අරණ්‍යවාසය
මෙසේ කී කල්හි බ්‍රාහ්මණ තෙම මෙසේ සිතී. ශ්‍රමණ භවත් ගෞතම තෙම සර්වඥ බව ප්‍රතිඥා කරයි. අද දක්වාත් අරණ්‍යවාසය අත් නොහරියි. ඔහු විසින් කළයුතු අන් කිසිවක් ඇද්දැයි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ අදහස දැන මෙම අජ්ඣාසයානු සන්ධියෙහි (පිහිටා) සියා ඛො පන තෙ යනාදිය වදාළහ.
සියා ඛො පන තෙ බ්‍රාහ්මණ එවමස්ස යනුවෙන් බ්‍රාහ්මණය, ඔබට කිසිවිටෙක මෙබඳු සිතක් වන්නේය. න ඛො පනෙතං බ්‍රාහ්මණ, එවං දට්ඨබ්බං බමුණ, ඔබ විසින් මේ මාගේ පත්ත සේනාසන ඇසුරු කිරීම වනාහි පහනොකළ රාගාදිය ඇති බැවිනැයි, මෙසේ නොදතයුතුය. මෙසේ පත්ත සේනාසන පටිසේවනය හේතුරහිත බව ප්‍රතික්‍ෂෙප කොට කරුණු දක්වන සේක්, දෙව ඛො අහං ආදිය වදාළහ. එහි අර්ථයම අත්‍ථවස නම් වේ. එහෙයින්, දෙව ඛො අහං බ්‍රහ්මණ අත්‍ථවසෙ යනුවෙන් බ්‍රාහ්මණය, මම වනාහි අර්ථ දෙකක් කාරණා දෙකක් දක්නෙම්. කියන ලද්දේ වෙයි. අත්තනොච දිට්ඨධම්ම සුඛවිහාරං යන මෙහි දිට්ඨධම්ම නම් පෙනෙන්නා වූ මේ ආත්මභාවයයි. ඵාසුවිහාර නම් සතර ඉරියව්වල පහසුතාවයයි. යම් හෙයකින් වනයෙහි හුදකලා වූවහුට යටත් පිරිසෙන් වනයෙහි උච්චාර - පස්සාව කර්මයෙහි සිට සියලු ඉරියාපථයෝ පහසු වෙති. එහෙයින් දිට්ඨධම්ම සුඛ විහාරං යන ඉහාත්ම සැප විහරණයම දිටඨධම්ම සුඛ විහාර වශයෙන් දතයුතුයැ.
පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානො යනු, කෙසේනම් අරණ්‍යවාසයෙන් පශ්චිම ජනතා තොමෝ අනුකම්පා ලැබුවා වේද? සැදැහැයෙන් සසුන් වන් කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේගේ අරණ්‍යවාසය දැක, භාග්‍යවතුන් වහන්සේ පවා අරණ්‍ය සේනාසන අත් නොහරිති. ඒ භාග්‍යවතුන් වහන්සේට පරිඤ්ඤාත ධර්මයෙක් නොම ඇත. පහාතබ්බ ධර්මයෙක් නොම ඇත. භාවෙතබ්බ ධර්මයෙක්ද නොම ඇත. සච්ඡිකාතබ්බ ධර්මයක්ද නොම ඇත. අප වැන්නවුන් ගැන කියනුම කවරේදැයි සිතා එහි (ආරණ්‍යයෙහි වාසය කළ යුතුම යයි හඟිත්.) මෙසේ වහා දුක් කෙළවර කරන්නාහු වන්නාහු යයි. මෙසේ පශ්චිම ජනතා තොමෝ අනුකම්පා ලබන්නාහු වන්නී යයි කියන ලද්දේ වෙයි. මෙම අරුත දක්වමින් මෙසේ වදාළහ. පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානො යනුවෙන්
දේශනා අනුමෝදනා
මෙය අසා සතුටට පත් බමුණු තෙම, අනුකම්පිතරූපා යනාදිය කීහ. එහි අනුකම්පිත රූපා යනු අනුකම්පිත ජාතිකා අනුකම්පා කළ ස්වභාව ඇති. ජනතා යනු ජන සමූහ තෙම, යථා තං අරහතා සම්මා සම්බුද්ධෙන යනුවෙන් යම්සේ එම සම්මා සම්බුද්ධ තෙම අනුකම්පා කරන්නේ ද එසේම අනුකම්පා කළ ස්වභාව ඇත්තාහු යයි.
මෙසේ කියා යළිත් බුදුරදුන්ගේ එම දේශනාව අනුමෝදන් වෙමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ. අභික්කන්තං භො ගොතම අභික්කන්තං භොගොතම යන මෙහි අභික්කන්ත ශබ්දය ඛය - සුන්දර, අභිරූප අබ්භනු මොදනා (=අනුමෝදන් වීම) යන අර්ථයන්හි දක්නට ලැබේ. අභික්කන්තො භන්තෙ රත්ති නික්ඛන්තො පඨමො යාමො චිරනිසින්නො භික්ඛු සංඝො යනාදි තන්හි ක්‍ෂයවීම යන අර්ථයෙහි වේ. අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්ත තරොච පණීත තරො ච යන ආදි තන්හි සුන්දර යන අර්ථයෙහි වේ.
කොමෙ වන්‍දති පාදානි, ඉද්ධියා යසසාජලං
අභික්ක්‍න්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා
(ඉද්ධියෙන් ද යසසින් ද දිලිසෙමින් අභිරූප වූ වර්ණයෙන් සියලු දිගුන් බබලවමින් කවරෙක් මාගේ පාදයන් වඳිත්ද)
යනාදී තන්හි අභිරූප යන අර්ථයෙහි වේ.
අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ යනාදි තන්හි අනුමෝදනා අර්ථයෙහි දක්නට ලැබේ. මෙහිද අනුමොදනා අර්ථයෙහි වේ. එහෙයින් මැනව. පින්වත් ගෞතමයනි, මැනව පින්වත් ගෞතමයෙනි යයි කියන ලද්දේ වේයයි දතයුත්තේය.
භයෙ කොධෙ පසංසායං තුරිතෙ කොතුහලච්ඡරෙ
භා සෙ සොකෙ පසාදෙච කරෙ ආමෙණ්ඩිතං බුධො,
(භයෙහිද ක්‍රෝධයෙහිද පසංසාවෙහිද සීග්‍රයෙහිද කුහුල් බැව්හිද පුදුම වීමෙහිද සිනහවෙහිද සෝකයෙහිද ප්‍රසාදයෙහිද බුද්ධිමත් තෙම ආම්‍රෙඩිතය (එක ශබ්දය දෙවරක් ප්‍රයෝග කිරීම කරන්නේය)
මේ ආම්‍රෙඩිත අර්ථයෙන් ද, මෙහි ප්‍රසාද වශයෙන් ද මේ අභික්කන්ත ශබ්දය දෙවරක් යොදන ලද්දේ යයි දතයුතුය. නැතහොත් අභික්කන්තං යනු ඉතා කාන්තය. ඉතා හොඳය. ඉතා මනාපය. ඉතා සුන්දර යයි කියන ලද්දේ වෙයි.
එහි එකම අභික්කන්ත ශබ්දයෙන් දේශනාවට ස්තුති කෙරේ. එක් අතකින් තමාගේ පැහැදීම ප්‍රකාශ කරයි. මේ වූකලී මෙහි අදහසයි. භගවත් ගෞතමයන් වහන්ස, දේශනාව අතිශයින් කාන්තය. භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් ඉෂ්ටය. මේ දේශනාව අසා මගේ පැහැදී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ද, දේශනාව කෙරෙහිදැයි මේ දෙඅරුත සඳහාම තුති කෙරේ. භාග්‍යවතුන් වහන්සේගේ වචනය ඉතා මනහරය. දොස් නසන හෙයිනි. භාග්‍යවතුන් වහන්සේගේ වචනය ඉතා මැනවි. උතුම් වූ ගුණයට පමුණුවන හෙයිනි. එසේම ශ්‍රද්ධාව උපදවන හෙයින්ද ප්‍රඥාව උපදවන හෙයින් ද මැනව. එසේ අර්ථ සහිත බැවින්ද ව්‍යඤ්ජන සහිත බැවින්ද මැනව. නොගැඹුරු පද ඇති හෙයින්ද මැනව. කනට මිහිරි හෙයින්ද මැනව. හෘදයංගම හෙයින්ද මැනවි. තමා උසස්කොට දැක්වීමක් අනුන් පහත්කොට සැලකීමක් නැති බැවින්ද මැනවි. කරුණාවෙන් සිහිල් හෙයින්ද, ප්‍රඥාවෙන් නිර්මල හෙයින්ද මැනවි. විනාශය ඉවසන හෙයින්ද මැනවි. ඇසීමෙන් සුව එලවන හෙයින්ද විමසීමෙන් හිත එලවන හෙයින්ද යන මේ ආදීන් ගෙන යෙදිය යුතු හෙයින්,
එයින් මත්තෙහි උපමා සතරකින් දේශනාවට පසසයි. එහි නික්කුජ්ජිතං, අධෝමුඛ කොට තබන ලද මුව යටිහුරු වූ හෝයි. උක්කුජ්ජෙය්‍ය මුව උඩුහුරු කරන්නේය. පටිච්ඡන්නං තණපත් ආදියෙන් වසන ලද්දක්, විවරෙය්‍ය, විවෘත කරන්ය. මූළහස්ස දිශා මුළා වූවහුට මග්ගං ආචික්ඛෙය්‍ය අත ගෙන මේ මගයයි කියන්නේය. අන්‍ධකාරෙ කාළ පක්‍ෂය, චාතුද්දසියා මධ්‍යම රාත්‍රිය ඝන වනය, මේඝ පටලය යන අංග සතරින් යුක්ත වූ, පළමුකොට දක්වන ලද්දේ නො ගැඹුරු වූ පදාර්ථය.