පූර්වභාග ප්‍රතිපදාව
මෙසේ බුදුරදහු බුදුගුණ ප්‍රතිලාභය අවසන්කොට, තමන් වහන්සේගේ නොමුලා විහරණය බමුණා හට දක්වා, මෙවිට යම් ප්‍රතිපදාවකින් ඒ කෙළවරට පත් වූ අසම්මෝහ විහරණයට පැමිණියේ ද එම ප්‍රතිපදාවෙහි පූර්වභාගය පටන් දක්වන්නට ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ යනාදිය වදාළහ.
(කෙචිපනාහු) කිසිවෙක් වනාහි මෙසේ කියති. මෙම නොමුලා විහරණය අසා බමුණාට මෙබඳු සිතක් උපන්නේය. කිනම් ප්‍රතිපදාවකින් මෙයට පැමිණියේ දැයි කියා ඔහුගේ එම සිත දැන, මම මෙම පටිපදාවෙන් මේ උතුම් වූ නොමුලා වූ සිහි ඇති බවට පැමිණියෙමියි දක්වන්නේ මෙසේ වදාළහ යි.
තත්‍ථ ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ විරියං අහොසි යනුවෙන්, බමුණ මම මේ අසම්මෝහ විහරණය තෙම, කුසීත වූ මුලා වූ සිහි ඇති, කාලදරථ ඇති විසුරුණු සිත් ඇති හෝ මා විසින් නො ලබන ලද්දේ ය. නමුත් මා විසින් එයට පැමිණීම පිණිස, පටන් ගන්නා ලද වෙර ඇත්තේ විය. බෝමැඩ සමීපයෙහි හුන් මා විසින් චතුරංග වීර්ය පටන්ගන්නා ලද්දේ, දැඩිකොට ගන්නා ලද්දේ නොලිහිල්ව පවත්වන ලද්දේ වූයේ යයි කියන ලද්දේ විය. මවිසින් එම වීර්ය, ආරබ්ධ බැවින් නොසැඟවූනේ විය.
උපට්ඨිතා සති අසම්මුට්ඨා යනුවෙන් හුදෙක් වීර්ය පමණක් නොව මගේ සිහියද, අරමුණට අභිමුඛ එළඹ සිටියේ විය. එළඹ සිටි බැවින්ම නොමුළා වූවා විය. පස්සද්ධො කායො අසාරද්ධො යනුවෙන්, කාය චිත්ත දෙදෙනාගේ පස්සද්ධි භාවයෙන් මගේ කයද සැහැල්ලු විය. එහි යම් හෙයකින් නාම කය සැහැල්ලු වූ කල්හි, රූප කයද සැහැල්ලු විය. එබැවින් නාම කායයාගේ ද රූප කායයාගේ ද විශේෂත්වයක් නොමැතිව පස්සද්ධො කායො යනුවෙන් කියන ලද්දේ විය. අසාරද්ධො, පස්සද්ධිය නිසාම පහවූ දරථ භාවමය ඇත්තේ යයි කියන ලද්දේ විය.
සමාහිතං චිත්තං එකග්ගං මගේ සිතද මනාකොට පිහිටියේය. මොනවට තබන ලද්දේය. අප්පණාවට පමුණුවනු ලැබුවක් මෙන් විය. මනාකොට පිහිටුවන ලද බැවින්ම එකඟ වූයේය. අචල වූයේය. සැලීම් රහිත වූයේය. මෙතෙකින් ධ්‍යානයාගේ පූර්වභාග පටිපදාව කියන ලද්දේ විය.
මෙවිට මෙම ධ්‍යානයෙන් යුක්ත වූයේ, ප්‍රථමධ්‍යානය ආදිකොට ත්‍රිවිද්‍යාව අවසන්කොට ඇති විශේෂත්වය දක්වන සේක්. සො ඛො අහං යනාදිය වදාළහ.
ධ්‍යාන ධර්මයෝ
එහි විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථජ්ඣානං උපසම්පජ්ජ විහාසිං පළමුකොට මෙහි යමක් කිවයුතුද ඒ සියල්ල විසුද්ධි මග්ගයෙහි පඨවි කසිණ කථාවේ දී කියන ලදී. හුදෙක් එහි උපසම්පජ්ජ විහරති යනුවෙන් ආයේය. මෙහි විහාසිං යනුවෙන් ආවේය. එපමණි වෙනස. භාග්‍යවතුන් වහන්සේ කුමක්කොට මෙම ධ්‍යානයට පැමිණි සේක්ද යත්, කම්මට්ඨාන භාවනා කොටය. කවර කම්මට්ඨාන භාවනාවක්ද යත්, ආනාපානසති කම්මට්ඨානයයි.
මෙම සතර ධ්‍යානයෝ කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාව පිණිස වෙති. කිසිවෙකුට විදර්ශනා පාදක වෙති. කිසිවෙකුට අභිඥා පාදක වෙති. කිසිවෙකුට නිරෝධ පාදක වෙති. කිසිවෙකුට භවයෙහි ඇවිදීම පිණිස වෙති. ඔවුන් අතුරෙන් රහතුන් වහන්සේට චිත්තෙකග්ගිතාව පිණිස වෙති. ඒ එසේමැයි. ඔවුහු සමවැද එකඟ සිත් ඇත්තාහු සැපසේ දවස ගත කරන්නෙමු යයි මෙසේ කසිණ පිරියම් කොට අට සමවත් නිපදවත්. සේඛයන්ට සහ පුහුදුන්ට සමවතින් නැගී සිට එකඟ වූ සිතින් විදර්ශනා භාවනා කරන්නෙමුයි නිපදවන්නවුනට විදර්ශනා පාදක වෙති. යමෙක් අටසමවත් නිපදවා අභිඥා පාදක ධ්‍යානයට සමවැද සමවතින් නැගීසිට එකොපි හුත්‍වා බහුධා හොති යයි කියන ලද නය ඇති අභිඥාවන් පතන්නාහු (ඒවා) නිපදවති. ඔවුනට අභිඥා පාදක වෙති. යම් කෙනෙක් අට සමවත් උපදවා නිරෝධ සමාපත්තියට සමවැද සතියක් අචිත්තකව සිට දිට්ඨ ධම්ම නිරොධ නම් වූ නිවනට පැමිණ සුවසේ වාසය කරන්නෙමුයි නිපදවත්ද, ඔවුනට නිරෝධ පාදක වූවාහු වෙති. යම්කෙනෙක් අට සමවත් නොපිරිහුනු ධ්‍යාන ඇත්තෝව බඹලොව උපදින්නෙමුයි නිපදවත් ද ඔවුනට භවයෙහි ඇවිදීම පිණිස වෙති.