ධම්මදායාද සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං, යනු ධම්මදායාද සූත්‍රයයි. යම් හෙයකින් මෙම සූත්‍ර ධර්මයාගේ අට්ඨුප්පත්තික නම් වූ සුත්ත නික්ඛෙපයක් (බැසගැනීමක්) වේද, එහෙයින් එම අට්ඨුප්පත්තිය දක්වා ම මෙම සූත්‍රයාගේ අනුපූර්ව පද වර්ණනාව කරන්නෙමු. කිනම් අට්ඨුප්පත්තියෙක්හි (කරුණෙක්හි) මෙම සූත්‍රය දේශනාකර වදාළේද යත්, ලාභ සත්කාරයෙහිය.
භාග්‍යවතුන් වහන්සේට මහත් වූ ලාභ සත්කාරයෝ උපන්හ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පිරූ දාන පාරමී සමූහයාගේ ආනිසංස යම්සේ ද, එමෙනි. සියලු දිසාවන්හි යමාමහ වැස්සක් නැගී මහ ගං වතුරක් මෙන්, සියලු පාරමී ධර්මයෝ එක් අක්බවෙක විපාක දෙන්නෙමු යයි එක්රැස් වූවාක් මෙනි. ලාභසත්කාර නමැති මහා ඕඝයක් ඉපදවූහ. ඒ ඒ දිසාභාගවලින් බත් පැන් යහන් වත් මල්ගඳ විලවුන් ආදිය ගත් අත් ඇති රජ-බමුණු ආදීහු අවුත්, බුදුරදහු කොහිද? භාග්‍යවත්හු කොහිද? දේවාතිදේව වූ නරදෙටු වූ පුරුෂසිංහයාණෝ කොහිදැයි, භවත් ගෞතමයන් වහන්සේව සොයති. ගැල් සිය ගණනින් සිවුපසය ගෙනවුත් අවකාශ නොලැබ, ඉන් හාත්පස ගව්වක් පමණද, ගැලින් ගැල හැපී සිටිති. අන්‍ධක වින්ද බ්‍රාහ්මණාදීන් මේ ලුහුබැඳීම කෙරෙත්. සියල්ල ඛන්‍ධකයෙහිද ඒ ඒ සූත්‍රයන්හි ද ආ අයුරින් දතයුතුයැ. භාග්‍යවතුන් වහන්සේට යම් සේ ද එපරිද්දෙන් භික්‍ෂූන්ටද (ලාභ සත්කාර) උපනි.
මෙසේ වදාරණ ලද්දේය. තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරානං භික්ඛුසංඝොපි ඛො සක්කතො හොති -පෙ- පරික්ඛාරානන්ති. (එසමයෙහි වනාහි භාග්‍යවත් තෙම සත්කාර කරන ලදුයේ ගරුකාර කරන ලදුයේ සිතින් බුහුමන් කරන ලදුයේ පුදන ලදුයේ චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලානපච්චය භේසජ්ජ පරිෂ්කාරලාභී වූයේ වෙයි. භික්ඛු සංඝ තෙමේ ද සත්කාර කරන ලද්දේ වෙයි. -පෙ- පිරිකරලාභී වුයේ වේයයි.)
එසේම. යාවතා ඛො චුන්‍ද, එතරහි සංඝාවා ගණා වා ලොකෙ උප්පන්නා නාහං චුන්‍ද, අඤ්ඤ එකසංඝම්පි සමනුපස්සාමි, එවං ලාභග්ග, යසග්ග පකතං යථාරීව චුන්‍ද භික්ඛු සංඝොති (චුන්දය, මෙකල යම්පමණ සංඝයා හෝ ගණයා හෝ ලෝකයෙහි පහළ වූවාහු ද, චුන්‍දය, භික්‍ෂු සංඝ තෙමේ යම්සේද, එපරිද්දෙන් ලාභයෙන් අගපත් යසසින් අගපත් අන්‍ය එක සංඝ කෙනෙකුදු චුන්දය, මම නොදකිමි.)
බුදුරදුනට ද බික්සඟට ද, උපන්නා වූ ඒ මේ ලාභ සත්කාරය තෙම එක්ව ගෙන මහා ගංගා දෙකක්හුගේ ජලය මෙන් පමණ කළ නොහැක්කේ විය.
භික්‍ෂූහු ක්‍රමයෙන් ප්‍රත්‍යගරුක වූවාහු ප්‍රත්‍යයෙහි ගිජුවූවාහු ප්‍රත්‍ය පිළිබඳ බහුල පැවතුම් ඇත්තාහු වූහ. පසුබත් කාලයෙහි තෙල් මී-උක්සකුරු ආදිය එළවූ කල්හි ගෙඩිය ගසා අපගේ ආචාර්යයන්ට දෙව් අපගේ උපාධ්‍යායයන්ට දෙවු උස්හඬින් ශබ්ද කෙරෙති. ඒ ඔවුන්ගේ පැවැත්මද බුදුරදුනට ප්‍රකට වුවද, ඉක්බිති බුදුරදහු එය ඔවුනට නොසුදුසුයයි දහම් සංවේග උපදවා මෙසේ සිතූහ.
ප්‍රත්‍යය අකැපයයි ශික්‍ෂාපද පැනවිය නොහැක. කුලපුත්‍රයන්ගේ මහණකම ප්‍රත්‍යය සම්බන්ධ වූවක්මය. ඉදින් මම ධම්මදායාද පටිපදාව දේශනා කරන්නේ නම්, ඕතොමෝ හික්මෙන්නා වූ කුලපුත්‍රයන්ට ශික්‍ෂාපද ප්‍රඥප්තියක් මෙන් වන්නේය. එය නගර ද්වාරයේ තබන ලද හැමගේ හැඩරුව දැකිය හැකි කැඩපතක් වැනි වෙයි. යම්සේ නුවර දොර හැමගේම රූ බැලිය හැකි කැඩපත් තැබූ කල්හි චතුර්වර්ණයෝම ස්වකීය ඡායාව දැක යම්සේ වරද හැර නිදොස් වෙත්ද, එපරිද්දෙන්ම ශික්‍ෂාකාමී කුලපුත්‍රයෝ ශික්‍ෂා-යෝග මණ්ඩනයෙන් තමන් මණ්ඩනය කරනු කැමැත්තාහු, සර්වකායික කැඩපතක් බඳු වූ දේශනාව ආවර්ජනා කොට, ආමිෂ දායාද ප්‍රතිපදාව දුරලා ධර්ම දායාද ප්‍රතිපදාව පුරන්නාහු වහාම ජාති-ජරා මරණ කෙළවර කරන්නාහු යයි මෙම අර්ථොත්පත්තියෙහි සිට මෙම සුත්‍රය වදාළ සේක.
ආමිසය හා ධර්මය
එහි ධම්මාදායාදා මෙ භික්ඛවෙ භවථ මා ආමිස දායාදා යනු මහණෙනි, මගේ ධර්මයට දායාද වවු. ආමිසයට දායාද නොවනු. මගේ යම් ධර්මයක් වේද, එය පිළිගන්නාහු වවු. මගේ යම් ආමිසයක් වේද එය පිළිගන්නාහු නොවවු යයි කියන ලද වෙයි. එහි ධර්මය ද දෙවැදෑරුම් වෙයි. නිප්පරියාය ධම්ම, පරියාය ධම්ම යනුවෙනි. ආමිසයද ද්විධ වේ. නිප්පරියාය ආමිස, පරියාය ආමිස යනුවෙනි. කෙසේද මෙසේ දතයුතුයි. මග-ඵල-නිබ්බාන භේද වූ නවවිධ වූ ලෝකෝත්තර ධර්මය, නිප්පරියාය ධම්ම නම් වේ. විවට්ට ධර්මයම වෙයි. කිසියම් පරියායකින් කාරණයකින් හෝ ලේසයකින් හෝ ධර්ම වූයේ නොවෙයි. යම් මේ විවට්ටගාමිනී කුසලයක් වේද ඒ කවරේද යත්, මෙලොව කිසිවෙක් නිවන් ප්‍රාර්ථනා කරමින් දන් දෙයි. සිල් සමාදන් වෙයි. උපෝසථ කර්මය කරයි. සුවඳ මල් ආදියෙන් පූජනීය වස්තූන් පුදයි. බණ අසයි. දෙසයි. ධ්‍යාන සමාපත්ති උපදවයි. මෙසේ කරන්නේ පිළිවෙලින් නිප්පරියාය දහම වූ අමාමහ නිවන ලබයි. මේ පරියාය ධර්මයයි. එසේම සිවුරු ආදි සිවුපසය නිප්පරියාය ආමිසයමැයි. අන්‍ය පරියායකින් හෝ ක්ලේශයකින් හෝ ආමිස වූයේ නොවෙයි. යම් මේ වට්ටගාමිනී කුසලයක් වේද, ඒ කවර යත්, මෙලොවැ කිසිවෙක් භවය ප්‍රාර්ථනා කරමින් සම්පත්ති භවය කැමති වෙමින් දන් දෙයි. -පෙ- සමවත් නිපදවයි. මෙසේ කරමින් පිළිවෙලින් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබයි. මේ පරියාය ආමිස නම් වේ.
එහි නිප්පරියාය ධර්මය ද භාග්‍යවත්හු සන්තකමැයි. භාග්‍යවත්හු වදාළ බැවින් භික්‍ෂූහු මාර්ගඵල නිර්වාණ අධිගමය කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරණ ලදමැයි. සොහි බ්‍රාහ්මණං භගවා අනුප්පන්නස්ස මග්ගසස උප්පාදෙතා අසඤජාතස්ස මග්ගසස සඤ්ජනෙතා -පෙ- මග්ගානුගාච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතාතිව ඒ එසේමය. (බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ තම සන්තානයෙහි පෙර නූපන් ෂට් අසාධාරණ ඤාණයට හේතු වූ ආර්ය මාර්ගය උපදවන්නාහුය. වෙනෙය්‍ය සන්තානයෙහි පෙර නූපන් විරූ ශ්‍රාවක පාරමී ඥානයට හේතු වූ ආර්ය මාර්ගය උපදවන්නාහුය. -පෙ- එබැවින් භාග්‍යවතුන් වහන්සේ ගිය මග අනුව යන්නා වූ භාග්‍යවතුන් වහන්සේට පසුව පැමිණි සීලාදී ගුණයෙන් සමන්විත වූ ශ්‍රාවකයෝ මෙකල්හි වෙසෙති යයිද)
සො හාවුසො, භගවා ජානං ජානාති පස්සං පස්සති චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්‍රහ්මභූතො වත්තා පවත්තා අත්‍ථස්ස නිණ්ණෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතොති (ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දතයුතු දෙය දනියි. දැක්කයුතු දෙය දකියි. චක්ඛුභූතය, ඇසක් මෙන් වූහ. ඤාණ භූතයැ ධම්ම භූතයැ. ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්ම භූතයහ. පවත්වන හෙයින් වත්තාය, නානාප්‍රකාරයෙන් වදාරණ හෙයින් හෝ පවන්මග හෙයින් පවත්තාය. අර්ථය දක්වමින් පමුණුවන සේක. අමෘතදායක වූ සේක. ධර්මස්වාමී වූහ. තථා ආගතවාදී කාරණයෙන් තථාගත වූහයි ද)
පර්යාය ධර්මයද භාග්‍යවතුන් වහන්සේ සන්තක වෙයි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ වදාළ බැවින්ම වූයේ ද එහෙයින් නිවන පතා දන් දෙන්නේ -පෙ- සමවත් උපදවන්නේ පිළිවෙලින් අමාමහ නිවන් ලබා යයි. නිප්පරියාය ආමිසයද, භාග්‍යවත්හුට අයත් වෙයි. ඒ එසේමැයි. භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදත් බැවින්ම, භික්‍ෂූන් විසින් ජීවක වත්‍ථුව ආදිය නිසා ප්‍රණීත වූ සිවුරු ලද්දේය.
එහෙයින් වදාළහ. අනුජානාමි භික්ඛවෙ, ගහපති චීවරං, යො ඉචඡති පංසුකූලිකොහොතු යො ඉච්ඡති ගහපති චීවරං සාදියතු ඉතරීතරෙනපාහං භික්ඛවෙ, සන්තුට්ඨියෙව වණ්ණෙ මීති (මහණෙනි, ගහපති චීවරය අනුදනිමි යමෙක් කැමති වී නම්, හෙතෙම පාංශුකූලික වේවා යමෙක් කැමති වීනම් ගහපති චීවරය පිළිගනීවා. එතකුදු වුවත් මහණෙනි, මම ඉතිරීතර ප්‍රත්‍යයෙන් (ප්‍රණීත අප්‍රණීත කොයි එකෙන් වුවත් සතුටුවීම වන්දනා කරමී යයි.)