. මේ නයින් අතීතයෝ සතිසෙකි. අනාගතයෝ සතිසෙක, වර්තමානයේ සතිසෙකැයි මෙසේත්. එකසිය අටක් තෘෂ්ණා ප්රභේදයෝ මෙනි.
යලි සංග්රහ කරනු ලබන කල්හි රූපාදි ආරම්මණයන්හි සයක්ම තෘෂ්ණා කායයෝද තුනක්ම කාම තණ්හාදීහු වෙත්යයි මෙසේ