කොට්ඨාස වශයෙන් යනු, පිළිවෙලින් සතක්ද, මිථ්‍යාදෘෂ්ටියද යන අට කර්මපථයෝම වෙති. මූලයෝ නොවෙති. අභිජ්ඣො, ව්‍යාපාදයෝ කර්මපථයෝ ද, මූලයෝ ද වෙති. ඒ එසේමැයි. අභිජ්ඣා තොමෝ. අකුසලයන්ගේ මුල් බවට පැමිණ ලෝභ නම් වූ අකුසල මූලය වෙයි. ව්‍යාපාදය තෙම දෝස නම් වූ අකුසල මූලය වෙයි.
ආරම්මණ වශයෙන් යනු, ප්‍රාණඝාතය, ජීවිතීන්‍ද්‍රිය, ආරම්මණ වශයෙන් සංඛාර ආරම්මණ වෙයි. අදත්තාදානය, සත්තාරම්මණ හෝ සංඛාර ආරම්මණ වෙයි. සත්තාරම්මණය යයිද ඇතැම් ආචාර්ය කෙනෙක් කියති. මිථ්‍යාචාරය ස්පර්ශය ආරම්මණ වශයෙන් සංඛාර ආරම්මණ වේ. සත්තාරම්මණ යයිද ඇතැම් ආචාර්ය කෙනෙක් කියත්. මුසාවාදය, සත්තාරම්මණ හෝ සංඛාර ආරම්මණ වෙයි. එසේම පිසුණාවාච ඵරුසාවාච සත්තාරම්මණ වෙයි. සම්පප්ඵලාපය, දිටඨං-සුත-මුත-විඤ්ඤාත වශයෙන් සත්තාරම්මණ හෝ සංඛාරම්මණ හෝ වෙයි. එසේම අභිධ්‍යාව හා ව්‍යාපාදය සත්තාරම්මණ වෙයි. මිච්ඡා දිට්ඨිය, තේභූමක ධර්ම වශයෙන් සංඛාර ආරම්මණ වේ.
වේදනා වශයෙන්, ප්‍රාණඝාතය තෙම දුක්ඛ වේදනා වෙයි. එය එසේමැයි. කිසිසේත් රජවරු සොරෙකු දැක සිනහ සෙමිනුදු යවු ඔහු නසවු යයි කියත්ද, එතකුදු වුවත් ඔවුන්ගේ නිශ්චයාත්මක චේතනාව දුක්ඛ සම්පයුත්ත වූවාම වෙයි. අදත්තාදානය ත්‍රිවේදනායැ. මිථ්‍යාචාරය සුඛාපේක්‍ෂා වශයෙන් වේදනායැ. (සන්නිට්ඨාපක) නිශ්චයාත්මක චේතනාව උපේක්‍ෂා වේදනාව වෙයි. මුසාවාදය, ත්‍රිවේදනාව වෙයි. පිසුනාවාචාද එබඳුයැ. ඵරුසාවාචා, දුක්ඛ වේදනාව වෙයි. සම්පප්ඵලාපය ත්‍රිවේදනා වෙයි. අභිජ්ඣාව, සුඛ මජ්ඣත්ත වශයෙන් ද්විවෙදනා වෙයි. මිච්ඡා දිට්ඨියද එබඳුය. බ්‍යාපාදය - දුක්ඛවේදනා වෙයි.
මූලතො මූල වශයෙන් ප්‍රාණඝාතය දෝස-මෝහ වශයෙන් ද්විමූලක වේ. අදින්නාදානය දෝස-මෝහ වශයෙන් හෝ ලෝභ-මෝහ වශයෙන් හෝ ද්විමූලක වෙයි. මිථ්‍යාචාරය ලෝභ-මෝහ වශයෙන් විමූලකයැ. මුසාවාදය දෝස-මෝහ වශයෙන් හෝ ලෝභ-මෝහ වශයෙන් හෝ ද්විමූලකයැ. පිසුණාවාචාවත් සම්පප්ඵලාපයත් එසේය. පරුෂ වචනය ද්වේෂ මෝහ වශයෙන් ද්විමූලකයැ. අභිජ්ඣාව මෝහ වශයෙන් එක් මුලක් ඇත්තී වෙයි. ව්‍යාපාදයත් එසේය. මිථ්‍යාදෘෂ්ටිය - ලෝභ - මෝහ දෙමුලක් ඇත්තී යයි (දතයුතුයැ).
ලොහො අකුසල මූලං යනාදියෙහි ලෝභ කෙරේනුයි ලෝභ නම් වේ. නොසතුටු වේනුයි දෝස නම් වෙයි. මුලා වේනුයි මෝහ නම් වේ. ඔවුන් අතුරෙහි ලෝභය සාවද්‍ය දුක්ඛ විපාක අර්ථයෙන් තෙමේත් අකුසල වෙයි. මේ පාණාතිපාත අකුසලයන් අතුරෙන් කිසිවෙකුට කිසිවෙකුම සම්පයුත්ත ප්‍රභාව අර්ථයෙන්ද කිසිවෙකුට උපනිස්සය ප්‍රත්‍යාර්ථයෙන් ද මුල් වූයේනුයි අකුසල මූල නම් වේ. මෙසේත් කියන ලදී. රත්තො ඛො ආවුසො රාගෙන, අභිභූතො පරියාදිණ්ණ චිත්තො පාණම්පි හනති යනාදියයි. දෝස මෝහයන්ගේ අකුසල මූල භාවයෙහි ද මේ නයයි.
කුසල කම්මපථ
පාණාතිපාතා වේරමණී කුසලං යනාදියෙහි පාණාතිපාතාදීහු කියන ලද අය ඇත්තාහුමය. වෛරය හරිනුයි වෙරමණි නම් වේ. වෛරය දුරුකරයි යන අර්ථයි. මෙයට කාරණ වූ මෙය කරණ කොටගෙන පුද්ගල තෙම වෛරය කෙරෙන් වෙන්වේනුයි, (විරමණී යයි කිවයුත්තෙහි) ‘වි’ කාරයට ‘වෙ’ කාරය කොට ද, වෙරමණී නම් වේ. මෝ පළමුකොට දක්වන ලද මෙහි ව්‍යඤ්ජනයන්ගේ වශයෙන් වර්ණනායැ. අනතුරුව අර්ථ වශයෙන් වර්ණනා කරනු ලැබේ. වෙරමණී යනු කුසල චිත්ත සම්ප්‍රයුත්ත විරතියයි. ඕතොමෝ ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුගේ, යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති යයි මෙසේ වදාරණ ලද කුසල් සිත හා යෙදුන විරතියයි. එය භේද වශයෙන් ත්‍රිවිධ වේ. සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡෙද විරති යයි කියා, ඔවුනතුරෙහි සමාදන් නොවූ ශික්‍ෂාපද ඇති, තමාගේ ජාතිය, වයස, බහුශ්‍රැත බව ආදිය ප්‍රත්‍යවේක්‍ෂා කොට අපට මෙබන්දක් කරන්ට අයුතුයයි පැමිණි වස්තුව ව්‍යතික්‍රමණය නොකරන්නවුන්ට උපදනා වූ විරති තොමෝ සම්පත්ති විරතියයි දතයුතුය. හෙළදිව චක්කන නම් උපාසක තැනට මෙනි.
චක්කන උපාසකතුමා
චක්කන උපාසකගේ මවට ඔහු තරුණ කාලයේදීම රෝගයක් උපනි. වෙදා විසින් අමු සා මස් ලබන්ට සුදුසු යයි කියන ලදී. එහෙයින් චක්කනගේ සහෝදර තෙම දරුව යන්න, කෙතෙහි ඇවිද බලන්න යයි චක්කනව යැවීය. එහෙම එහි ගියේ එසමයෙහිම එක් සාවෙක් තරුණ සස්‍ය කෑමට පැමිණියේ වෙයි. ඌ ඔහු දැක වේගයෙන් දුවන්නේ වැලකින් බැඳුනේ කිරි කිරි යනුවෙන් ශබ්ද නැගුවේය. චක්කන ඒ ශබ්දයෙන් ගොස් ඔහු අල්වාගෙන මවට බෙහෙත් කෙරෙමියි සිතීය. නැවත මෙසේ සිතී, යම්බඳු වූ මම මවගේ ජීවිතය හේතුකොට අනෙකෙකු දිවියෙන් තොර කරන්නෙම් ද, මේ දිවි තොර කිරීම මට සුදුසු නොවේ යයි ඉක්බිති එම සාවාට යව, වනයෙහි සාවුන් සමග තණ දිය වළඳවයි මුදාහැරියේය. සහෝදරයා විසින්ද කිම දරුව සාවෙකු ලද්දේදැයි විචාරණ ලද්දේ එපුවත කීවේය. එවිට සහෝදර තෙමේ ඔහුට පරිභව කළේය. උපාසක තෙම මව වෙතට ගොස් මම යම්කලෙක පටන් මේ මිනිස්බවෙහි උපන්නෙම් ද, එතැන් සිට දැන දැන සතෙකු දිවියෙන් තොර කරවූයෙම් නොදනිමි. මෙම ඇත්ත කියා අධිෂ්ඨාන කළේය. එකෙනෙහිම ඔහුගේ මව සුව වුවා විය.