අනඞ්ගණ සූත්‍ර වර්ණනාව
එවං මෙසුතං, ආයස්මා සාරිපුත්තො යනු අනංගන සූත්‍රයයි. මෝ තොමෝ එහි අප්‍රකට පද වර්ණනාව වන්නීය. මේ සුත්‍රයෙහි යම්සේ ද, සියලු සූත්‍රයන්හි එසේමයි. එහෙයින් මෙයින් මත්තෙහි මෙපමණකුත් නොකියා පිළිවෙලින් පද වර්ණනාව කරන්නෙමු.
චත්තාරො යනු ගණන පරිච්ඡෙද කිරීමයි. (කොටස් කිරීමයි.) පුග්ගලා යනු සත්ත්වයෝය. නරයෝය. පුරිසයෝය. මෙපමණකින් තෙරුන් වහන්සේ පුද්ගලවාදි යයි නොගත යුතුයි. මේ ආයුෂ්මත් තෙම වනාහි බුද්ධපුත්‍රයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වේ. හෙතෙම බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විරුද්ධ නොවෙමින්ම දේශනා කරයි.
සම්මුති පරමාර්ථ දේශනා කථා
සම්මුති දේශනා පරමත්‍ථ දේශනා යයි භාග්‍යවත් බුදුරදුන්ගේ දේශනා ද්විධ වන්නීය. එහි පුග්ගල - සත්ත - ඉත්‍ථි - පුරිස - ඛත්තිය, බ්‍රාහ්මණ දේව මාර යනාදි මෙවන් දේශනා සම්මුති දේශනා නම් වේ. අනිච්ච, දුක්ඛ, අනත්ත, ඛන්‍ධ, ධාතු ආයතන සතිපට්ඨාන යනාදි දේශනා පරමත්‍ථ දේශනා නම් වේ.
එහි භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අතුරෙන් යමෙක් සම්මුති වශයෙන් දේශනාව අසා අර්ථය අවබෝධ කොට මෝහය දුරුකොට මාර්ගඵලයන්ට පැමිණෙන්ට සමර්ථ වූවාහු වෙත්ද, ඔවුනට සම්මුති දේශනාව දේශනා කරති. එහි මේ උපමාවකි. යම්සේ දේශ භාෂාවන්හි දක්‍ෂ වූ තුන්වේදයට අර්ථ වර්ණනා කරන්නා වූ ආචාර්යතෙම, යමෙක් දෙමළ බසින් කී කල අරුත් දැනගනිත්ද, ඔවුන් දෙමළ බසින් කියාද, යමෙක් ආන්‍ද්‍ර භාෂා අතුරෙන් අන්‍යතර භාෂාවකින් ඔවුනට ඒ ඒ භාෂාවෙන් ප්‍රකාශ කෙරේද, මෙසේ ඒ මානවකයෝ දක්‍ෂ වූ ව්‍යක්ත වූ ආචාර්යවරයෙකු වෙත පැමිණ වහාම ශිල්ප උගනිති. මේ උපමාවෙහි ඇදුරා මෙන් භාග්‍යවත් බුදුහුද ත්‍රිවේදය මෙන් කිවයුතු බැවින් තුන්පිටකයද දේශ භාෂාවන්හි කුසලතාව මෙන් සම්මුති පරමත්‍ථ දේශනාවන්හි දක්‍ෂතාවයද නානා දේශ භාෂාවන් දත් මානවකයන් මෙන් සම්මුති පරමාර්ථ වශයෙන් අවබෝධ කිරීමෙහි දක්ෂ වූ (වෙනෙය්‍ය) හික්මවිය යුතු සත්ත්වයෝ ද ආචාර්යවරයා විසින් ද්‍රවිඩ භාෂා ආදියෙන් ප්‍රකාශ කිරීම මෙන් භාග්‍යවතුන් වහන්සේගේ සම්මුති පරමත්‍ථ දේශනා දතයුත්තාහුය. මෙහිලා කීහු.
දුවෙ සච්චානි අක්ඛාසි සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්‍ථඤ්ච, තතියං නූපලබ්භති
සංකෙත වචනං සච්චං ලොක සම්මුති කාරණා
පරමත්‍ථ වචනං සච්චං ධම්මානං භූත කාරණා
තස්මා වොහාර කුසලස්ස ලොකනාථස්ස සත්‍ථුනො
සම්මුතිං වොහරන්තස්ස, මුසාවාදො නපායතී ති
(වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරද සම්මුති සත්‍යය ද පරමත්‍ථ සත්‍යය ද යන සත්‍යයන් දෙකක් වදාළේය. එහි පිටත තුන්වන සත්‍යයක් නොලැබේ.
ලෝක ව්‍යවහාර කථාව ලෝකයාගේ සම්මුතිය නිසා පවත්නා හෙයින් සත්‍යය වේ. එම නිසා ලෝවහරෙහි දක්‍ෂ වූ ලෝක ව්‍යවහාරය වදාරණ ලෝකනාථ වූ ශාස්තෘෘන් වහන්සේ හට මුසාවාදයෙක් නොවේ යනුයි.
පුද්ගල කථා
තවද කරුණු අටක් නිසා භාග්‍යවතුන් වහන්සේ පුද්ගල කථාව කරන සේක. හිරිඔතප් ප්‍රකට කරනු පිණිස, කර්මය ස්වකීය කොට ඇති බව ප්‍රකට කරනු පිණිසද ඒ ඒ සත්ත්වයන් විසින් කළයුතු කර්ම දැක්වීම පුරුෂ ස්වරූප දක්වනු පිණිස, ආනන්තරීය කර්ම විස්තර කිරීම පිණිස, බ්‍රහ්ම විහාර දැක්වීම පිණිස, පෙර විසූ කඳ පිළිවෙළ දැක්වීම පිණිස දක්ඛිණා විසුද්ධිය දක්වනු පිණිසද, ලෝක සම්මුති නොපිරිහෙලනු පිණිසද යන මේ කරුණු අට නිසාය.
ඛන්‍ධ, ධාතු ආයතනයෝ ලජ්ජාවෙන් භයවෙත් යයි කීකල්හි මහජන තෙමේ නොදනී. මුලාවට පැමිණෙයි. විරුද්ධ නොවෙති. [missing trans] එහෙයින් භාග්‍යවත් බුදුරදහු හිරිඔතප් දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.
ස්කන්ධයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහුය. ධාතූහු, ආයතනයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහු යයි කී කල්හිදු මෙම ක්‍රමයයි. එබැවින් කර්මය ස්වකීය කොට ඇති බව දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.
වෙළුවනාදි මහා විහාරයෝ ස්කන්ධයන් විසින් ධාතූන් විසින්, ආයතනයන් විසින් කරවන ලද්දාහුයයි කී කල්හිදු මෙම ක්‍රමයමැයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වෙන් වෙන්ව පුරුෂ ස්වරූප දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.