උපාසක ලක්‍ෂණ කථා
උපාසක විධි කුසලතා පිණිස මෙහි ලා උපාසක තෙමේ කවරෙක්ද? කුමක් හෙයින් උපාසක යයි කියනු ලැබේද? ඔහුගේ සීලය කුමක්ද? ආජීවය කවරේද? විපත්ති කවරේද? මේ ප්‍රකීර්ණකය දතයුතුය.
එහි, උපාසක තෙම කවරෙක්ද යනු, යම්කිසි තිසරණගත ගිහිතෙම උපාසක නම් වේ. මෙසේ කියන ලද්දේය. යතො ඛො මහානාම බුදධං සරණං ගතො හොති ධම්මං සරණං ගතො හොති සංඝං සරණං ගතො හොති එත්තාවතා මහානාම උපාසකො හොතීති යනුවේ යම්කලෙක පටන් බුදුන් සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සඟ සරණ ගියේ වේද, මෙපමණකින් උපාසක නම් වේයයි.
කුමක් හෙයින් උපාසක වේද? තුණුරුවන් වෙත එළඹෙන හෙයිනි. හෙතෙම වනාහි බුදුරදුන් සමීපයට එළඹේනුයි ධර්මය සංඝයා වෙත එළඹේනුයි උපාසක නම් වේ.
ඔහුගේ සීලය කුමක්ද? (පංචවෙරමණියො) වෙන් වීම් පසයි. මෙසේ වදාළහ. යතො ඛො මහානාමං, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා, කාමේසු මිච්ඡාචාරා, මුසාවාදා, සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති එත්තාවතා මහානාම උපාසකො සීලවා හොතිති. යනුවෙන්, (මහානාමය, යකලෙක පටන් උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, සොරකමින් වැළකුනේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, මුසාවාදයෙන් වැළකුනේ වේද, රහමෙර පානයෙන් වැළකුණේ වේද, මෙපමණකින් උපාසක තෙම සිල්වත් වෙයි.)
ආජීවය කවරේද යනු වැරදි වෙළඳාම් දුරුකොට ධාර්මිකව ජීවිකාව ගෙනයාමයි. මෙසේ වදාරණ ලදී. පඤ්චිමා භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා කතමා පඤ්ච සත්‍ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංස වණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා ඉමා ඛො භික්ඛවෙ, පංචවණිජ්ජා උපාසකෙන අරණියාති යනුවෙන්, (මහණෙනි උපාසක තැන විසින් නොකටයුතු වූ වෙළඳාම් පසකි. ඒ පස කවරහුද? ආයුධ වෙළඳාම, සත්ත්වයන් වෙළඳාම, මාංස වෙළඳාම, මත්පැන් වෙළඳාමය වස විෂ යන ඒවායි. මහණෙනි, මෙකී වෙළඳාම් පස උපාසක විසින් නොකට යුත්තාහ.)
විපත්ති කවරේද යත්, ඒ සීලයට ද ඒ ආජීවයටද යම් විපතක් වේද, එය එම උපාසක හට විපත්ති නම් වන්නීය. තව ද යමක් හේතුවෙන් මේ උපාසක තෙමේ සැඩොලෙක් වේද, කසට ඇත්තෙක් වේද, අන්තිම පහත් නීචයෙක් වේද, එයත් මේ උපාසක හට විපත්ති යයි දතයුතුයැ. එම විපත් අර්ථ වශයෙන් අශ්‍රද්ධා ආදි පංච ධර්මයෝය. වදාළේ මැනො. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසක චණ්ඩාලොව හොති උපාසක මලඤ්ච, උපාසක පතිකිට්ඨොච, කතමෙහි පඤ්චහි, අස්සද්ධො හොති දුස්සීලො හොති. කොතුහල මංගලිකො හොති මංගලං පච්චෙති නො කම්මං ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං පරියෙසති. තත්‍ථච පුබ්බකාරං කරොතීති (මහණෙනි, අගුණ පසකින් හෙබි, උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද වෙයි. කිලිටි වූ උපාසකයෙක්ද වෙයි. උපාසක නීචයෙක්ද වෙයි. කවර පසකින්ද යත්, සැදැහැ නැත්තේ වේද, දුස්සීල වේද, කුහුල් උපදවන දෙය දැකීම මගුලක් කොට ඇත්තේ වේද, මගුල බලාද, කර්මය නොබලාද, මෙම සසුනෙන් පිටත දක්ඛිණෙය්‍ය පුද්ගලයන් සොයාද, එම තීර්ථකයන් විෂයෙහි අග්‍රදානය ද, යන මේ පසයි.)
සම්පත්ති කවරීද යත්, ඔහුට යම් සීල සම්පත්තියකුත් ආජීව සම්පත්තියකුත් වන්නීද (උපාසක) රත්නභාවය සිද්ධ කරන්නා වූ ශ්‍රද්ධා ආදි පඤ්ච ධර්ම කෙනෙක් මෙන්ද, මොවුහු සම්පත්ති නම් වෙති. එහෙයින් වදාළහ. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤච උපාසක පදුමඤ්ච, උපාසක පුණ්ඩරීකො ච කතමෙහි පඤ්චහි, සද්ධො හොති සීලවා හොති න කොතුහල මංගලිකො හොති කම්මං පච්චෙති, නො මංගලං, න ඉතො බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති. ඉධච පුබ්බකාරං කරොතීති. (මහණෙනි, සම්පත් පහකින් යුතු උපාසක තෙම උපාසක රතන ද උපාසක පියුමද, උපාසක පුණ්ඩරීකයද වෙති. කවර සම්පත් පසකින්ද යත්, සැදැහැ ඇත්තේ වේද, සිල්වත් වේද, කුතුහල මංගල ඇත්තේ නොවේද, කර්මය විශ්වාස කෙරේද, දිට්ඨි ආදි මංගල විශ්වාස නොකෙරේද, මේ ශාසනයෙන් පිටත දක්ඛිණෙය්‍ය පුද්ගලයන් නොසොයාද මේ සසුනෙහි අග්‍රදානය කෙරේද යන මේ පස වෙති.)
අග්ග ශබ්දය
අජ්ජතග්ගෙ යන මෙහි අග්ග ශබ්දය තෙම ආදි - කොටි (කෙළවර) කොට්ඨාස, සෙට්ඨ යන අර්ථයන්හි දක්නට ලැබේ.
අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආචරාමි ද්වාරං නිගණ්ඩිනං නිගච්ඨිතං යන තන්හි ආදිකොට ආදියෙහි යන අර්ථයන්හි යෙදේ.
තෙනෙව අංගුලග්ගෙන තං අංගුලග්ගං පරාමයෙය්‍ය උච්ඡග්ගං වෙලග්ගං යනාදි තන්හි කෙළවර යන අර්ථයෙහි දක්නා ලැබේ.
අනුජානාමි භික්ඛවෙ, අම්බිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතුං යනාදි තන්හි කොට්ඨාශයෙහි යන අර්ථයෙහි දක්නා ලැබේ.
යාවතා භික්ඛවෙ, සත්තා අපදා -පෙ- තථාගතො තෙසං අග්ග මක්ඛායති යනාදි තන්හි ශ්‍රේෂ්ඨ යන අර්ථයෙහි වේ. මෙහි වනාහි අග්ග ශබ්දය ආදිය යන අර්ථයෙහි බව දතයුතුයැ.
එහෙයින් අජ්ජතග්ගෙ යනු අද ආදි කොට යයි මෙසේ මෙහි අර්ථය දතයුතුයැ. අජ්ජතං අද වූයේ යන අරුත් වේ. අජ්ජදග්ගෙ යනුද පාඨයි. ද කාර සන්ධියෙන් ආයේය. අද ආදිකොට යන අර්ථයෙහි වේ.
පාණුපෙතං යනු පාණෙහි උපෙතං (ප්‍රාණය සීමාකොට මගේ ජීවිතය යම්තාක් පවතීද ඒ තාක් සීමාකොට අන්‍ය ශාස්තෘ කෙනෙකුගෙන් තොර තුන්සරණය සරණගත වූ උපාසක වූ කැපකරු වූ මා භවත් ගෞතමයන් වහන්සේ දරන සේක්වා. දැනගන්නා සේක්වා. ඉදින් මගේ හිස තියුණු කඩුවකින් සිඳිතත් මම වනාහි බුදුරදුන් නොබුදුනැයි කියා හෝ දහම් නොදහම් යයි කියා හෝ සඟුන් නොසඟුන් යයි කියා හෝ නොම කියන්නෙම් මෙසේ අත්තසන්නීය්‍යාතනයෙන් සරණ ගොස් සිවුපසයෙන් පමණ හුනස්නෙන් නැගී බුදුරදුන් නමස්කාරකොට තුන්වරක් පැදකුණු කොට ගියේය.
භයභෙරව සුත්ත වණ්ණනාව නිමි.
අනඞ්ගණ සූත්‍ර වර්ණනාව
එවං මෙසුතං, ආයස්මා සාරිපුත්තො යනු අනංගන සූත්‍රයයි. මෝ තොමෝ එහි අප්‍රකට පද වර්ණනාව වන්නීය. මේ සුත්‍රයෙහි යම්සේ ද, සියලු සූත්‍රයන්හි එසේමයි. එහෙයින් මෙයින් මත්තෙහි මෙපමණකුත් නොකියා පිළිවෙලින් පද වර්ණනාව කරන්නෙමු.
චත්තාරො යනු ගණන පරිච්ඡෙද කිරීමයි. (කොටස් කිරීමයි.) පුග්ගලා යනු සත්ත්වයෝය. නරයෝය. පුරිසයෝය. මෙපමණකින් තෙරුන් වහන්සේ පුද්ගලවාදි යයි නොගත යුතුයි. මේ ආයුෂ්මත් තෙම වනාහි බුද්ධපුත්‍රයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වේ. හෙතෙම බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විරුද්ධ නොවෙමින්ම දේශනා කරයි.
සම්මුති පරමාර්ථ දේශනා කථා
සම්මුති දේශනා පරමත්‍ථ දේශනා යයි භාග්‍යවත් බුදුරදුන්ගේ දේශනා ද්විධ වන්නීය. එහි පුග්ගල - සත්ත - ඉත්‍ථි - පුරිස - ඛත්තිය, බ්‍රාහ්මණ දේව මාර යනාදි මෙවන් දේශනා සම්මුති දේශනා නම් වේ. අනිච්ච, දුක්ඛ, අනත්ත, ඛන්‍ධ, ධාතු ආයතන සතිපට්ඨාන යනාදි දේශනා පරමත්‍ථ දේශනා නම් වේ.