නොමුලා විහරණ
මෙසේ භයජනක වූ ද ස්ථානයන්හි තමනට භය හා භයානක අරමුණු නැති බව දක්වා අනතුරුව ධ්යානලාභීන් මුලාවට පත්වූ කල්හි තමන් වහන්සේගේ නොමුලා විහරණ දක්වනට සන්ති ඛො පන බ්රාහ්මණා යන ආදිය වදාළහ.
එහි සන්ති යනු ඇත්තාහුය. විද්යාමාන වෙත්. ලැබෙත්. රත්තිං යෙව සමානං රාත්රී කාලයම ඇත්තේ, දිවාති සඤ්ජානන්ති. මේ දවාල යයි හඳුනත්. දිවායෙව සමානං දිවා කාලයම ඇත්තේ රත්තීති සඤ්ජානන්ති රාත්රිය යයි හඳුනත්, කුමක් හෙයින් මොවුහු මෙබඳු සංඥා ඇත්තාහු වෙත්ද, යත් කුමක් හෙයින් මොහු මෙබඳු සංඥා ඇත්තාහු වෙත් ද යත්, උට්ඨාන කෞශල්යය නොමැති බැවින් හෝ පක්ෂීන්ගේ නාදයෙන් හෝ යි.
කෙසේද? මෙලොව කෙනෙක් ඕදාත කසිණ ලාභී වූයේ දවල් කාලයෙහි පරිකර්ම භාවනාකොට දවල්ම කසිණ සමවතට නැගුනේ, දවල්ම එයින් නැගිටිමි යන සිත ඉපිදවිය. එතකුදු වුවත් කල් පිරිසිඳ දැනීමෙහි හොඳ දක්ෂ විය. හෙතෙම දවල් කාලය ඉක්මවා රාත්රී කාලයෙහි නැගී සිටියි. එසේ වුවත් ඔදාත කසිණයාගේ පැතිරීම ඔහුට නිර්මලව ප්රකට වෙයි. අතිශයින් ප්රකට වෙයි. හෙතෙම දවල නැගිටිමියි උපදවන ලද මනස්කාර ඇති බැවින්ද, ඔදාත කසිණය පැතිරිම නිසා නිර්මලව ප්රකට වූ බැවින් ද, රාත්රියම දහවල් යයි දැනගනී.
මෙලොව කෙනෙක් නීල කසිණ ලාභි වූයේ රාත්රියෙහි පිරියම්කොට රාත්රියෙහි සමවතට සමවැදුනේ රාත්රියෙහි නැගී සිටිමියි සිතිවිලි උපදවයි. එතකුදු වුවත් හේ කාලපරිච්ඡේද දැනීමෙහි දක්ෂ නොවූයේය. හෙතෙමේ රාත්රිය ඉක්මවා දවල් කාලයෙහිම නැගී සිටියි. එසේ වුවත් ඔහුට නීල කසිණයාගේ පැතිරීම නිසා ඕහට පැහැදිලි නොවෙයි. අප්රකට වෙයි. හෙතෙම රාත්රියෙහි නැගිටිමියි, උපදවන ලද සිතිවිලි ඇති බැවින් ද නීල කසිණයාගේ ඵරණය (පැතිරීම) නිසා පැහැදිලි නොවූ, අප්රකට වූ බැවින් ද දහවල්ම රාත්රිය යයි දැනගනී. මෙසේ පළමුකොට ධ්යානයන් පිළිබඳ උට්ඨාන කුසලතාව නැති බැවින් මෙවන් සංඥා ඇත්තෝ වෙති.
පක්ෂි නාදයෙන් ද ඇතැම් කෙනෙක් මෙහි සෙනසුන ඇතුළත සිටියේම (මෙවන් වැරදි සංඥා ඇතිවේ. දිවා කාලයෙහි නාද කරන කපුටු ආදි පක්ෂීහු චන්ද්රාලෝකය හේතුවෙන් රාත්රිය දවල් යයි හඟිමින් රාත්රී කාලයේ නාද කරති. වෙනත් හේතූන් නිසාද නාද කරති. හෙතෙම මෙම ශබ්ද අසා රාත්රී කාලය වූයේම දිවාකාලය යයි දැනගනිති. මෙහි ඇතැම් කෙනෙක් ගල් පර්වත අතරෙහි ඝන වනයෙන් වැසුනු ගල්ගුහාවෙක්හි සත්තාහවද්දලිකා හත් දා වැසි පවත්නා කල්හි අතුරුදහන් වූ හිරුඑළිය ඇති කල්හි හුන්නේ වෙයි. එකල්හි රාත්රී කාලයෙහි හඬන මහමුහුණු ආදි පක්ෂීහු මධ්යාහ්න කාලයෙහි ද, ඒ ඒ තන්හි සම වූ අන්ධකාරයෙහි සැඟවුනාහු රාත්රී සංඥාවෙන් හෝ අන් කරුණුවලින් හෝ හඬත්. හෙතෙම ඔවුන්ගේ ශබ්ද අසා දවල් කාලයම වූයේ රාත්රිය යයි දැන ගනී. මෙසේ පක්ෂීන්ගේ නාදයෙන් මෙබඳු සංඥා ඇත්තාහු වෙත් යයි.
ඉදමහං (ඉදං+අහං) මේ මම මෙසේ දැන ගැනීම සම්මොහ විහාරස්මිං වදාමි යනු මේ ඒ මහණ බමුණන්ගේ මුලා වී විසීමකැයි මම කියමි.
අහං ඛො පන බ්රාහමණ -පෙ- සඤ්ජානාමි යනු බෝධිසත්ත්වයන් වහන්සේට රෑ දවල පිරිසිඳ දැනගැනීම ප්රකටය. සත්තාහ වද්දලිකා (හත්-දා-වැසි) ඇති කල්හිදු සඳ හිරු නොපෙනෙන කල්හිදු මෙතෙක් පෙරබත් කාලය පසුවී ගියේය. මෙතෙක් මැදියම් කාලය ගියේය. මෙතෙක් පසුබත් කාලය ගියේ යයි දැනගැනීමයි. එසේ හෙයින් මෙසේ වදාළහ. පුරන ලද පෙරුම් ඇති බෝසත් තෙම මෙසේ දැනගනී යන යමක් ඇද්ද, මෙය පුදුමයට කරුණක් නොවෙයි. යම් හෙයකින් ප්රදේශ ඤාණයෙහි පිහිටි ශ්රාවකයන්ටද දිවා රාත්රී දෙක වෙන්කොට දැනීම ප්රකට වූ හෙයිනි.
ගෝදත්ත තෙර වත
කැළණි මහවෙහෙර විසූ ගෝදත්ත තෙර හිරමුදුන් වීමට අගල් දෙකක් තිබියදී පිණ්ඩපාතය පිළිගෙන හිරමුදුන් වීමට අගලක් තිබියදී වළඳයි. හිරු නොපෙනෙන දවස්වලද, උදෑසනින්ම සෙනසුනට පිවිස එම වේලාවටම පිඬු පිණිස නික්ම යති. එක් දිනක් ආරාමිකයෝ හෙට තෙරුන් වහන්සේ නික්මෙන වේලාව බලන්නෙමු යයි බත් සපයා වේලාව බලාගන්නා වූ (කාලත්ථම්හ මූලෙ) කණුව මුල හුන්නාහුය. එතැන් පටන් හිරු නොපෙනෙන දවස්හිදු තෙරුන් වහන්සේගේ නික්මීම නිමිතිකොට කාලය දනවන බෙරය ගැසූහ.
කාළදේව තෙර වත
වජගරගිරි වෙහෙර වැසි කාළදේව තෙර වස්කාලය තුළ යාමගණ්ඩිකය. ගසන සේක. මෙය තෙරුන් වහන්සේ පුරුදු කරන ලද්දේය. යාමත්රය නාලිකාව (යාමය දැන ගන්නා පා තැටිය) නොම යොදති. අන්ය භික්ෂූහු යොදති. එකල පෙරයම නික්මුණු කල්හි තෙරුන් මුගුරක් ගෙන සිටි කල්හිම, හෝ එක්වරක් දෙවරක් ගසන කල්හිම යාම යන්ත්රය වැටෙයි. මෙසේ තුන් යාමෙහි මහණදම් කොට තෙරණුවෝ උදෑසනම ගමට පිවිස පිණ්ඩපාතය ගෙන වෙහෙරට අවුත් භෝජන ශාලාවෙහි පාත්රය තබා දිවා විහරණය කරන තැනට ගොස් මහණදම් කරති. භික්ෂූහු කාලස්ථම්භය දැක තෙරුන් කැඳවීම පිණිස කෙනෙකු යවති. ඒ ගිය මහණ තෙම එම තෙරුන් එම වාසය කළ තැනින් නික්මෙන්නාහු හෝ අතරමග හෝ දකී. මෙසේ ප්රදේශ ඤාණයෙන් යුතු ශ්රාවකයෝ පවා රෑ දවල් පිරිසිඳ දැනීම ප්රකටව සිටියාහු වෙති. බෝසතුන් පිළිබඳ කියනුම කවරේද?