කාය කම්මන්ත වාරකථා
ඉක්බිති බුදුරදහු පළමු නයින්ම, එවමෙතං බ්‍රාහ්මණ යනාදි වශයෙන් ඔහුගේ වචනය පිළිගෙන අනුමෝදන් වී, යම් හෙයකින් සොලොස් තැනෙක්හි අරමුණු ගැනීම නැත්තහුට එබඳු සෙනසුන් ලබන්ට දුෂ්කර වෙත් ද, ඒ සොලොස් තැන්හි අරමුණු ගත්තහුට එසේ නොවේ යයි, තමන් වහන්සේත් බෝසත් අවදියෙහි එබඳු විය. එහෙයින් තමන් වහන්සේට එබඳු සේනාසනයන්ගේ දුරභි සම්භවත්වය දක්වන්ට මය්හම්පි ඛො යනාදිය වදාළහ.
එහි පුබ්බෙව සම්බොධො යනු සම්බුද්ධත්වයට පෙරම අරිය මගට පත්වීමට පෙරම කියන ලද්දේ වෙයි. අනභි සම්බුද්ධස්ස යනු ප්‍රතිවෙධ නොකළ සිවුසස් ඇත්තහුට.
බොධිසත්‍ව තෙම
බොධිසත්තස්සෙව සතො යනු, (සම්‍යග් සම්බෝධිය) අවබෝධ කරන්නා වූම, සම්‍යග් සම්බෝධියට පැමිණෙන්ට සුදුසු වූම. නොහොත් බෝධියෙහි ඇලුනා වූ ලග්න වූම, යම් හෙයකින් දීපංකර බුදුරදුන්ගේ පාමුලදී අටවැදෑරුම් ධර්මයන්ගේ එකතුවෙන් අභිනීහාරයාගේ සමෘද්ධියෙහි පටන් තථාගත තෙම බෝධියෙහි ඇලුනේ, මා විසින් මෙයට පැමිණිය යුතුයයි, ඊට පැමිණීම පිණිස උත්සාහය නොහරිමින් ආයේ ද, එහෙයින් බෝධිසත්ත්ව යයි කියනු ලැබේ.
කස්ස මය්හං යනු, මෙසේ බෝසත් වූම මට යෙ ඛො කෙචි සමණා වා බ්‍රහ්මණාවා යම්කිසි පැවිද්දට පැමිණියවුන් හෝ භෝවාදීන් හෝ
අපරිසුද්ධ කායකම්මන්තා අපිරිසිදු වූ ප්‍රාණඝාත ආදි කාය කම්මයන්ගෙන් යුක්ත වූ, අපරිසුද්ධ කාය කම්මන්ත සන්‍දොස හේතු අපිරිසිදු වූ කාය කම්ම සංඛ්‍යාත තම දෝසයාගේ හේතුවෙන්, අපිරිසිදු කායකම්ම කාරණයෙන් යයි කියන ලද්දේ වෙයි. හවෙ යනු ඒකාන්ත වචනයෙහි නිපාතයි. අකුසලං වැරදි සහිත, ආරක්‍ෂා රහිත, භයභෙරව භයද, භය උපදවන අරමුණු ද, චිත්තයාගේ තැති ගැනීම ද භයානක අරමුණට මේ නමකි. එය වැරදි සහිත අරුතින් අකුසල නම් වේ. භය අරමුණ, ආරක්‍ෂා රහිත අරුතින් අකුසලයයි ද දතයුතුයැ. අව්හයන්ති කැඳවත්. කෙසේද? ඔවුහු ප්‍රාණඝාතාදී අකුසල කොට අපි අයුත්තක් කළෙමු යයි, යම් කෙනෙකුට අපරාධ කෙළෙම් ද ඉදින් ඔවුහු අප දන්නාහු නම්, මෙවිට (අප) ලුහුබැඳ විපතක් පමුණුවන්නාහු යයි ගස් අතර හෝ පඳුරු අතර හෝ හිඳිත්. ඔවුහු මද පමණ වූද තණ ශබ්දයක් හෝ පත්‍ර ශබ්දයක් හෝ අසා මෙවිට නටුම්හයි බිය වෙති. විශේෂයෙන් තැති ගනිති. අවුත් අන්‍යයන් විසින් වටකරන ලද්දවුන් මෙන් බඳින ලද්දවුන් මෙන් නසන ලද්දවුන් මෙන් ද වෙති. මෙසේ භයභේරවයන් තමා කෙරෙහි මනාව ආරෝපණය කරන අරුතින් ආහ්වානය, කෙරෙත් කැඳවත්.
න ඛො පනාහං -පෙ- පටිසෙවාමි මම වනාහි අපිරිසිදු කායකම්ම ඇත්තෙක්ව වන සෙනසුන්ද දුරසෙනසුන් ද වන කෙළවර සෙනසුන් ද සේවනය නොකරමි. යෙහි වො යන මෙහි වො යනු නිපාත මාත්‍රයකි. අරියා බුදුවරයෝ ද බුද්ධශ්‍රාවකයෝ ද අරියා යයි කියනු ලබත්. පරිසුද්ධ කාය කම්මන්තා මෙබන්දෝ වී, අහං තෙසං අඤ්ඤතමො ඔවුන් අතුරෙන් මම ද කෙනෙක් වෙමි. අන්‍යතරයෙක්මි. ඒ එසේ ඇත්තේම වේ. භිය්‍යො යනු අතිරේක අර්ථයෙහි නිපාතයි. පල්ලොමං යනු පතිත ලෝම ඇති බවට භය රහිත බවට ස්වස්ති භාවයට යන අර්ථයි. ආපාදිං පැමිණියෙමි. වැඩිපුර යහපත් බවට වැඩි වශයෙන් යහපත්භාවයට පැමිණෙත් යයි කියන ලද්දේ වෙයි. අරඤ්ඤ විහාරාය අරණ්‍යයෙහි වාසය කිරීම පිණිස.
කාය කම්මන්ත වාරකථා නිමි.
වචී කම්මන්ත වාර
සියලු තන්හි මෙම ක්‍රමයමයි. මෙහි කියනු ලබන්නේ විශේෂ වූවක් පමණි. පළමුකොට වචීකම්ම වාරයෙහි අපරිසුද්ධ වචීකම්මන්තා අපිරිසිදු වූ මුසාවාද ආදී වූ වචී කර්මයන්ගෙන් යුක්ත වූවාහු. ඔවුහු කෙසේ භය හා භයානක අරමුණු කැඳවත් ද යත්? ඔවුහු බොරුවෙන් අනුන්ගේ දියුණුව නසා පිසුණු වචනයෙන් මිත්‍රභේදය කොට පරුෂ වචනයෙන් පිරිස මැද මෙරමාගේ මර්මස්ථාන බිඳ පෙළා නිරර්ථක වචනයෙන් අනුන්ගේ කර්මාන්තයන් නසා, අපි නොසුදුසු දෙයක් කළාහු වෙමු. යම් කෙනෙකුට අපරාධ කළාහු වෙමුද, ඉදින් ඔවුහු අප දන්නාහු නම්, මේ වනවිට ඔවුහු අප ලුහුබැඳ අනර්ථයකට හා විනාශයකට පමුණුවන්නාහුය. වනයට පිවිස, ගස් අතර හෝ පඳුරු අතර හෝ හිඳිත්. ඔවුහු ස්වල්පමාත්‍ර වූ ද තෘණ ශබ්දයක් හෝ පත්‍ර ශබ්දයක් හෝ අසා දැන් අපි නටුවෝ වෙමු යයි, තැති ගනිත්. විශේෂයෙන් තැති ගනිත්. අවුත්, අන්‍යයන් විසින් වටකරන ලද්දවුන් මෙන් ද, බඳින ලද්දවුන් මෙන් ද, නසන ලද්දවුන් මෙන් ද වෙති. මෙසේ ඒ භයභෙරවයන් තමා කෙරෙහි සමාරෝපණය කිරීම් අර්ථයෙන් අඬගසත්, කැඳවත්.
මනොකම්මන්ත වාරයෙහි අපරිසුද්ධ මනොකම්මන්තා අපිරිසිදු වූ අභිජ්ඣා ආදි මනෝ කර්මයන්ගෙන් සමන්නාගත වූවාහු ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවත් ද යත්? ඔවුහු අනුන් විසින් රක්ෂිත - ගෝපිත භාණ්ඩ විෂයෙහි අභිජ්ඣා නම් වූ විසම ලෝභය උපදවා අනුන්ට කිපී අන් සත්ත්වයන් මිථ්‍යාදිට්ඨි ගන්වා අපි අයුක්තක් කළාහු වෙමු යයි, -පෙ- තමා කෙරෙහි සමාරෝපන කරන අර්ථයෙන් අඬගසත් කැඳවත්.
ආජීව වාරයෙහි අපරිසුද්ධාජීවා, අපිරිසිදු වූ වෙදකම් දූතකම් පොළියට දීම් ආදි එක්විසි ප්‍රභේදගත සෙවීම්වලින් සමන්විත ආජීවයෙන් යුක්තවූවාහු, ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවද යත්? ඔවුහු මෙසේ ජීවිකාව කොට ශාසන ශෝධක වූ ත්‍රිපිටකධර භික්‍ෂූහු ශාසන ශෝධනය පිණිස නික්මුනාහුය. අද හෝ හෙට මෙහි පැමිණෙන්නාහු යයි (අසති) අරණ්‍යයට පිවිස ගස් අතර හෝ -පෙ- (වෙත් යයි) තැති ගනිත්, විශේෂයෙන් තැති ගනිත්. ඔවුන් විසින් අවුත් පිරිවරා ගන්නවුන් මෙන් ද, සුදුවත් හඳවන ලද්දවුන් මෙන් ද, වෙත් යයි, සෙස්ස එවැනිම වේ.