වචී කම්මන්ත වාර
සියලු තන්හි මෙම ක්රමයමයි. මෙහි කියනු ලබන්නේ විශේෂ වූවක් පමණි. පළමුකොට වචීකම්ම වාරයෙහි අපරිසුද්ධ වචීකම්මන්තා අපිරිසිදු වූ මුසාවාද ආදී වූ වචී කර්මයන්ගෙන් යුක්ත වූවාහු. ඔවුහු කෙසේ භය හා භයානක අරමුණු කැඳවත් ද යත්? ඔවුහු බොරුවෙන් අනුන්ගේ දියුණුව නසා පිසුණු වචනයෙන් මිත්රභේදය කොට පරුෂ වචනයෙන් පිරිස මැද මෙරමාගේ මර්මස්ථාන බිඳ පෙළා නිරර්ථක වචනයෙන් අනුන්ගේ කර්මාන්තයන් නසා, අපි නොසුදුසු දෙයක් කළාහු වෙමු. යම් කෙනෙකුට අපරාධ කළාහු වෙමුද, ඉදින් ඔවුහු අප දන්නාහු නම්, මේ වනවිට ඔවුහු අප ලුහුබැඳ අනර්ථයකට හා විනාශයකට පමුණුවන්නාහුය. වනයට පිවිස, ගස් අතර හෝ පඳුරු අතර හෝ හිඳිත්. ඔවුහු ස්වල්පමාත්ර වූ ද තෘණ ශබ්දයක් හෝ පත්ර ශබ්දයක් හෝ අසා දැන් අපි නටුවෝ වෙමු යයි, තැති ගනිත්. විශේෂයෙන් තැති ගනිත්. අවුත්, අන්යයන් විසින් වටකරන ලද්දවුන් මෙන් ද, බඳින ලද්දවුන් මෙන් ද, නසන ලද්දවුන් මෙන් ද වෙති. මෙසේ ඒ භයභෙරවයන් තමා කෙරෙහි සමාරෝපණය කිරීම් අර්ථයෙන් අඬගසත්, කැඳවත්.
මනොකම්මන්ත වාරයෙහි අපරිසුද්ධ මනොකම්මන්තා අපිරිසිදු වූ අභිජ්ඣා ආදි මනෝ කර්මයන්ගෙන් සමන්නාගත වූවාහු ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවත් ද යත්? ඔවුහු අනුන් විසින් රක්ෂිත - ගෝපිත භාණ්ඩ විෂයෙහි අභිජ්ඣා නම් වූ විසම ලෝභය උපදවා අනුන්ට කිපී අන් සත්ත්වයන් මිථ්යාදිට්ඨි ගන්වා අපි අයුක්තක් කළාහු වෙමු යයි, -පෙ- තමා කෙරෙහි සමාරෝපන කරන අර්ථයෙන් අඬගසත් කැඳවත්.
ආජීව වාරයෙහි අපරිසුද්ධාජීවා, අපිරිසිදු වූ වෙදකම් දූතකම් පොළියට දීම් ආදි එක්විසි ප්රභේදගත සෙවීම්වලින් සමන්විත ආජීවයෙන් යුක්තවූවාහු, ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවද යත්? ඔවුහු මෙසේ ජීවිකාව කොට ශාසන ශෝධක වූ ත්රිපිටකධර භික්ෂූහු ශාසන ශෝධනය පිණිස නික්මුනාහුය. අද හෝ හෙට මෙහි පැමිණෙන්නාහු යයි (අසති) අරණ්යයට පිවිස ගස් අතර හෝ -පෙ- (වෙත් යයි) තැති ගනිත්, විශේෂයෙන් තැති ගනිත්. ඔවුන් විසින් අවුත් පිරිවරා ගන්නවුන් මෙන් ද, සුදුවත් හඳවන ලද්දවුන් මෙන් ද, වෙත් යයි, සෙස්ස එවැනිම වේ.
මින් මතු අභිජ්ඣාලු යන මෙහි අභිජ්ඣා ව්යාපාද, මනෝකම්ම සංග්රහ වූවාහු ද, එසේ වුවත් නීවරණයන්ගේ වශයෙන් යලි කියන ලද්දාහු යයි දතයුත්තාහුය. එහි අභිජ්ඣාලු යනු අනුන්ගේ භාණ්ඩයන් පිළිබඳව දැඩි ලෝභයෙන් සිතනසුලු වූවාහු, කාමෙසු තිබ්බරාගා වස්තු කාමයන්හි ඝන බහල කෙලෙස් රාග ඇත්තාහු. ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවත්ද යත්? ඔවුහු (අච්චත්ථිත-ආරම්මණ) සීමා රහිත අරමුණු ඇත්තාහු වෙති. සීමාවක් නොමැති අරමුණු ඇතිව වනයෙහි වසන්නාහු ඔවුනට දවල් දක්නා ලද්ද, රාත්රියෙහි භයභේරවයක්ම වැටහෙයි. අකුසල් සිත් ඇත්තා වූ ඔවුහු සුලු දෙයකිනුදු තැති ගනිති. රැහැනක් හෝ වැලක් දැක සර්පයෙක් යන සංඥා ඇත්තාහු වෙති. කණුවක් දැක යක්ෂයෙක යන සංඥා ඇත්තාහු වෙති. බිම්කඩක් හෝ පර්වතයක් දැක ඇතෙකු යන සංඥා ඇත්තාහු වෙති. සපාදීන් විසින් කරදරයකට විනාශයකට පමුණුවනු ලද්දවුන් මෙන් වෙත් යයි. සෙස්ස එබඳුමැයි.
බ්යාපන්න චිත්තා, ප්රකෘති භාවය නැතිවීමෙන් විපන්න (සදොස්) වූ සිත් ඇත්තේ කෙලෙස් අනුගත වූ සිත ප්රකෘතිභාවය අත්හලේ වෙයි. පරණ වූ බත ව්යඤ්ජන මෙන් පිළුනුවූයේ වෙයි. පදුට්ඨ මන සංකප්පො යනු ඉතා නපුරු වූ චිත්ත සංකල්ප ඇත්තාහු, යහපත් නොවූ මෙරමාට අනර්ථ උපදවන්නා වූ චිත්ත සංකල්පයන්ගෙන් යුක්ත යයි කියන ලද්දේ වෙයි. ඔවුහු කෙසේනම් භයභේරවයන් කැඳවත් ද යත්? භයභේරවයන් කැඳවීම මෙතැන් පටන් අභිජ්ඣාලු වාරයෙහි කී අයුරින් දතයුතුය. යම්තැනෙක්හි විශේෂත්වයක් වන්නේ ද, එහිදී පවසමු. න ඛො පනාහං බ්යාපන්න චිත්තො යනු මෙහි මම වනාහි මෙත් සිත් ඇත්තෙම්, හිතවත් වූ සිත් ඇත්තෙම් යයි දක්වයි. ඒ එසේමැයි. බෝසත්වරු මෙබඳු ගුණ ඇත්තෝ වෙත් යයි. මෙසේ සියලු තන්හි කියන ලද දෝෂයන්ට ප්රතිපක්ෂ වශයෙන් බෝසත්ගුණ වර්ණනා කළයුත්තාහු වෙත්.
ථීන මිද්ධ පරියුට්ඨිතා යනු චිත්තයාගේ ගිලන් බව නම් වූ ථීනයෙන් ද, සෙසු නාමකයෝ ගිලන් බව නම් වූ මිද්ධයෙන් ද, වළඳන ලද්දාහු මඩින ලද්දාහු ගන්නා ලද්දාහු යයි කියන ලද්දේ වෙයි. ඔවුහු නින්ද බහුලකොට ඇත්තෝ වෙති.
උද්ධතා උද්ධච්චය (සිතේ නොසන්සුන්කම) ප්රකෘතිය වූවාහු, සැලෙන සිත් ඇත්තාහු ඒ එසේමැයි. උද්ධච්චයෙන් එක් අරමුණෙක්හි වූ සිත වාතයෙන් කොඩි කණුවෙහි කොඩියක් මෙන් සැලෙයි. අවුපසන්න චිත්තො යනු නො නිවුන සිත් ඇත්තාහු. මෙහි දී කුක්කුච්චය ගැනීම වටී.
කංඛී වෙචිකිච්ඡි යනු, මෙහි එකක්ම වූ පස්වන නීවරණයයි. මේ කිමෙක්ද? අරමුණ සැක කරන හෙයින් කංඛා නම් වේ. මෙයම මේ යයි තීරණය කරන්ට අසමත් බැවින් විචිකිච්ඡා යයි කියනු ලැබේ. එයින් යුක්ත වූ ශ්රමණ-බ්රාහ්මණයෝ කංඛී විචිකිච්ඡි යයි කියන ලද්දාහු වෙති.
අත්තුක්කංසකා පරවම්භී යනු, යමෙක් තෙම තමා උසස් කෙරෙත් ද ඔසවා තබත් ද උසස් තන්හි තබත් ද අන්යයන් පහත් කෙරෙත් ද ගරහත් ද නිග්රහ කෙරෙත් ද පහත් තන්හි තබත් ද, මේ ඔවුනට නමකි. ඔවුහු කෙසේනම් භයභෙරවයන් කැඳවත්ද, යත්? ඔවුහු අන්යයන් විසින් අසවලා ද අසවලා ද උසස් ලෙස වර්ණනා කෙරෙති. අප ගරහති. දාසයන් මෙන් කෙරෙත්ල. ඔවුන් ගනිව් යයි ලුහුබඳිනා ලද්දාහු පලාගොස් වනයට පිවිස ගස් අතුරෙහි හෝ යයි කායකම්ම මෙන් විස්තර කළ යුතුය. ඡම්හි කය තදකරන, ලොමුදැහැ ගැනීම් කරන තැතිගැනීම්වලින් යුක්ත වූවාහු.