භාවනා පහාතබ්බ
පටිසංඛා යොනිසො සති සම්බොජ්ඣංගං භාවෙති යනුවෙන් භාවනා නොකිරීමේ ආදීනව ද භාවනාවගේ ආනිශංස ද, උපායෙන් මාර්ගයෙන් ප්රත්යවේක්ෂා කොට සති සම්බොජ්ඣංගය වඩයි. සියලු තන්හි මෙම ක්රමය මැයි. ඉදින් මෙහි මතු මාර්ග තුන ලැබෙන සමයෙහි උපන්නා වූ ලෝකෝත්තර බොජ්ඣංගයෝම අදහස් කරන ලද්දාහුය. එතකුදු වුවත් ආදි කම්මිකයන්ගේ බොජ්ඣංග විෂයෙහි මුලා නොවීම පිණිස ලෞකික ලෝකෝත්තර මිශ්ර වූ නයින් ඔවුන්ගේ අර්ථ වර්ණනාව කරන්නෙමි. මෙහි වනාහි ලෞකික නය හැර, ලෝකෝත්තර නයම ගතයුත්තේය. සති සම්බොජ්ඣංගං යනාදි ක්රමයෙන් වදාරණ ලද්දා වූ මුල් පදයන් සත්දෙනාගෙන් පළමුකොට
බොජ්ඣංග වණ්ණනා
අත්ථතො ලක්ඛණ දීහි කමතොච විනිච්ඡයො
අනුනාධි කතො චෙව විඤ්ඤාතබ්බො විභාවිනො
අනුනාධි කතො චෙව විඤ්ඤාතබ්බො විභාවිනො
(නැණවතුන් විසින් අරුත් වශයෙන් ද ලක්ෂණාදීන්ගේ වශයෙන් ද අනුනාධික වශයෙන් ද විනිශ්චය දතයුතුය.)
සති සම්බොජ්ඣංගය
එහි පළමුකොට සති සම්බොජ්ඣංගයෙහි සිහි කිරීම් අර්ථයෙන් සති නම් වේ. සතිය තොමෝ එළඹ සිටීම ලක්ෂණකොට ඇත්තේය. අපිලාපනය (මතුකර පෙන්වීම) ලක්ෂණකොට ඇත්තේ හෝ වෙයි. මෙසේ කියන ලද්දේ වෙයි. යථා මහාරාජ, රඤ්ඤො භාණ්ඩාගාරිකො රඤ්ඤො සාපතෙය්යං, අපිලාපෙති, එත්තකං මහාරාජ හිරඤ්ඤං එත්තකං සුවණ්ණං එත්තතං සාපතෙය්යන්ති, එව මෙව ඛො මහාරාජ සති උප්පජ්ජමානා කුසලා කුසල සාවජ්ජානවජ්ජ හීනප්පණීත, කණ්හ සුක්ක සප්පටිභාගෙ ධම්මෙ අපිලාපෙති ඉමෙ චත්තාරො සතිපට්ඨානාති (මහරජ, රජුගේ භාණ්ඩාගාරික තෙමේ රජුගේ සම්පත්තිය යම්සේ සිහි කරවා ද, මහරජ, අමුරන් මෙපමණය රත්තරන් මෙපමණය. සෙසු ධනය මෙපමණ යයි එපරිද්දෙන් මහරජ, සතිය තොමෝ උපදවන්නී, කුසලා කුසල සාවද්ය අනවද්ය හීන ප්රණීත කණ්හ සුක්ක සප්පටිභාග ධර්මයන් සිහිකරවයි. මොවුහු සතර සතිපට්ඨානයෝයි.) යනු විස්තරයයි. අපිලාපන රසයයි. කෘත්ය වශයෙන්ම මේ සතියගේ අපිලාපන ලක්ෂණයයි. තෙරුන් විසින් කියන ලද්දේය. මුලා නොවීම රසයයි. ගෝචරයෙහි අභිමුඛ බව පච්චුපට්ඨාන යයි. (වැහෙන ආකාරයයි) සතියම බොජ්ඣංග වූයේ සති සම්බොජ්ඣංග නම් වේ. බෝධිය පිණිස පවත්නා ධර්ම සමූහයාගේ හෝ බෝධිය නම් වූ ආර්ය ශ්රාවකයාගේ අංගනුයි. බොජ්ඣංග නම් වේ.
මෙහි කුමක් කියන ලද්දේ ද යත්? ලෞකික ලෝකෝත්තර, මාර්ගක්ෂණයෙහි උපදින්නා වූ ලීන-උද්ධච්ච-පතිට්ඨාන-ආයූහන-කාමසුඛ අත්තකිලමථානුයෝග-උචේඡද-සස්සත දිට්ඨි යන මොවුන්ට ඇතුලත්වීම් ආදි වූ නොයෙක් උපද්රවයන්ට ප්රතිපක්ෂ වූ, යම් මේ ධර්ම සමූහයක් වේද, සති-ධම්මවිචය-විරිය-පීති-පස්සද්ධි-සමාධි-උපෙක්ඛා නම් වූ යම් ධර්ම සමුහයක එකතුවකින් ධර්මාවබෝධය වන නිසා මෙයට බොධි යයි කියනු ලැබේ.
බුජ්ඣති යන්නෙන් කිලෙස සන්තාන නිද්රාවෙන් නැගී සිටියි. චතුරාර්ය සත්ය හෝ ප්රතිවේධ කෙරෙයි. නිර්වාණය හෝ සාක්ෂාත් කෙරේ යයි කියන ලද්දේ වෙයි. මෙසේ වදාළහ. සත්ත බොජ්ඣංගෙ භාවෙත්වා අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධො යනුවෙන් ඒ ධර්මයන්ගේ එකතුව නම් වූ බෝධියගේ එකතුව වේනුයි බොජ්ඣංග නම් වේ.
[missing] සේනාංග රථංග යනාදීන් මෙනි. එහෙයින් අර්ථකථාචාර්යවරයෝ කීහ. බුජ්ඣනස්ස, පුග්ගලස්ස අංගාති වා බොජ්ඣංගා යනුවෙන් (අවබෝධ කරන පුද්ගලයාගේ අංගනුයි බොජ්ඣංග නම් වෙති.) තව ද බොජ්ඣංගාති කෙනට්ඨෙන බොජ්ඣංගා බොධාය සංවත්තන්තීති බොජ්ඣංගා, බුජ්ඣන්තීති බොජ්ඣංග අනුබුජ්ඣන්තීති බොජ්ඣංගා පටි බුජ්ඣන්තීති බොජ්ඣංගා (බොජ්ඣංග යනු කවර අර්ථයකින් බොජ්ඣංග නම් වෙත්ද? අවබෝධය පිණිස පවතිත් නුයි බොජ්ඣංග නම් වේ. අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංග නම් වේ. අනුබෝධ කෙරෙත්නුයි බොජ්ඣංග නම් වේ. ප්රතිබෝධ කෙරෙත්නුයි බොජ්ඣංග නම් වේ. මනාකොට අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංග නම් වේ. යනාදී වූ පටිසම්භිදා මග්ග නයින් ද බොජ්ඣංගාර්ථය දතයුතුය.
ප්රශස්ත වූ සුන්දර වූ බොජ්ඣංගය සම්බොජ්ඣංග නම් වේ. මෙසේ සතියම බොජ්ඣංග වූයේ සති සම්බොජ්ඣංග නම් වේ. ඒ සති සම්බොජ්ඣංගයයි, මෙසේ පළමුකොට මෙසේ එක් එක් ආදි පදයක්හුගේ අරුත් වශයෙන් ලක්ෂණාදීන්ගේ වශයෙන් ද විනිශ්චය දතයුත්තේය.
දෙවන බොජ්ඣංග ධර්මයෙහි චතුරාර්ය සත්ය ධර්මයන් පරීක්ෂා කෙරේනුයි ධම්මවිචය නම් වේ. එය විශේෂ එකතුව ‘පවිචය’ ලක්ෂණ කොට ඇත්තේය. ඔභාසනය (=විෂය බබුලුවීම) රසයකොට ඇත්තේය.
වීරයාගේ ස්වභාවය හෙයින් ද, විධි වූ පරිද්දෙන් පැවැත්විය යුතු හෙයින් ද විරිය නම් වේ. එය දැඩිකොට ගැනීම ලක්ෂණකොට ඇත්තේය. නොපසුබැසීම පච්චුපට්ඨාන කොට ඇත්තේය.
පිනවානුයි පීතිනම් වේ. ඕතොමෝ එරණය (පැතිරීම) ලක්ෂණ කොට ඇත්තීය. සතුටුවීම ලක්ෂණකොට ඇත්තීද වන්නීය. කාය චිත්ත පිනවීම රසයකොට ඇත්තීය. ඔවුන්ගේම ඔදවැඩි බව පචවුපට්ඨාන කොට ඇත්තීය.
කාය චිත්ත දරථයන් සංසිඳුවන හෙයින් පස්සදධි නම් වේ. ඕතොමෝ උපසමය (=සංසුන්කම) ලක්ෂණකොට ඇත්තීය. කාය චිත්තයන්ගේ නොසෙල්වීම වූ සිහිල්භාවය පච්චුපට්ඨානය කොට ඇත්තීය.
මනාකොට සිත පිහිටවන හෙයින් සමාධි නම් වේ. එය නොවිසුරුණු බව ලක්ෂණකොට ඇත්තේය. එකඟබව ලක්ෂණකොට ඇත්තේ හෝ වෙයි. චිත්ත චෛතසිකයන්ගේ සම්පිණ්ඩනය එහි රසයයි. චිත්තයාගේ ස්ථිතිභාවය එහි පච්චුපට්ඨානයයි.
මධ්යස්ථව බලනහෙයින් උපෙක්ඛා නම් වෙයි. ඕ තොමෝ පටිසංඛානය (මැදහත් බැව්හි සිත පිහිටවීම) ලක්ෂණකොට ඇත්තීය. සමවාහිත (එක් වූ) ලක්ෂණ ඇත්තී හෝ වෙයි. ඌනාධික ධර්මයන්ගේ නිවාරණය රසය කොට ඇත්තීය. පක්ෂපාත බව සිඳීම් සංඛ්යාත රසය හෝ වන්නීය. මැදහත්බව පච්චුපට්ඨාන නම් වන්නීය. සෙස්ස කී අයුරුම වන්නීය. මෙසේ සෙසු පදයන්ගේ ද අර්ථ වශයෙන් ද ලක්ෂණාදීන්ගේ වශයෙන් ද විනිශ්චය දතයුත්තීය.
ක්රම වශයෙන් මෙහිද සතිඤ්ච ඛ්වාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි යයි වදාළ බැවින් ඒ අනුව සෙසු සියලු බොජ්ඣංග ධර්මයන්ට සතිය උපකාර බැවින් සතිසම්බොජ්ඣංග ධර්මයන්ට සතිය උපකාර බැවින් සතිසම්බොජ්ඣංගය පළමුව කියන ලදී. එයින් මත්තෙහි තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති යනාදී නයින් සෙසු බොජ්ඣංග ධර්මයන්ගේ ද පෙරපසුකොට කීමෙහි ප්රයෝජනය සූත්රයෙහිම වදාරණ ලදී. මෙසේ මෙහි දේශනා ක්රම වශයෙන් ද විනිශ්චය දතයුතුය.
අඩු වැඩි නැතිව භාග්යවතුන් වහන්සේ කුමක් හෙයින් බොජ්ඣංග ධර්ම හතක්ම වදාරණ ලද්දාහුද? ථීන හා උද්ධච්චයට ප්රතිපක්ෂ බැවින් හතක්ම වදාරණ ලදී. ඒ මෙසේය. මෙහි බොජ්ඣංගයෝ කී දෙනෙක් ථීනයට ප්රතිවිරුද්ධ වෙන්ද? එබැවින් වදාළහ. යස්මිඤ්ච ඛො භික්ඛවෙ සමයෙ ලීනං චිත්තං හොති. කාලො තස්මිං සමයෙ ධම්ම විචය බොජ්ඣංගස්ස භාවනාය, කාලො විරිය බොජ්ඣංගස්ස භාවනාය කාලො පීති බොජ්ඣංගස්ස භාවනාය (මහණෙනි, යම් කලෙක කුසීත බැවින් හැකිළුණු සිතක් වේද, එසමයෙහි ධම්මවිචය බොජ්ඣංගය වැඩීමට සුදුසු වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට සුදුසු වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කල්වෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කල්වෙයි.) තිදෙනෙක් උද්ධච්චයට ප්රතිපක්ෂ වෙති. එහෙයින් වදාළහ. යස්මිඤච ඛො භික්ඛවෙ සමයෙ උද්ධතං චිත්තං හොති කාලො තස්මිං සමයෙ පස්සද්ධි සම්බොජ්ඣංගස්ස භාවනාය කාලො සමාධි සම්බොජ්ඣංගස භාවනාය කාලේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාය (මහණෙනි, යම්කලෙක උද්ධත වූ සිත වේද, එසමයෙහි සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි.) එක් බොජ්ඣංග ධර්මයක් මෙහි සබ්බත්ථික වේ. එය මෙසේ වදාළහ. සතිඤ්ච ඛවාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි මෙහි සබ්බත්ථක යයි ද පාඨයකි. දෙතැන්හිම සියලු තන්හි කැමතිවිය යුතුය යන අරුතම ලැබෙයි. මෙසේ හෙයින් ලීන උද්ධච්ච දෙකට ප්රතිපක්ෂ හෙයින්ද සතිය සබ්බත්ථික හෙයින් බොජ්ඣංග සතක්ම අඩුවැඩි නැතිව වදාරණ ලද බව දතයුතුය.