භයභෙරව සූත්ර වර්ණනාව
එවං මෙසුතං යනු භයභෙරව සූත්රයයි. මේ එහි අනුපූර්ව පද වර්ණනාවයි. අථ යනු අවිච්ඡෙදාර්ථයෙහි (නොසිඳී පැවැත්ම) නිපාතයකි. ඛො යනු අවධාරණාර්ථයෙහිය. භාග්යවතුන් වහන්සේගේ සැවැත්නුවර වාසය නොනිමි කල්හි යයි කියන ලද්දේ වෙයි.
ජාණුස්සොණි යනු මේ ඔහුගේ මව්පියන් විසින් කළ නාමයක් නොවේ. කෙසේද යත් තනතුරු නිසා ලබන ලද්දකි. මේ ජාණුස්සොණි තනතුර නම් පුරෝහිත තනතුරයි. එය ඔහුට රජු විසින් දෙන ලදී. එබැවින් ජාණුස්සොණි යයි කියනු ලැබෙත්. බ්රහ්මං අණති වේදය හදාරත්නුයි බ්රාහ්මණ නම් වේ. මන්ත්ර සජ්ඣායනය කෙරේනුයි යන අර්ථයයි. මෙයම උපතින් බ්රාහ්මණ වූවන්ට නිරුත්ති වචනයකි. ආර්යයෝ වනාහි දුරුකළ පව් ඇති බැවින් බ්රාහ්මණ නම් වෙති යයි කියනු ලබත්.
යෙන භගවා තෙනුපසංඛමි යන මෙහි යෙන යනු ආධාරාර්ථයෙහි කරණ වචනයයි. එහෙයින් යම් තැනෙක්හි භාග්යවතුන් වහන්සේ වෙසේද එහි එළඹියේ යයි අර්ථය දතයුතුය. යම් කරුණකින් භාග්යවතුන් වහන්සේ දෙවි මිනිසුන් විසින් එළඹිය යුත්තේ ද ඒ කාරණයෙන් එළඹියේ යයි මෙසේත් මෙහි අරුත් දත යුත්තේය. කිනම් කරුණකින් භාග්යවතුන් වහන්සේ එළඹිය යුත්තේ ද යත්, නානාප්රකාර ගුණ විශේෂයන්ට පැමිණිමේ බලාපොරොත්තුවෙන්, මිහිරිඵල අනුභව කිරීමේ අදහසින් පක්ෂි සමූහයා විසින් සදා ඵලිත මහරුකක් වෙත එන්නාක් මෙනි.
උපසංඛමි යනු ගියේ යයි කියන ලද වෙයි. උපසංඛමිත්වා යනු එළඹීමෙහි අවසන් දැක්වීමහි නොහොත් මෙසේ ගියේ, ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආසන්නතර ස්ථානයකට ගියේ යයි ද කියන ලද්දේ වෙයි. භගවතා සද්ධිං සම්මොදි බමණීය ආදි (පිළිසඳර කථා ක්රමයෙන්) විචාරන්නා වූ භාග්යවතුන් වහන්සේ ඔහු සමග යම්සේ ද, එස්ම හෙතෙමේත් බුදුරදුන් සමග සමානව පැවති සතුටුවීම් ඇත්තේ විය. උණුදිය සමග සිසිල් දිය මෙන් සමුදිත බවට ඒකීය බවට ගියේය.
භවත් ගෞතමයන් වහන්ස, ඔබට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? භවත් ගෞතමයන් වහන්සේට ද ගෞතම ශ්රාවකයන් වහන්සේලාටද ස්වල්ප වූ ආබාධ ඇත්තේ ද ස්වල්ප වූ රෝග ඇත්තේ ද සිරුරේ සැහැල්ලු බව ඇත්තේ ද, කාය බල ඇත්තේ ද? පහසු විහරණ ඇත්තේ ද යනාදී වූ යම් කථාවකින් සතුටු වූයේ ද, ඒ කථාව ප්රීතිය ප්රමෝදය-සතුට උපදවන බැවින් ද සම්මොදනීය නම් වේ. අර්ථ ව්යඤ්ජන මධුර භාවයෙන් ද, ඉතා දිගුකලක් සිහිකරන්ට නිතර පවත්වන්ට සුදුසු බැවින් ද, සිහි කළ යුතු බැවින් ද, සාරාණිය නම් වේ. සූය මාන සුඛය ඇති බැවින් ද, සම්මොදනීය නම් වේ. සිහිකළ යුතු සැපය ඇති බැවින් ද සාරාණිය නම් වේ. එසේම බ්යඤ්ජන පරිසුද්ධතාවය නිසා සම්මොදනීය නම් වේ. අර්ථයාගේ පිරිසිදු බව නිසා සාරාණිය නම් වේයයි (දතයුතුයැ) මෙසේ අන්ත පරියාය කථාවෙන්, සතුටුවිය යුතු සිහිකටයුතු කථාකොට නිමවා. (සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා) අවසන්කොට, නිමකොට යම් කරුණකින් ආයේද, එය විචාරනු කැමැත්තේ එකත්පසෙක හුන්නේය.
එකමන්තං යනු භාව නපුංසක නිර්දේශයයි. විසමං චන්දිම සුරියා පරිවත්තන්ති යනාදියෙහි මෙනි.
එකත්පසෙක සිටීම
එහෙයින් යම්සේ හුන්නේ එකත්පසෙක සිටියේ ද යත්, එපරිද්දෙන් හුන්නේ යයි මෙසේ මෙහි අර්ථය දතයුත්තේය. නැතහොත් මේ සත්තමී අර්ථයෙහි දුතියා වචනයයි. නිසිදි යනු හිඳගත්තේය. ඒ එසේමැයි. පණ්ඩිත පුරුෂයෝ වනාහි, ගරුකළ යුත්තෙකු වෙත එළඹ හිඳගැනීමේ දක්ෂභාවයක් ඇති බැවින් එකත්පසක හිඳිත්. මේ තෙමේ ද ඔවුන් අතුරෙන් කෙනෙකි. එහෙයින් එකත්පසක හිඳගත්තේය.
කෙසේනම් හුන් කෙනෙක් එකත්පසෙක සිටියේ ද යත්, හිඳගැනීමේ දෝස භය අතහැර ඔවුහු කවරහුද? ඉතා දුරය. ඉතා ළගය. උඩුසුළඟය. උස් පෙදෙසය. ඉතා ඉදිරිපිට, ඉතා පිටිපස යන මොවුහුයැ. ඒ එසේමැයි. ඉතා දුරින් හුන්නේ ඉදින් කථා කරන්නේ නම් ඉතා උස්හඬින් කථාකළයුතු වේ. ඉතා ළඟින් සිටියේ ගැටීම් ඇති වේ. උඩුසුළඟ පසින් සිටියහොත් සිරුරේ ගඳින් පීඩා ඇතිවේ. උස් පෙදෙසක හුන්නේ අගෞරවය ප්රකාශ වේ. ඉතා සම්මඛව සිටිවිට බලනවිට ඇසෙන් ඇස ගැටේයයි දතයුතුයැ. ඉතා පිටිපසින් සිටියේ ඉදින් දකිනු කැමැත්තේ බෙල්ල හරවා බැලිය යුතු වේ. එහෙයින් මෙතෙම මේ දෝස හය වර්ජනය කොට හුන්නේය. එහෙයින් කියන ලදී. එකමන්තං නිසීදි කියා
යෙමෙ යනු යෙ ඉමෙ යම් මේ කුලපුත්තො යනු ජාතිකුලපුත්තා යයිද ආචාර කුලපුත්තා යයි කුලපුත්රයෝ ද්විධ වෙති. එහි තෙන ඛො පන සමයෙන රට්ඨපාලො නාම කුලපුත්තො තස්මිං යෙව ථුල්ලකොට්ඨිතො අග්ග කුලිකස්ස පුත්තො යනුවෙන් මෙසේ ආවාහු උසස් කුලයක උපන් හෙයින් ජාති කුලපුත්රයෝ නම් වෙති.
යෙ තෙ කුලපුතා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා යනුවෙන් මෙසේ ආවාහු වනාහි යම්කිසි කුලයක උපන්නේ නමුදු ආචාර සම්පන්න වූවාහු ආචාර සම්පන්න කුලපුත්රයෝ නම් වෙති. මෙහි වූ කලී දෙකරුණින්ම කුලපුත්ර නම් වූවාහු වෙති.
සද්ධා ශ්රද්ධාවෙන්, අගාරස්මා ගිහිගෙයින්, අනගාරියං, පැවිදි බවට භික්ෂු භාවයට ඒ එසේමැයි. ප්රවෘජ්යා තොමෝ ගිහියන් සතු වැඩ එහි නැති බැවින් අනගාරිය නම් වේ. ගිහියනට හිතවත් වූ කෘෂි කර්මාන්ත ගව කර්මාන්ත නැත්තේය යන අර්ථයි. මහණ තෙමේද අගාර කම් නැති බැවින් අනගාර නම් වේ. අනගාරිය භාවය අනගාරිය නම් වේ. පබ්බජිතා එළඹියාහු, මෙසේ සර්වප්රකාරයෙනුදු අනගාරිය නම් වූ පැවිද්දට ද භික්ඛු භාවයට ද, එළඹියේ යයි කියන ලද්දේ වෙයි.
පුබ්බංගමො යනු ඉදිරියෙන් යන්නා වූ නායක නම් වේ. බහූකාරො හිතවත් කටයුතු කිරීමෙන් බොහෝ උපකාර ඇත්තේ. භවං තෙසං ගොතමො සමාදපෙතා යනු භවත් ගෞතම තෙමේ ඒ කුලපුත්රයන් අධිසීලාදියෙහි යොදවන්නේ, හික්මවන්නේ, සා ජනතා ඒ ජනසමූහය තෙම. දිට්ඨානුගතිං ආපජ්ජති දැකීමෙන් අනුගමනයට පැමිණේ. පින්වත් ගෞතම තෙම යම් දෘෂ්ටියක් ඇත්තේද යම් ඉවසීමක් වේද, යම් රුචි කිරීමක් වේද, ඔවුහුද එම දෘෂ්ටිය ඇත්තෝ වෙති. එම ඉවසීම ඇත්තෝ වෙති. එම රුචිකිරිම ඇත්තෝ යයි (එහි) තේරුමයි.